බොහෝ කලක් කලා නිර්මාණවලින් ඈත් වුවත් තවමත් ඇයට බොහෝ දෙනෙක් ආදරේ කරනවා. පුංචි තිරය වගේම සිනමා තිරය කලක් ආක්‍රමණය කළ ඈ ඩිලානි අබේගුණවර්ධන. ඇයගේ ආදරණිය එකම දියණිය කවීෂා කාවින්දි. කවීෂා හෙට අනිද්දාම මනමාලියක් වෙනවා. ඇය අතිනත ගන්නේ ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසුරිය සමඟ. අලුත් ජිවිතයකට අලුත් ආරම්භයක් ගන්න කවීෂා එක්ක ඒ ගැන කතා කරන්න අපි ඇයව සම්බන්ධ කරගත්තා. මේ ඒ ගැනයි.
කවීෂා මනමාලියක් වෙන්න ලෑස්ති වෙනවා කියලා ආරංචියි..?
විවාහ ගිවිස ගැනීම සිදු කරනවා. තව සති දෙකකින්. ඒකට තමයි මේ සුදානම් වෙන්නේ. විවාහ ගිවිස ගැනීම සිදු කරන්නේ නිව්යෝක්වලමයි. ඒ නිසා ෂෙහාන්ට මෙහෙ එන්න වුණා.
කොහොමද ඒ සුබ කටයුත්තට සුදානම් වෙන්නේ..?
ලංකාවේ වගේ නෙමෙයි මෙහෙ විවාහ ගිවිස ගැනීම් කරන්නේ. මෙහේ ජජ් කෙනෙක් ඉදිරිපිට තමයි විවාහ ගිවිස ගන්නේ. ඊට කලින් ජජ් ඉන්න දවසක් දෙනවා ඔහුව ගිහින් මුණගැහෙන්න ඕන, ඔවුන් ඉල්ලන ලියකියැවිලි භාර දෙන්න ඕන. ඒ වැඩ ටික තමයි කරන්නේ. ඊට පස්සේ පොඩි උත්සවයක් ගන්නවා. මම අවුරුදු 18ක් තිස්සේ මෙහෙ ජිවත් වෙන්නේ. ඒ නිසා මගේ යාළුවො හිතවත් අය ඉන්නේ මෙහෙ. ඒ අයත් එක්ක එකතු වෙලා එය සමරනවා.
උඩරට මනාළියක් විදිහට සැරසෙන්නද බලාපොරොත්තු වෙන්නේ..?
නැහැ. සාමාන්‍ය විවාහ විලාසිතාවක් භාවිතා කරනවා. උඩරට මනාළියක් වෙන්නේ විවාහ උත්සවයේදී. ඒ ඇඳුම අදින්න ඕන එක පාරයි. ඒ නිසා විවාහ මංගල්යටම උඩරට මනාලියක් වෙන්න තමයි හීන දකින්නේ.
එය පැවැත්වෙන්නේ කොයි කාලේද..?
මගේ මල්ලි තවම පාසල් යනවා. එයාගේ නිවාඩු කාලේ එන්නේ ජුලි, අගෝස්තු වගේ. ඒ නිසා අපි සුදානම් වෙනවා ලබන වසරේ ජූලි මාසේ විවාහ උත්සවය ගන්න. මොකද ෂෙහාන්ගේ දෙමාපියෝ වගේම හැමෝම ඉන්නේ ලංකාවේ. මෙහෙ ඉන්නේ මගේ අම්මා තාත්තා මල්ලි විතරයි. ඒ නිසා විවාහ උත්සවය හොඳට කරන්න අපි ලංකාවට යනවා.
අලුත් ජිවිතේට වගකීම් එකතු වෙයි, ඒ වගකීම් බරක් වෙයි කියලා හිතෙන්නේ නැද්ද..?
කොහෙත්ම නැහැ. මේ ජිවිතේට ඇතුලත් වෙන්න මම සෑහෙන කාලෙක ඉදලා බලාගෙන ඉන්නවා. මගෙයි ෂෙහාන්ගෙයි සම්බන්ධයට අවුරුදු හතරක් වෙනවා. මේ කාලෙට අපි හිටියේ ගොඩක් ඈතින්. නිතර මුණගැහිම් නැහැ. කතාබහ කරන්න වුණත් ලොකු කැපකිරීමක් කරන්න ඕන. මොකද රටවල් දෙක අතර වෙලාවේ පරතරය පැය දහයාමාරක් වෙනවා. ඉතින් දෙන්නටම ඉවසන්න වෙනවා හැම දෙයකදීම. ඊයේ ෂෙහාන් මෙහෙ ආවා. මම එයාව දැක්කේ මාස 6කට පස්සේ. එයාට ක්‍රිකට් බෝඩ් එකෙන් සතියකට වඩා නිවාඩු ලැබෙන්නෙත් නැහැ. මේ වතාවේ තමයි දීර්ඝ නිවාඩුවක් ලැබුණේ. මම කොහොමත් ජිවිතේ බරක් විදිහට දකින්නේ නැහැ. ඒ නිසා අලුත් ජිවිතේ ආරම්භය වගේම හැම දවසක්ම මට නැවුම් දවසක් වෙයි. ඇත්තම කිව්වොත් එයත් එක්ක එකවහලක් යට ජිවත් වෙන්න මම නම් නොවිසිල්ලෙන් ඉන්නේ.
කොහොම හරි ෂෙහාන් මෙහෙට ගන්න තමයි මම ප්ලෑන් කරන්නේ. මෙහෙ ක්‍රිකට් කණ්ඩායමකට එකතු වෙලා සෙල්ලම් කරයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.
පවුලේ එකම දියණිය ඈතට යන්න සුදානම් වෙන නිසා දෙමාපියන් දුකෙන් ඇති..?
අම්මගේ එකම බලාපොරොත්තුව එයාගේ එකම දුව ලස්සන මනාලියක් වෙනවා දකින්නයි. අම්මා ඒකට හරියට මහන්සි වෙනවා. අම්මා නිතරම කියන්නේ මට දුවලා 100ක් නැහැ. ඉන්නේ එකයි ඒ නිසා ලස්සනට වෙඩින් එක ගන්න ඕන කියලයි. තාත්තා නම් හරිම නිහඬ කෙනෙක්. එයා කොයිතරම් ආදරේ වුණත් ආදරේ කරන්නේ නිහඬව. තාත්තා මට වඩා මම හිතන්නේ ෂෙහාන්ට ආදරෙයි.
එතකොට ෂෙහාන්ගේ දෙමාපියන්ගෙන් ඔබට ලැබෙන පිළිගැනීම..?
ඒ දෙන්නත් මගේම අම්මයි තාත්තයි වගෙයි. මම කතා කරන්නෙත් අම්මා තාත්තා කියලයි, එතරම්ම ඒ දෙන්නා මට සමීපයි. මම ලංකාවට යන වෙලාවට මම ගැන හොයලා බලලා මාව පරිස්සම් කරන්නේ එයාලා. මම කැමති කෑම බිම පවා මට හදලා දෙනවා. විවාහ වෙලා අපි දෙන්න එකතැනකට ආවා කියලා එයාලගේ ආදරේ අඩුවක් වෙන්නේ නැති වෙයි.