මේ වෙලාවේ රට මැරිලා. මම ලොක් ඩවුන් වෙලා කිව්වොත් හරි. මගේ වැඩ කිහිපයක්ම නතර වෙලා තියෙන්නේ. හැමදේම සෘණාත්මකව හිතන්න බෑ. නමුත් යථාර්ථය එක්ක මට බොරුවට හිනා වෙන්නත් බෑ.
කොරෝනා තත්ත්වය නිසා කලාකරුවන් දැඩි පීඩාවට පත්වුණු කොටසක්. ඔබත් එයින් පීඩාවට පත්වුණ කෙනෙක් නේද?
ඔව්, මට දරුවෝ හතරදෙනෙක් ඉන්නවා. එයාලා පෞද්ගලික පාසල්වල ඉගෙන ගන්නේ. ගෙවල් කුලී ගෙවන්න, ළමයින්ට උගන්නන්න සියලු දේ මම බලන්න ඕනේ. හැබැයි මම කියන පුද්ගලයාට මේ වෙලාවේ රුපියලකවත් ආදායමක් ලැබන්නේ නැහැ. මගේ සටන් කලා පන්ති පටන් ගන්න විදියක් නැහැ. මොකද ඒ පන්තිවලට එන්නේ අවුරුදු 20ට අඩු දරුවෝ.
අපි ලොකු උභතෝකෝටිකයක හිරවෙලා ඉන්නේ. සංගීත ක්ෂේත්‍රයේ අය භාතිය, සන්තුෂ්, රොෂාන් ප්‍රනාන්දුලා වගේ ශිල්පීන් එකතුවෙලා ඔවුන්ගේ සංගීත ක්ෂේත්‍රයේ යැපෙන්නන්ගේ හතළිස්පන්දහසක් විතර ලේඛනයක් හදලා කර්මාන්තයක් ලෙස මුහුණ දීපු තත්ත්වය ගැන රජය එක්ක කතා කළා. ඔවුන් ඒ සම්බන්ධ ලොකු වැඩපිළිවෙළකට ගියා. සිනමාව, ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය දැවැන්ත කර්මාන්තයක් වුණාට මේ වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් නැහැ. කර්මාන්තයක් නම් එය නියෝජනය වෙන ආයතනයක් තියෙන්නේ ඕනේ. අපේ ක්ෂේත්‍රයේ ඉන්න ශිල්පීන් ගැන පැහැදිලි සංඛ්‍යාත්මක ලේඛනයක්වත් නැහැ. කලාකරුවෝ වෙනුවෙන් ණය ක්‍රමයක් හඳුන්වා දුන්නම අපිට ඒවා ලැබෙන්නේ නැහැ.
සංගම් කිහිපයකින් බැංකු ණය ලබාදෙන්න නම් ලේඛන යවලා. ඒ සියල්ල දේශපාලන සංගම්. මම ඒ සංගම්වලත් නැහැ. කොරෝනා කාලේ මට කිහිපදෙනෙක් බඩු එවලා තිබ්බා. හැබැයි සමහරුන්ට නම් අපිව මතක් වෙලා තිබ්බෙවත් නැහැ. දැන් පහුගිය කාලේ කුඩා දරුවන් කොච්චර දූෂණය කළාද ඒත් එක කලාකරුවෙක්, දේශපාලනඥයෙක්, ඒ ගැන කතා කළේ නැහැ. එහෙම දෙයකට සංවේදී නොවෙන අය අපිට මුහුණ දෙන්න වෙන දේවල්වලදී සංවේදී වෙයිද? මම ආසන්න කාලසීමාවකදී බිලිඳු හා ළමා අපචාරවලට විරුද්ධව ඒවා වළක්වන්න වැඩපිළිවෙළක් පිරිසක් එකතු කරගෙන ආරම්භ කරනවා.
පහුගිය කාලේ චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමුවුණානේ. ඒ නිර්මාණ තවම ප්‍රේක්ෂකයන් අතරට ගේන්න බැරි වුණා නේද?
ඔව්. මම පහුගිය අවුරුදු තුනේ චිත්‍රපට තුනක් කළා. ඒ “මේඝ, ආදරණීය අමන්දා” සහ “සද්ධා”. මේඝ චිත්‍රපටය ලිව්වේ සුදත් දේව් පතිනායක. එය නිෂ්පාදනය කළේ ප්‍රියදර්ශනී දැදිගම. එය පහුගිය මාර්තු මාසේ තිරගත කරන්න හිටියේ. නමුත් කොරෝනා ප්‍රශ්නය නිසා එය තිරගත කිරීම කල්ගියා. ආදරණීය අමන්දා චිත්‍රපටය ලිව්වේ උපාලි බණ්ඩාර වීරසේකර. මිල්රෝයි ප්‍රනාන්දු සහ ලාල් වික්‍රමසිංහ තමයි එය නිෂ්පාදනය කළේ. සද්ධා චිත්‍රපටය ලිව්වේ චාමර ප්‍රසන්න කොඩිතුවක්කු.
රසික රත්නායක තමයි එය නිෂ්පාදනය කළේ. පළමු වතාවට චීනයේ සටන් ගුරුවරයකු වුණ Duxianaping සම්බන්ධ කරගෙන චීන කුංෆු චිත්‍රපටයක් විදියට තමයි එය කළේ. ඔය චිත්‍රපට තුනම තියාගෙන මම බලාගෙන ඉන්නවා. දැන් මේ රටේ මිනිස්සුන්ට චිත්‍රපටයක් බලන්න මානසිකත්වයක් නැහැ. සංක්‍රාන්ති තත්ත්වයක ඉන්නේ. බලමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා.
ඔබේ සටන් කලා පන්තියත් දැන් නවත්තලාද?
මම 2014 අබුඩාබි එම්බසියේ වැඩ කරන්න ගිහින් 2017දී තමයි ලංකාවට ආවේ. 2018 අවුරුද්දේ මැද භාගයේ විතර මම තීරණය කළා මගේ සටන් කලා පන්ති දියුණු කරන්න. මම කොළඹ පන්ති තුනක් සහ කොළඹින් පිට පන්ති පටන් ගත්තා. මම කරන්නේ බෘෘස්ලිගේ සටන් කලාව. ඒ කියන්නේ ජිට් කුන්ඩෝ සටන් කලාව. ඒ සම්බන්ධ Tommy Cardenas කියන සටන් ගුරුවරයා ලංකාවට ගෙනත් මම ලොකු පුහුණු වැඩසටහනක් කරන්න හිටියා. ඒත් කොරෝනා ප්‍රශ්නය නිසාත් ඒක අතරමඟ නතර වුණා. ඒවගේම සටන් කලා පන්ති දැන්ම පටන් ගන්න විදිහකුත් නැහැ. ඡන්දෙන් පස්සේ යම් යම් වෙනස්කම් එක්ක පන්ති පටන් ගන්නවා. චීනයත් එක්ක කරන්න හිටපු වැඩත් පටන් ගන්නවා.
ඔබ දැන් ටෙලි තිරයේ පේන්නත් නෑ. ඇයි ඒ?
මම 2007 දී මෙගා නාට්‍යවලට විරුද්ධව කතා කළා. ළමා පරපුර ගැන හිතලා තමයි මම ඒවට විරුද්ධව කතා කළේ. මම එහෙම කතා කරලා දවස් තුනකට පස්සේ මාව වැඩ කරමින් හිටපු මෙගා නාට්‍යයෙන් අයින් කළා. ඊට පස්සේ නාට්‍ය කිහිපයක් ඉඳලා හිටලා කළාට ලොකුවට වැඩ කරන්න ලැබුණේ නැහැ. මම ටෙලිනාට්‍යවලින් අයින් වෙලා නැහැ. මාව අයින් කළා.
දැන් ඔබ මෙගාවලට විරුද්ධ නැද්ද? දැන් මෙගාවලට ආරාධනා ලැබුණොත් සම්බන්ධ වෙනවද?
සම්බන්ධ වෙනවා. ඒත් මට ආරාධනා ලැබෙන්නේ නැහැ.
ඇයි ඒ?
අපේ රටේ ප්‍රතිපත්තියක් තියාගෙන කාටවත් එහෙයියන් නොවී වැඩ කරන ශිල්පීන් පිරිසක් ඉන්නවා. මමත් ප්‍රතිපත්තිමය වශයෙන් යම් තැනක ඉන්නවා. මම හැමෝටම සර් කියාගෙන යන්නේ නැහැ. මම කෙළින් කතා කරන එක සමහරුන්ට දිරවන්නේ නැතිව ඇති. සමහර අධ්‍යක්ෂවරු ඉන්නේ නළුවෝ වෙන්න ඉන්න. ඒ අය පෞරුෂයක් තියාගෙන ඉන්න අපි වගේ අයට කැමැති නැහැ. ලෙස්ටර් ජේම්ස් පීරිස් වගේ ධර්මසේන පතිරාජ, ජයන්ත චන්ද්‍රසිරි, ජැක්සන් ඇන්තනී වගේ අධ්‍යක්ෂවරු මාව ඔවුන්ගේ නිර්මාණවලට ගත්තා. දැන් ගොඩක් ඉන්නේ නවකයෝ. ඔවුන් හොඳයි. හැබැයි ඔවුන් මාව ආශ්‍රය කරලා නැහැනේ. මම ලොකු ගණන් කියනවා ඇති. මාත් එක්ක වැඩ කරන්න බැරිව ඇති කියලා ඔවුන් හිතාගෙන ඇති. මම ඉතිං ලාබ ගණන් කියන්නේ නැහැ. කොහොම වුණත් මාත් එක්ක වැඩ කරන්න පුළුවන්ද බැරිද කියලා කතා කරලා බලන්න ඕනනේ. මම කාලයක් වාමාංශික දේශපාලනය එක්ක වැඩ කළා. ඒකත් එක්කත් මට වැඩ අඩු වුණා. කොහොම වුණත් ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි අධ්‍යක්ෂවරු මාව නිර්මාණවලට ගත්තේ මාව වැඩිපුර පේන්න නැති නිසා. ඒ වගේ හොඳ දේවල් වගේම අනෙක් පැත්තෙන් වැඩ අඩුවීමෙන් නරකකුත් වුණා.
ඔබ ඔබේ තෝරාගැනීම් ගැන අද පසුතැවෙනවද?
පසුතැවෙන්නේ නැහැ. පාඩුවෙලා තියෙනවා. මගේ පවුලට අවාසි සහ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මම පසුතැවෙන්නේ නැහැ. හැබැයි දුක්වෙලා තියෙනවා. ප්‍රතිපත්තියක් තියාගෙන මේ රටේ දියුණු වෙන්න බැරිද? මම හිටපු ජනාධිපතිවරයෙක් යටතේ අවුරුදු 12ක් වැඩ කළා. මම 2014 එළියට එන්නේ මට දෙයක් කරගෙන නෙමෙයි. මම ලෝකයක් දිනන්න හිටපු කෙනෙක්. මට ඒක කරගන්න බැරිවුණා. මම ඒ ලෝකය මගේ දරුවන්ට හරි හදලා දෙන්න ඕනේ. මම තාමත් කාටවත් එහෙයියෙක් නොවී ඉන්න එක ගැන සතුටුයි.
ඔබ දැන් තෝරා ගැනීම් කරන්නේ නැද්ද?
දැන් මම කතා කළොත් ඕනෑම ටෙලි නාට්‍යයක රඟපානවා.
ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කළොත් නරකද?
මම කොරොනා කාලේ පොත් කියෙව්වා. එතකොට සුමන ආලෝක බණ්ඩාර ලියපු ‘පෑළවිය’ කියන පොත මට හම්බවුණා. ඒ පොත ටෙලි නාට්‍යයක් ලෙස කරන්න සැලැස්මක් තියෙනවා.
ඔබේ පවුල ගැනත් කතා කරමු?
බොහෝ කලාකරුවන්ට නැති දෙයක් මට තියෙනවා. ඒ මගේ පවුල. මට හොඳ පවුල් ජීවිතයක් තියෙනවා. මගේ දරුවෝ හතරදෙනාගෙන් ලොකු දුවලා දෙන්නා ග්‍රැෆික් ඩිසයිනින් ඉගෙන ගන්නවා. තුන්වැනියා දුව. හතරවැනියා පුතා. ඒ දෙන්නා තවම ඉගෙන ගන්නවා. පුතා මගේ නාට්‍යයකත් රඟපෑවා. උදයකාන්ත වර්ණසූරියගේ ගින්දරී 2 චිත්‍රපටයෙත් රඟපෑවා. තුන්වැනි දුවත් චිත්‍රවලට දක්ෂයි. ලොකු දෙන්නත් චිත්‍රවලට, සංගීතයට තමයි දක්ෂ.
තිළිණි කෞශල්‍යා විජේසිංහ