ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු පළාත් සභා මන්ත්‍රී තවරාසා කලෙයිඅරසන් නම් කිරීමට ගෙන ඇති තීරණය දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ සමඟ සාකච්ඡා කිරීමකින් තොරව ගෙන ඇති බවට ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙක්කලනාදන් ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ මන්නාරම ප්‍රදේශයේ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදියි.
“ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තවරාසා කලෙයිඅරසන් පත් කිරීමට ගත් තීරණය අපිත් සමඟ සාකච්ඡා කළේ නැහැ. දිගාමඩුල්ලට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාදීම අපිට ගැටළුවක් නොවෙයි. තනි පුද්ගල තීරණයක් අනුවයි ඒ තීරණය අරගෙන තියෙන්නේ. තීන්දුවට කලින් අපිත් එක්ක සාකච්ඡා කළ යුතුව තිබුණා. කොහොම වුණත් ජනතාවට ඉදිරියේදී සංවර්ධන කටයුතු සිදුවෙන්න ඕනි කියලයි අපි හිතන්නේ. ”
මේ අතර අපේ ජන බල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මධ්‍යම කාරක සභාවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නම් කළද එම ධුරය සඳහා තවත් නම් කිහිපයක් මැතිවරණ කොමිසම වෙත යොමුකර තිබෙනවා.
පක්ෂයේ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කරමින් කියා සිටියේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය සඳහා තමන් වහන්සේ තෝරාගෙන ඇති බවයි.
එම තීරණය වලංගු නොවන බව පක්ෂයේ සභාපතිවරයා මැතිවරණ කොමිසමට පසුව දැනුම් දෙනු ලැබුවා.
කෙසේ වෙතත්, ඊයේ එම පක්ෂය මාධ්‍ය හමුවක් කැදවමින් සඳහන් කළේ අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නම් කිරීමට මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බවයි.
එමෙන්ම සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 7ට පත් කෙරෙන පුද්ගලයින් පිළිබද අවසන් තීරණයක් ගැනීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.
කෙසේ වෙතත්, මහ මැතිවරණයේදී සමගි ජනබලවේගයට සහය දැක්වූ සෙසු පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය බැගින් ඉල්ලා ඇති බවට ද වාර්තා වුණා.
මේ අතර, එක්සත් ජාතික පක්ෂයට හිමිව ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය සඳහා කවුරුන් පත්කරන්නේද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.
දැනටමත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එම පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවට පිවිසීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එමෙන්ම, ජාතික ජන බලවේගයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා කවුරුන් පත් කරන්නේ ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ඔවුන්ගේ මෙහෙයුම් කමිටුව ද අද රැස්වීමට නියමිතයි.