ගුවන් තොටුපල විවෘත කරනු ලබන්නේ සෞඛ්‍ය නිර්දේශවලට අනුව පමණක් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළා.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් පුද්ගලයින් පැමිණීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි.
මේ අතර, අද වනවිට දිවයිනේ පී.සී.ආර්. පරීක්ෂණ දෙලක්ෂ 57,477 ක් සිදුකර ඇති බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
ඊයේ දිනයේ සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 1,810 ක්.
එසේම, ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 59 ක් තුළ පුද්ගලයින් 6,255 ක් තවදුරටත් නිරෝධානයට ලක්වෙමින් සිටිනවා.
මේ වනවිට නිරෝධායනය අවසන් වී නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සම්පූර්ණ සංඛ්‍යාව 41,192 ක්.
මෙරටින් සමස්ත කොරෝනා ආසාදිතයින් 3,271 දෙනෙකු වාර්තා වී ඇති අතර, කොරෝනා ආසාදිත සුවවූවන්ගේ සංඛ්‍යාව 3,016 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.
අද දිනයේදී ගුවන් මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 24 දෙනෙකු, ඉන්දියාවේ චෙන්නායි සහ මුම්බායි ප්‍රදේශවල සිට පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.
ඔවුන් සියළු දෙනා ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.
මේ වනවිට ලොව පුරා රටවලින් කොරෝනා ආසාදිතයින් දෙකෝටි 97 ලක්ෂ 29,993 ක් ලෙස සටහන් වන අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 09 ලක්ෂ 39,188 ක්.
ගතවූ පැය 24 තුළ වැඩිම මරණ සංඛ්‍යාව සහ ආසාදිතයින් ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා.