බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ අද යළි මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
වරෙන්තු නිකුත් කර දින 11කට පසු අනුරුද්ධ සම්පායෝ පෙරේදා කුරුණෑගල දී පොලීසිය අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් කේ.ජී. ගුණදාස හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඊයේ නඩුව කැදවූ අවස්ථාවේදී අනුරුද්ධ සම්පායෝ වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා ඇප ඉල්ලීමක් සිදුකළ අතර, එය ප්‍රතික්ෂේප කරමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් දැඩි විරෝධයක් පළ කළා.
ඒ අනුව බන්ධනාගාර ගත කෙරුණු මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ දුම්බර බන්ධනාගාරය වෙත යොමු කිරීමටයි කටයුතු කර තිබුණේ.
එමෙන්ම, සිද්ධියට අදාළව චෝදනා එල්ල වී අධිකරණයට ඉදිරිපත් කිිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සෙසු බන්ධනාගාර නිලධාරීන් තුන් දෙනා ද අද මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර, තම භාරයට ගත් මත්ද්‍රව්‍ය තොග යළිත් ජාවාරම්කරුවන්ටම අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් 13 දෙනා අද යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පසුගිය දා ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඇතුලූ 21 දෙනෙකු රහස් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.