Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
05
"ඒ පාර ඒ කෙනා කිව්වා අනේ මගේ නෝනා නැතිවුණා, හදිසි අනතුරකින්. මට හරිම දුකයි. මට එයාව මතක් වෙනවා කියලා .." - යමුනා මාලිනී පෙරේරා

- "ඒ පාර ඒ කෙනා කිව්වා අනේ මගේ නෝනා නැතිවුණා, හදිසි අනතුරකින්. මට හරිම දුකයි. මට එයාව මතක් වෙනවා කියලා .." - යමුනා මාලිනී පෙරේරාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,786 Views
"පාරේ සින්දු කිව්ව බිරිදව මහත්තයෙක් ඇවිත් එක්කගෙන ගිහිං කිව්වා..ඒ කතාවලින් සිංදු ලිව්වා .."

"නමුත් එයාගෙන් අයුතු යෝජනා එනවා කිව්වා එයත් එක්ක එහෙ මෙහෙ යන්න.."

ඇත්තෙන්ම මම ගීත රචිකාවියක් වෙන්නෙ විවාහයෙන් පස්සේ. මගේ පළමු ගීතය සුනිල් එදිරිසිංහ ගායනා කරන ”අහස පොළොව වට පිටාව” ගීතය. පරාස්ස වේදිකා නාට්‍යයේ හොඳම නළුවා වෙලා මගේ මහත්තයා සේනකට ශිෂ්‍යත්වයක් ලැබුණා රුසියාවට යන්න; නාට්‍ය හා රංග කලාව හදාරන්න. රට ගියාට පස්සේ ලියුම් ලියනවනේ රුසියාවේ ඉඳන් මෙහාටයි, මෙහෙ ඉඳන් එහාටයි. මේ ලියුමක තිබ්බ කවියක් තමයි මේ. සේනක වැඩ කළේ මහවැලියේ. සුනිල් අයියත් මහවැලියේ වැඩ කළේ. සුනිල් අයියා මගේ කවි කියවලා තියෙනවා. පත්තරවල එහෙම යනවනේ. ඉතිං සේනක බැඳලා ඉන්නේ මාව කියලා දැනගත්තට පස්සේ සුනිල් අයියා කියලා තියෙනවා යමුනාගෙන් සිංදුවක් අරං එන්නකෝ කියලා. ඊට පස්සේ ඉතිං සේනක සුනිල් අයියට කියලා සිංදු නං ලියලා නැහැ. කවි තමයි ලියන්නේ, කමක් නෑ කියලා බලන්නං කියලා.

ඊට පස්සේ?
ඉතිං සේනක මේක කිව්වහම මට පුදුම හිතුණා. මොකද සුනිල් අයියා එතකොට මට හම්බවෙලා තිබුණෙත් නැහැ. ප්‍රවීණ ගායකයෙක් නිසා මං දන්නවා. මට හරි සතුටක් ඇතිවුණා. ”අහස පොළොව වට පිටාව” ලියලා දුන්නා මං. සේනක ඒක අරං ගියා සුනිල් අයියා ගාවට. සුනිල් අයියා මේක දැකලා බොහොම සතුටුවෙලා, මේසෙට තට්ටු කරලා කිව්වලූ මේක නියමෙට යයි කියලා. සුනිල් අයියගේ සරල ගී වැඩසටහනේදී ඕක ප්‍රචාරය වුණා. ප්‍රචාරය වෙද්දී එවෙලේම ඒක පටිගත කරගෙන තිබුණා සන්නස් ශ්‍රී බණ්ඩාර අයියා. එයා රජරට සේවයේ හිටියේ එතකොට. ගීතය කොළඹ සේවයේ ජනප්‍රිය වෙන්න කළින් රජරට සේවයේ ජනප්‍රිය වුණා. ඊට පස්සේ රුහුණු සේවයේත් ගිහිං තිබුණා. ඊට පස්සේ සුනිල් අයියා කියලා තිබුණා සේනකට යමුනා ගේ අර සිංදුව පුදුම විදිහට යනවනේ කියලා. එහෙම කියලා දවස් දෙක තුනක් ගියේ නෑ මෙන්න කොළඹ එකෙත් යන්න පටන් ගත්තා. හරිම සතුටුයි මට. හැමෝම කතා කළා ගීතය ගැන. සිංදුවක් ලියපු එක්කෙනා, එක ගීතයක් ලියූ රචිකාව ඔහොම තමයි මාව හඳුන්වන්නේ. හැබැයි සතුටක් ඇති වුණාට තව තව ලියන්න ඕන කියලා එකක් හිතට ආවෙත් නෑ. සේනක මට කිව්වෙත් නෑ තව තව ලියන්න කියලා. කවියත් එක්ක තමයි මගේ ගනුදෙනුව තිබුණේ. කවි පොත් ලියනවා, පොත් ලියනවා, එහෙම හිටියා.

ඉන් පස්සේ ලැබුණු ආරාධනා?
ඒ සිංදුවෙන් පස්සේ නවක කට්ටිය හුඟක් ආවා සිංදු ඉල්ලගෙන. එකේදී නං සේනක කිව්වා ඔයා දැන්මම අලූත් අයට ලියන්න යන්න එපා. ඔයා ගේ පළවෙනි සිංදුව කිව්වේ සුනිල් අයියා. රෝහණ අයියා තමයි සංගීතය. ඒ දෙන්නාම ප්‍රවීණයෝ. ඔයා නවකයෙක්නේ. ඔයත් පොළොවේ පය ගහලා ඉවරවෙලා අලූත් අයට අවස්ථාවක් දෙන්න කියලා කිව්වා. ඒ කියපු දේ මං ඇහුවා. ඒ පාර මං

ඒගොල්ලන්ගේ සිංදු පස්සට දැම්මා. පස්සේ ලියලා දෙන්නම් කියලා.

සඳ කිනිති නැමී ඔබේ දෙවන ගීතය නේද?
ඔව්... ”සඳ කිනිති නැමී” ලක්ෂ්මන් විජේසේකරගේ ඉල්ලීමකට ලිව්වා. ඒකත් එක්කම ලිව්වා මාලිනී බුලත්සිංහලට, මා නෙතු මගහැර ගීතය. ඒ ගීතත් හොඳට මිනිස්සු අතරට ගියා. ”මා නෙතු” සංයුක්ත තැටියකට ගත්ත මගේ පළවෙනි ගීතය. සුසුමක රාවය කියන සංයුක්ත තැටියට ඇය ඒ ගීතය ගත්තා.

”රෝස තොල් සිඹිම්” ඔබේ ගීත රචනා කලාවේ නව නැම්මක් ඇති කළ ගීතයක්?
මගේ හතරවැනි ගීතය දිවුල්ගනේට ලියූ ”රෝස තොල් සිඹිම්”. මගේ කවි පොතක ”ප්‍රේමයේ විවාහ ප්‍රාප්තිය” කියලා ලියපු කවියක් ඒක. ඒකට හරියට ප්‍රතිචාර තිබුණා රසිකයන්ගෙන්. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ගොඩක් මගෙන් අහලා තිබුණා ඒ කවි පංතිය ගැන. ඒක හින්දා මට හරි පිබිදීමක් ඇතිවෙලා තිබුණා ඒ කවි පංතිය ගැන. ඉතිං දිවුල්ගනේට සිංදුවක් දෙන්න ඕන උනහම මං ඒක තමයි ලිව්වේ. ඒකෙ තිබුණේ රෝස කටු ඇනෙයි කියලා ආරම්භය. දිවුල්ගනේ යෝජනා කරා රෝස තොල් කියලා වෙනස් කරමු කියලා. මේ ගීතය එක එක්කෙනා තම තමන්ගේ විදිහට ගත්තා. මට හරිම අනුවේදනීය සිද්ධියක් වුණා දවසක්. සෙනග ඉන්න තැනකදී එක්කෙනෙක් මා ළඟට ඇවිත් කිව්වා ‘අනේ මිස් ඔයා අර රෝස තොල් සිංදුව ලියලා තියෙන්නේ මම ගැනමනේ. නේද කියලා. මම ඇහුවා ඇයි එහෙම කියන්නේ කියලා. ඒ පාර ඒ කෙනා කිව්වා අනේ මගේ නෝනා නැතිවුණා, හදිසි අනතුරකින්. මට හරිම දුකයි. මට තිස්සෙම එයාව මතක් වෙනවා. මට හිතෙන්නේ මේ ගීතය මට ලියලා තියෙන්නේ කියලා. ”ඉවසන්න බැරි තවම ඔබගේ වෙන්ව යාමමයි...” කියලා තියෙනවනේ ගීතයේ. ඉතිං ඒ ගීතයෙන් පස්සේ මට තවදුරටත් ගීත රචනා ක්ෂේත්‍රයේ නිහඬව ඉන්න හම්බුණේ නැහැ. දිගටම ප්‍රවීණයන්ගෙනුත් ඉල්ලීම් ලැබුණා.

කවිකාරියක් වෙන්න හිතුවේ?
පාසල් කාලයේදී මම හරියට පොත් කියවන්න පුරුදු වෙලා හිටියා. කියවීම තමයි මගේ හොඳම විනෝදාංශය වුණේ. මොකද මට කියවීම පුරුදු වුණේ අපේ තාත්තාගෙන්. ගෙදර ඉන්න හැමවෙලාවකම තාත්තගේ අතේ පොතක් තිබුණා. ඊට අමතරව අපේ අත්තම්මා හරියට බණ පොත් කියවනවා. අපේ තාත්තා තමයි එයාටත් පොත් අරං දෙන්නේ. ඔය සද්ධර්මාලංකාරය, සද්ධර්ම රතනාවලිය වගේ ලොකු පොත්. අත්තම්මා මේ පොත් කියවලා ඒවා පූජා කරනවා පන්සලට. පුංචිම කාලේ මම දැක්කේ ඒක තමයි ඉස්සෙල්ලම. ඒ කාලේ ඒක හරියට මගේ හිතට වැදුනා. මම ඒ කාලේ කියනවා අත්තම්මට මම ලොකු උනාම ඔයිට වඩා ලොකු පොතක් ලියන්නම්කො කියලා කියනවා. ඉතිං ඒ වගේ පොත ගැන ආසාවක් ඇතිවුණා. තාත්තාත් පොත් කියවනවා. ඉතිං කියවීම තමයි මගේ ලොකුම විනෝදාංශය වුණේ.

ගීත රචනයට යොමුවීමට පෙරත් ඔබ ජනප්‍රියයි?
අපි පොඩි දවස්වල ගුවන්විදුලියේ හඳමාමා වැඩසටහන යනවනේ. සුමනා ජයතිලක, ලැම්බට් පෙම්මාවඩු දෙන්නා තමයි වැඩසටහන කළේ ඒ දවස්වල. එක දවසක් මට ඕක අහම්බෙන් අහන්න ලැබුණා. ඊට පස්සේ දිගටම අහන්න ගත්ත. සුපුරුදු වාදනය යනකොට මම දුවගෙන යනවා. පස්සේ මට හිතුනා මටත් මොනවහරි ලියන්න පුළුවන් ඇති කියලා. මොකද ඒ වෙනකොට මම මගේ ඉස්කෝලේ පොත්වල පසුපිටේ කුරුටු ගානවා යම් යම් අදහස් එහෙම. මම අදහස් පොත කියලා පොඩි පොතක් තියාගත්තා. හැබැයි හංගගෙන තමයි ඒක ලිව්වේ. කාටවත් පෙන්නුවේ නැහැ. පාඩම් පොත්වලට යටම තමයි ඒක තියලා තිබුණේ. මොකද මට ලැජ්ජයි කව්රුහරි දැක්කොත් මට හිනාවෙයි කියලා. දවසක් මං තාත්තට කිව්වා තාත්තේ මමත් හඳමාමාට කවියක් ලියන්නද කියලා. තාත්තා එච්චර කැමති වුණේ නැහැ. එතකොට මං පහේ පංතියේ වගේ හිටියේ. තාත්තා කිව්වා ඉගෙනගන්න කාල සීමාවේදී ඔයා කරන්න ඕන ඉගෙනගන්න එක. ඔය කලාව කියන ඒවා පස්සේ තමයි කරන්න ඕන. මට හරි දුකයි. මං කිව්වා එක වතාවක් ඉඩ දෙන්නකෝ මට කවියක් ලියන්න කියලා. ඒ ගමන එක සැරයක් ලියන්නකෝ එහෙනං කියලා මට පෝස්ට් කාඞ් එකක් දුන්නා. මම ගාල්ලේනේ. ඒ පැත්තේ කුඹුරුවල යනකොට අව්වේ කර වේවි වැස්සට තෙමි තෙමී අමුඩ ඇඳගෙන ඉන්න ගොවි මහත්වරු දකිනවනේ. ඒ දැකපු දේවලින් මගේ හිත සසල වෙලා තිබුණා. ඒ හින්දා ගොවියා ගැන තමයි කවි ලිව්වේ. අන්තිම පේළිය ලියුවේ ගොවියා නැතොත් අපි ඔක්කොම බඩගින්නේ කියලා. ඔය ගොවියා නැතොත් අපි ඔක්කම බඩගින්නේ කියන අන්තිම පදය සුමනා ජයතිලක නැන්දා නැවත ප්‍රතිරාවය කරලා ඒක ගැන අගය කළා. ඒක මට ලොකු ශක්තියක් වුණා. මම රේඩියෝ එකට කන තියාගෙන ඉඳලා පටන්ගන්න කොටම කෑ ගැහුවා මෙන්න මගේ කවි පංතිය යනවා කියලා ඒ පාර ඔක්කොම ගිහිං අහං හිටියා. අම්මයි තාත්තයි සතුටු වෙන්න ඇති. නමුත් ඒගොල්ලෝ වැඩි සතුටක් පෙන්නුවේ නැහැ. තාත්තා කිව්වා දැන් හරිනේ, ඔන්න ඔයාගේ ඉල්ලීම ඉෂ්ට කළා. ඔය ඇති කියලා කිව්වා. එදා ? මගේ අදහස් පොතේ තව ගොඩ ගොඩ දේවල් ලියවුණා. නමුත් දැන් යවන්න එපා කිව්වනේ. කමක් නෑ කියලා හිතලා මං අදහස් පොතේ ඔක්කොම ලියනවා. ගොඩක් දුරට මං ලිව්වේ දුක් විඳින මිනිස්සු ගැන දේවල්.

ඔබ විද්‍යා විෂයන්ගෙන් නේද උසස් පෙළ කළේ?
උසස් පෙළ කරන්න තේරුණේ විද්‍යා අංශයෙන්. ඒ නිසා තාත්තලා ගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා මම වෛද්‍යවරියක් වෙයි එහෙම කියලා. නමුත් ලකුණු මදිවුණා. ඊට පස්සේ ගුවන්විදුලියට ආයේ ලියන්න පටන් ගත්තා. පසන් නිවස, මලක මහිම, සොඳුරු සෙවණ වගේ ගොඩක් වැඩසටහන් තිබුණා. ලියන ලියන හැම එකම ප්‍රචාරය වෙන්න ගත්තා. ඒ හින්දා රසික පරපුරක් එතනින්ම ඇතිවුණා මට. ඒක මගේ මොකක් හරි ලැබීමක් වෙන්න ඇති කියලා මට හිතුණා. තාත්තාත් එතකොට තහංචි දැම්මේ නෑ ලියන්න එපා කියලා. එතකොට ඉතිං මම දැනුම් තේරුම් ඇති ලොකු එක්කෙනෙක්නෙ. මට කවි ලියද්දී ප්‍රවීණයන්ගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ධර්මසිරි ගමගේ මහත්මයා. බොබී බී. බොතේජු මහත්මයා, ඒ මහත්මයත් මට ලියුමක් එවලා තිබුණා අනාගතයේදී දක්ෂ කිවිඳියක් වෙයි ඔයා දිගටම ලියන්න කියලා. මට ඒ දේවල් හොඳට මතකයි. මොකද ඒ උත්තේජනය හරිම වැදගත් වෙනවා. ඉතිං ඉස්සරහට පොතක් කරන්න කියලත් ඔහු යෝජනා කරලා තිබුණා. ධර්මසිරි ගමගේ මහත්මයාගේ යොවුන් ජනතා පුවත්පතට මටත් ලියන්න, ඇවිල්ලා හම්බවෙන්න ලේක්හවුස් එකට කියලා ගමගේ මහත්මයා කිව්වා. ඔය විදිහට යොවුන් ජනතා පුවත්පතට ලියන්න පටන් ගත්තා. ඒ වෙනකොට මට රස්සාවකුත් හම්බුනා කොළඹ. ලේක්හවුස් ආයතනයයි මම වැඩකරපු ආයතනයයි අතරේ වැඩි දුරක් නැහැ. ඉතිං එක දවසක් අපි කට්ටියක්ම ගියා ධර්මසිරි ගමගේ මහත්මය හම්බවෙන්න. පහන් වටේ සොහොයුරු සොහොයුරියෝ ගොඩක් හිටියනේ. මම වගේම තව සිය දහස් ගණනක් එළියට ආවා නිර්මාණකරුවෝ. ගීත රචනා ක්ෂේත්‍රයට, කාව්‍ය ක්ෂේත්‍රයට වගේම ලේඛන ක්ෂේත්‍රයට, පුවත්පත් මාධ්‍යයට අවතීර්ණ වෙච්ච ප්‍රමුඛයෝ සමූහයක් ඉන්නවා. ඒකත් මතක් කරන්න ඕන.

ඒ කාලේ වේදිකා නාට්‍ය බලන්නත් හරියට යනවලූ නේද?
මම රැකියාවකට යද්දී බම්බලපිටිය බෝඩිමක තමයි නතර වුණේ. දයානි ඇතුළු බෝඩිමේ යෙහෙළියොත් එක්ක නාට්‍ය එහෙම බලන්න යනවා. දවසක් බෝඩිමේ යෙහෙළියොත් එක්ක එකතුවෙලා ගියා පරාස්ස නාට්‍යය බලන්න. ඒකෙ මංගල දර්ශනය ලූම්බිණියේ තිබුණේ. මේ නාට්‍යයේ පුංචි රාළ කියන ප්‍රධාන චරිතයට හිටියේ සේනක. ශ්‍රියන්ත මෙන්ඩිස් එහෙම හිටියා යකාට. හරිම ලස්සන නාට්‍යයක්. මේක බලලා මං ඉතිං මගේ යාළුවන්ට කිව්වා මාර විදිහට රඟපානවනේ මේ කට්ටිය කියලා මං හරියට අගය කළා. නාට්‍යය ඉවර වුණාට පස්සේ මගේ යාළුවෝ ටික වේදිකාවේ පිටුපසට ගියා මේගොල්ලන්ව හම්බවෙන්න. ඒගොල්ලෝ නළු නිළියොත් එක්ක කතා කරනවා. අපේ තාත්තා එච්චර කලාවට කැමති නැහැ. කලාකාරයින්ගේ ජීවිත හරි අසාර්ථකයි වගේ දේවල් තාත්තගේ හිතේ තිබ්බා. ඉතිං තාත්තා බය වුණා ඒකට. ඉතිං මං තාත්තා ගැන හිතලා කමක් නෑ ඕගොල්ලෝ ගිහිං කතා කරන්න, මං මෙතන ඉන්නම් කියලා හිටියා. ටික වෙලාවකින් මෙන්න සේනක එනවා අර මගේ යාළුවෝ දෙතුන් දෙනාත් එක්කම එතන්ට. මොකද මගේ යාළුවෝ සේනකට කියලා මං එයා ගේ රඟපෑම් අගය කළා කියලා. එතකොට මම යොවුන් ජනතා පත්තරේට එහෙම ලියන කාලේ. මං කවි කියවලා තියෙනවා ඔයාගේ, බොහොම ලස්සනයි කවි කියලා සේනක කිව්වා. ඔන්න ඔහොම තමයි මට සේනකව හම්බ වුණේ. ඉතිං සේනක අපේ ගෙදර ගිහිං කතා කළාට පස්සේ තාත්ත ගේ හිතේ පැහැදීමක් ඇතිවුණා. ඊට පස්සේ සේනකට පරාස්ස නාට්‍යයේ ප්‍රධාන නළුවට සම්මානයක් ලැබුණා. තව රංග කලාව හදාරන්න රුසියාවට ශිෂ්‍යත්වයක් හම්බුනා. රුසියාවේ ඉන්න කාලේ එයත් කවියෙන් ගොඩක් දේවල් ලියලා එවනවා. මමත් කවි ලියනවා. එහෙම ලියපු කවියක් තමයි අර කලින් කිව්වා විදිහට ගීතයක් වුණේ.

දහ අතේ දුවන මල් සුවඳටත් කතාවක් ඇති?
රොහාන් ශාන්ත බුලේගොඩ ගයන මේ ගීතය ලියවුණේ මගේ හිත හොඳටම පාරපු අනුවේදනීය සිද්ධියක් නිසා. එක ඉරිදා දවසක එක තරුණ වයසේ පිරිමි කෙනෙක් ආවා ඔලොගුවක් කරේ එල්ලගෙන. ඇවිත් කිව්වා ‘මිස් මං ආවේ මිස්ව හම්බවෙන්න, ලොකු දෙයක් තියෙනවා කතා කරන්න කියලා. එතකොට ඒගොල්ලෝ පදික වේදිකාවේ ගීත ගයමින් හිටපු දෙන්නෙක්. එයා ගේ නෝනා සිංදු කියනවා. එයා තබ්ලා ගහනවා. එහෙම ඉන්න අතරේදී පදික වේදිකාවේ, බලවත් කෙනෙක්ගේ ඇල්ම බැල්ම යොමුවෙලා තියෙනවා මේ ආව කෙනාගේ බිරිඳගේ දක්ෂතාවයට. මේ මනුස්සයා කියනවා ඉතිං බලන්න මිස් අපි ගෙදර පාන් ගෙඩිය කාලා ළමයි දෙන්නත් එක්ක බොහොම සතුටින් හිටපු එක වෙනස් වුණා අර බලවත් මනුස්සයා හින්දා. එයාගේ වාහනේ එවනවා මෙයාව එක්කගෙන යනවා. ගිහිල්ලා එයාගේ සාදවලට එයා සිංදු කියනවා. අපි පාරේ අයින්වල ඉඳගෙන ඒ සිංදු කියපු කාලේ කීයක් හරි සොච්චමක් හම්බ කරගෙන අපි ජීවත් වෙච්ච ජීවිතේ අපිට නැතිවුණා. එහෙම කිය කියා ඒ මනුස්සයා ඇඬුවා. මේක ගැන මට සිංදුවක් ලියාගන්න ඕන කියලා යන්න ගියා. ගේට්ටුවට ගාවට ගිහිල්ලා එයාගේ ඔලොගුව අරං කරේ දාගෙන ආයේ හැරිලා බලනකොට මට එක පාරටම හිතුනේ කොයි අතේ ගිහිං මං මේ හිත හදා ගන්නදෝ කියන වචන ටික. ඒ අනුව තමයි ඒ ගීතය බිහිවුණේ. ඒක හරිම දුක හිතුන සිදුවීමක් වුණා. ඉන්පස්සේ ඒ කෙනා ගැන ආරංචියක් ලැබුණෙත් නෑ. මොකක් වුණාද දන්නෙත් නෑ.

”ආදරය සුන්දර වරදකි” ඔබේ ඇති සුවිශේෂී ගීතයක්?
මේ ගීතය සමබන්ධයෙන් මගේ හිත සසල කරපු සිද්ධියක් තමයි දවසක් පිරිමි කෙනෙක් බොහොම රළු කට හඬකින් කතා කරලා කිව්වා මිස්ලා සිංදු ලියන්නේ මිනී මරන්නද කියලා ඇහුවා. මට දෙලොව රත් වුණා. මං ඇහුවා ඇයි කියලා. ඒ ගමන කිව්වා අන්න එක්කෙනෙක් වහ බීලා මැරිලා ආදරය සුන්දර වරදකි කියලා ලියලා තියාගෙන කියලා. එයා ඒ පත්තර කොළෙත් මට එව්වා කිව්වා. පත්තර කොළේ තිබුණේ ආදරය සුන්දර වරදකියි ලියා තරුණිය වස බී නසී කියලා යෙදූ සිරස්තලය. මට පුදුම විදිහට දුකක් ඇතිවුණා. ඒ ගීතය මොනතරම් හිතට වැදුනද කියන එක තමයි ඒකෙන් තේරුණේ. ආදරය සුන්දර වරදකි කියන වචන තුන මට පිටරට ඉන්න රසිකයෝ පවා කතා කරලා කිව්වා පුදුමාකාර සර්ව සත්‍යයක් කියවෙන ගීතයක් කියලා. මං ඒ හැමෝටම කිව්වේ අනේ එහෙම හිතන්න එපා. ආදරය සුන්දර වරදක් කියන එක හැම තැනදීම වෙන්නේ නෑ කියලා. නමුත් මේක මේ ආප්තෝපදේශයක් වගේ ගියා ඒක. අපි විරහ ගීත ලියන්නේ මිනිසුන්ව නැති කරන්න නෙමෙයි. තේරුම් අරගෙන ඒක රසයක් කරගෙන ජීවිතේ තවදුරටත් ගෙනියන්න ඕන කියන නිසා.

”ප්‍රේමය ලොව සැම තැනම ඇතී” ගීතයත් හැම බොහොම ජනප්‍රියයි?
අපි හැම තැනම ප්‍රේමය දැක්කට ඒ තියෙන්නේ ප්‍රේමයමද කියන එක ප්‍රශ්නයක්. මම ලියන ඒවා පෙන්නනවනේ සේනකට. ඉස්සෙල්ලම පෙන්නුවේ සේනකට. එයා කිව්වා ඇයි එහෙම ලියන්නේ එතකොට අපි අතර තියෙන්නේ මොකද්ද? කියලා එයාට ටිකක් තරහා ගියා. මං කිව්වා එහෙම හිතන්න එපා මේ පොදු දෙයක් ගැන මං ලිව්වේ කියලා. මට දවසක් චන්දන ලියනාරච්චි කිව්වා ඒගොල්ලන්ගේ පල්ලියේ පියතුමා දවසේ දේශනයකට මේ ගීතය ගත්ත කියලා.

ශෂිකා ගයන ”මා අහසේ ලියූ දේ” කාගේ අත්දැකීමක්ද?
එක දවසක් මං වැඩ කරන කාර්යාලයට ආවා පාසල් ශිෂ්‍යාවක් නිල ඇඳුම පිටින්ම. කොළඹ උසස් බාලිකා විද්‍යාලයක උසස්පෙළ හදාරන ශිෂ්‍යාවක්. ඇවිල්ලා කිව්වා නැන්දේ මං ආසයි නැන්දගේ සිංදුවලට, මං ආවේ පොඞ්ඩක් කතා කරලා යන්න. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා කමක් නැද්ද කිව්වට කියලා මගෙන් ඇහුවා. මං කිව්වා කමක් නෑ දුව ප්‍රශ්නයක් තියෙනවා නං කියන්න මට උදව් වෙන්න පුළුවන් දෙයක් නං මං උදව් වෙන්නං කියලා. ඊට පස්සේ කිව්වා මං පිරිමි ළමයෙක්ව ආශ්‍රය කළා ගෙවල්වල දන්නෙත් නැහැ. මං හොඳටම ආදරය කළා එයාට. අපි ලියුම් ලිව්වා එහෙම. නමුත් එයාගෙන් අයුතු යෝජනා එනවා කිව්වා එයත් එක්ක එහෙ මෙහෙ යන්න ඉතිං. ඒකට එයා කැමති නැහැ කියලා කිව්වා. ඉතිං ඊට පස්සේ මේ පෙම්වතා එයාව අතහැරල ගිහිල්ලා. ඒකෙ දුක කියන්න තමා එයා ආවේ. කතා කරලා අන්තිමට එයාත් හිත හදාගෙන මට වැඳලා එහෙම ගියා. ඉතිං ඔය සිද්ධිය මගේ ඔලූවේ ටිකක් වැඩ කළා. ඔය සිද්ධියත් එක්ක තමයි මා අහසේ ලියූ දේ කිව්වේ නුඹට විතරමයි ගීතය ලිව්වේ.

කෝපි මල් සිනා?
ඒ ගීතයත් පත්තරේක ගිය වාර්තාවක් නිසා මගේ හිතට ආපු සිතුවිල්ලක්. යොවුන් වියේ තරුණියක් ප්‍රේමයෙන් වසඟ කරගෙන ගොස් දූෂණය කර මරා දමයි කියලා පුවතක් දැක්ක මං. ඉතිං ඒක දැකලා මට හරි දුක හිතුනා. ඉතිං ඉගෙනගන්න කාලේදී ඉගෙනීම මිස වෙන දේකට නොපෙළඹෙන්න, පොළඹවන්න ඕන කියලා මට හිතුනා. චරිතා මගෙන් ඒ දවස්වල ගීතයක් ඉල්ලලා තිබුණේ. මට හිතුනා මේක ලියලා දෙන්න ඕන කියලා.

ගහක මල් පිපිලා ගීතය බොහෝ සේ කතා බහට ලක්වුණා?
එකේ තියෙන්නේ අප්‍රකාශිත ප්‍රේමයක් ගැන. ඒක ලියලා දැන් අවුරුදු විස්සකට වැඩියි මං හිතන්නේ. නමුත් සමරිසි ප්‍රේමයක් ගැන කියවුණු ගීතයක් කියලා හිතපු පිරිසක් හිටියා. ඒත් මම ලිව්වේ එහෙම අර්ථයකින් නෙමෙයි. අනික ”කැලණි ගඟට සඳ වැටිලා කැලණි අහස හඬන්නේ” ප්‍රින්ස් ගායනා කළ ගීතය කැලණි පාලම ළඟ යුද කාලේ කාකි පාට ඇඳගත් ආරක්ෂක අංශ ඉන්නව දැකලා ලියපු ගීතයක්. භීෂණ යුගයේ ඇතිවෙච්ච කම්පනය නිසා සුන්දරත්වය පවා කෙලෙසන අවස්ථා එනවා කියන එකයි මට කියන්න ඕන උනේ. ඒ වගේම ඈත සිටන් එන්නේ සෙල්ලි සෙල්ලියේ, සුනිල් අයියගේ ගීතයත් ලියවුණේ මම දැකපු දසුනක් නිසා. මමයි සේනකයි ගමනක් යමින් ඉද්දී අපට ඉදිරියෙන් ගිය වාහනයකට නගින්න ගිහිල්ලා එක්තරා කාන්තාවක් සාරිය පැටලිලා බිම වැටුණා. මට එවේලේ කල්පනා වුණා මේ කාන්තාව දරුවන්ගේ, සැමියාගේ ඔක්කොම වැඩ ඉවර කරලා රතු ඉර ගහන්න කලින්නේ මේ යන්නේ හදිස්සියේ කියලා. නූතන කාන්තාවගේ ශෝචනීය පැත්තක් තියෙනවා ජීවිතේ.

ඔබේ දියණියන්?
මගේ ලොකු දුව ප්‍රතිභා ප්‍රභා මගේ ගීත ගායනා කරනවා. ”සිහිනයට තරම් තටු නෑ මට නම්”, කසුන් එක්ක, තීක්ෂණ සමග ”වසා යන්නකෝ හද දොර සෙමින්”, චන්දන ලියනාරච්චි එක්ක ”සිහිනයක ගැලී අපි ඉඳිමු වෙලී” වැනි මගේ ගීත කිහිපයක්ම ඇය ගායනා කළා. දූලා දෙන්නම දැන් විවාහකයි. පොඩි දුව ප්‍රමුදි. එයා විවාහ වුණේ සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ සාලිය ඉලංගසිංහ එක්ක. ඔහු වින්ග්ස් නමින් බෑන්ඞ් එකක් කරනවා. එයාගේ අතිනුත් මම ලියපු ගීතයක් නිර්මාණය වෙනවා ළඟදී, චන්දන ලියනාරච්චි ගායනා කරන. පෙම නුඹේ මට අගේ සසරටම නම් එය ප්‍රේම ගීතයක්.

යුගන්ති යශෝධරා
දිවයින
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top