කඩේ වැඩටට හිටපු කොල්ලත් අතුරුදන් වෙලා...
කටට පාන්කඩ ඔබා පහරදීලා...
අතුරුදන් වී සිටි බියගම, සියඹලාපේ හන්දිය ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය ඉදිරිපිට පලතුරු වෙළෙඳසල පවත්වාගෙන ගිය පලතුරු වෙළෙන්දා අබිරහස් අන්දමින් ඝාතනය කොට එම වෙළෙඳසල පිටුපස තිබෙන ලඳු කැලෑ රොදක වළදමා තිබී ඊයේ (12දා) පෙරවරුවේ ගොඩ ගත්තේය.
මහර වැඩ බලන මහෙස්ත්‍රාත් රාමනායක මහතා ඉදිරියේ එම මළ සිරුර ගොඩගනු ලැබීය.
එම අවස්ථාවට රාගම මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරුන් වන මහේෂ් ජයසුන්දර, කේ.එන්.සී. සේනාරත්න හා නිර්මාල් බෝරුක්ගොමුව යන මහත්වරුද පැමිණ සිටියහ.
ඇහැළියගොඩ, මුරුතහේන, දිගෝන, ගොඩගම්පොළ ප්‍රදේශයේ පදිංචිව සිටි ආර්.පී. මෙරිල් පත්මකුමාර නමැති 32 හැවිරිදි අවිවාහක තරුණයකු මෙසේ ඝාතනය කොට වළදමා තිබුණේය.
එම පලතුරු වෙළෙන්දාගේ අතුරුදන් වීමත් සමඟම ඔහු සමඟ එම පලතුරු වෙළෙඳසලේ සේවය කළ 26 හැවිරිදි ගෝලයා ආගිය අතක් නැති අතර ඔහු සොයා දැන් පොලිස් මෙහෙයුම් ආරම්භ කර ඇත.
එම පලතුරු වෙළෙන්දාගේ මළ සිරුර ඔහුගේ වැඩිමල් සොහොයුරා (42) විසින් හඳුනාගත් අතර කටට පාන්කඩ ඔබා පහරදීමෙන් ඝාතනය සිදුකර තිබෙන බවට නිරීක්ෂණය විය.
එම මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රාගම මහ රෝහල වෙත යවන ලෙසට පොලිසියට නියම කළ වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද පොලිසියට නියෝග කරනු ලැබීය.
මේ වන විට එම සිද්ධි සම්බන්ධව කිහිප දෙනකුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙන අතර කැලණිය සහකාර පොලිස් අධිකාරි සමන් පුස්සැල්ල මහතාගේ අධීක්ෂණය මත බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.ඒ.සී.එල්. අමරසේකර, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එම්.එස්. රාජපක්ෂ අධිකරණ කටයුතු භාර උප පොලිස් පරීක්ෂක ඒ.එම්.ඩී. තිලකනාත් හා කැලණිය කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.බී. කහටපිටිය යන නිලධාරීහු එම සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වති.
බියගම - කේ. දුමින්ද, දෙල්ගොඩ _ බිහිදු මිනුවර
මව්බිම