එයා දැනන් උන්නු එකම දේ... එයා මේ කටු දැල් අස්සේ හිරවෙලා ඉන්න විත්තිය විතරයි.. බාහිර ලෝකයේ කිසිම කථිකයෙකුට ඇහුම්කන් දෙන්නවත් එයාට අවසර නැහැ කියලයි..
“මම ඌ එක්කලා හිනාවුනා. දෙයියන් වහන්සේයි මමයි විතරයි දන්නේ ඒක උගේ අන්තිම හිනාව කියලා.. ඌ මාව තුරුළු කරගත්තා. හරියට මුකුත් නොකරපු තොත්ත බබෙක් වගේ.. මම කොට්ටේ යට තිබ්බ මේස පිහිය අතට ගත්තා.. මට ඒ වෙලාවේ වෙන මුකුත්ම තේරුනේ නැහැ. මට දැණුනේ මම දැන් මේ ප්රථිවියේ ඉන්න බිහිසුණු සතාව අන්තිම ගමනට යවනවා කියලා විතරයි.. ඌට මේ ලෝකේ ජීවත් වෙන්න කිසිම අයිතියක් නැති විත්තිය විතරයි.....”
“ඔයා ඌව මැරුවා..” මම ඒක ඇහුවේ හෙමින්. ඒ වෙනකොටත් නාඳුනන මේ තැනැත්තිගේ අප්රභංශ කතාව මගේ නෝට් බුකිය ඇතුළට රිංගවමිනුයි මම හිටියේ.
“ඔව්.... මැරුවා මම... අපරාදේ හිතුණා... එකපාරම මැරුවේ... ඒත්... වැඩක් වෙනවද? මටත් ඕනි වුනේ ඌට ඇති තරම් විඳවන්න ඇරලා මැරියන් කියලා කියන්න.... ඒ දේවල් වෙද්දි... මට මම කරන දේ මහා පවක්ය, අපරාධයක්ය, කියලා හිතුනේ නැහැ. කොටින්ම ජිවත් වෙන්න කියලා ඒ වෙද්දිත් බලාපොරොත්තුවක් තිබුනේ නැහැ... මම උසාවියේදී කිව්වෙත් ඒක..”
“තමන්ගේ මිනිහා එක්ක..? මෙහෙම කියමු.. තමන්ගේ කසාඳ මිනිහා එක්ක මේ තරම් වෛරයක්..?” මගේ ඇස් පුංචි වුනා. සෘතු ලකුණු කරන්නා වගේ ඇගේ නෙත් ඔබ මොබ බැලුවා. අතීත සක්මනේ ඈට මඟ හැරුණු බොහෝමයක් තැන් ගැන... මේ තරම් පවක් කරන්න තරම් හිත පොළඹවපු හැටි ගැන..... සත්තකින්ම...!! තාම හරි හැටි ගළපගන්න බැරිවුනු ඒ අනුවේදනීය කතාව ගැන...
ඈ දැන්වත් කියයිද? මුල ඉඳන් අගට.........................
“මම මගේ මිනිහව බැන්ඳේ ආදරේ කරලා.. කැම්පස් අවුට් වෙච්ච ගමන් මට එයාව හම්බුනේ. ඒ දවස්වල ඔය කෙල්ලෝ වුනත් කියනවනේ.. හොඳ සල්ලි ගහක් කර ගහපන්. නැත්තම් ජීවිතේම විනාශයි කියලා. ඉතින් මම මගේ පස්සෙන් ආපු හැම එකාටම කැමති වුනේ නෑ. මොකද අර කියන විදිහේ සල්ලි ගහක් බැඳගන්නයි මට උවමනාවක් තිබුනේ. ඒ අතරෙදි තමයි මට නිර්මාල්ව මුණ ගැහෙන්නේ... ලස්සන කොල්ලෙක්.. එයාට ඒ දවස්වල තිබුනේ ටොයොටා කොරොල්ලා එකක්..! ඊට අමතරව එයා සෙඩ් එකක් කරනවා. සල්ලි වගේම මට ආදරේ කරන විදිහත් මම බැලුවා. අන්තිමට මම ඒ හුළං විස්කෝතුවාට කැමැත්ත දුන්නා. මගේ හදවතින්ම... කාගෙන්වත් අහන්නේ බලන්නෙවත් නැතුව...........”
“ඉතින් ඒ හුළං විස්කෝතුවා ඔයාට පිටුපෑවද? නිකම්... ඔයාගේ ආදරේ එපා කියලා වෙන එකියක් පස්සේ වැටුනද?” මම ඇගේ කතාවට බාධකයක් දැම්මා. නොහෙල්වී තියෙන පර්වතයක් මුදුනත ඉන්නවා වගෙයි මට හැඟෙන්නේ. ඇගේ ඇස්-වල පුංචිම කණගාටුදායක බවක් නෑ. එක්කෝ ඇය එහෙම මවා පානවාවත්ද ?
“ඌ සතෙක් වග මම දැනන් හිටියේ නෑ.. මට අවුරුදු තිහක් වෙද්දි අපේ ස්වේතා දුව ලැබුනා. එයා හරිම ලස්සන කෙල්ලක්... තාත්තායි දුවයි හැමදේටම එකටමයි හිටියේ... හරිම ආදරෙයි දෙන්නට දෙන්නා. ගමනක් ගියත් දෙන්නා එකට... ඉතින් මම ආඩම්බරෙන් හිටියා මගේ තාත්තයි දුවයි දෙන්නා ගැන............” ඇය කතාව නතර කරලා මගේ යතුරුලියනයට එබුනා. ඒ යතුරුපුවරු අස්සේ පත්තු වෙන විවිධ වර්ණ දිහා ඈ ටික වෙලාවක් බලන් උන්නා. ඊටත් පස්සේ ඇය අමුතුම විදිහේ ප්රශ්නයක් ඇහුවා................
“මේ කතාව ඇත්තටම ඔයා විශ්වාස කරයිද? මම මේ කිව්වේ... මම දැන් කියන්න හදන කතාව.... මට ඒක උසාවියේදී ඔප්පු කරගන්න පුළුවන් වුනා... එදා මගේ දුව.. ඒ පුංචි කෙල්ල... ස්වේතා... සාක්ෂී කූඩුවට නැඟලා.. ඒ ඇත්ත හැමෝටම ඇහෙන්න කිව්වා...”
“මොකද්ද ඒ බිහිසුණු ඇත්ත...? කවුරුත්ම නොදන්න...?”
“අපේ ගෙට මීටර් කිහිපයක් එහායින් තියනවා සිල්ලර කඩයක්.. එතැනට තමයි මම බඩු ගේන්න එහෙම යන්නේ... එදත් මම ගෙදරින් එළියට බැස්සේ බඩු ටිකක් ගේන්න හිතාගෙන... නිර්මාල්ගෙන් රුපියල් දාහේ කොළෙකුත් ඉල්ලගෙන.. මම එළියට බැස්සා... ඒත් ගේට්ටුව ඇරගෙන ටික දුරක් ගිහින් තමයි මට බෑග් එකක් ගන්න අමතක උනා නේද කියලා මතකෙට ආවේ. පස්සෙ මම එහෙම්මම ආයෙම හැරුනා...” ඇය කතාව නැවැත්තුවා.
“ඉතින්.................................?”
“හිතාගන්න පුළුවන්ද මම දැක්ක දේ...? නිර්මාලුයි.. මගේ දුවයි.. දෙයියනේ... මගේ නිර්මාල්.. මම බුදියගත්ත මිනිහා.. මම ආදරේ කරපු මිනිහා... අර හුළං විස්කෝතුවා... මගේ කසාඳ මිනිහා...! ඌ උගේම දුව එක්ක... මගේ ලෙයින් බිහි කරපු.. උගේ ලෙයින් බිහි කරපු... දෝණියැන්දාගේ කාමරේ.... ඌ ඒකි එක්ක ලිංගිකව එකතු වෙනවා.. ඒක දූෂණයක් නෙවෙයි රත්තරනේ... ඒ දෙන්නා හරියට.... තරුණ ජෝඩුවක් වගේ.. ආසාවෙන්... ආදරෙන්... උමතුවෙන් වගේ...!! මම එහෙම්මම හැරුණා.. මට කෑ ගහන්න උවමනා උනා. හයියෙන්.. ඒත් මට වචන ආවේ නෑ. මම ගොලු උනා... භාගෙට ඇරිච්ච දොර රෙද්ද අස්සෙන් මම දැකපු ඒ දේ...,,, හීනයක් වියන් කියලා මම ප්රාර්ථනා කෙරුවා.. මම එළියට බැහැලා ආයෙම කඩේට දුවන් ගියා.....................”
“ඒ කියන්නේ ඔයා කෑ ගැහුවෙත් නෑ... තාත්තයි දුවයි ඔයා එනවා දැක්කෙත් නෑ..”
“ඔව්... එයාලා කවුරුත් දැක්කේ නෑ.. මම ආපහු එද්දි... ඒ දෙන්නා කිසිම අමුත්තක් නැතුව ඉන්නවා. ඔව් ඉතින් හරියටම තාත්තයි දුවයි වගේ. මට එයාලගේ අමුත්තක් පෙනුනේ නෑ. දෙයියනේ..!! එතකොට මම දැකලා තියෙන්නේ හීනයක්ද? මම හෙමින් දෝණිගේ කාමරේට එබුණා. කාමරේ ඇඳේ බෙඩ් ශීට් එක අවුල් වෙලා.... මම ඇහුවා දෝණිගෙන්, මොකද මේ බෙඩ් ශීට් එක අවුල් වෙලා කියලා.. ඒකි අමුත්තක් පෙන්නුවේ නෑ, අනේ අම්මේ මම ඉතින් දඟයිනේ කියලා මඟ ඇරියා....”
“පස්සේ ඔයා මිනීමැරුමක් සැලසුම් කරනවා...” මම කතාවේ ත්රාසජනකම කොටස නරඹන්න ආසාවෙන් ඇගේ හැඟීමක් නැති මුහුණත දිහා බලාගෙන භාවනා කරන්න පටන් ගත්තා. ඒ වෙනකොටත් යතුරුපුවරු වලින් මම මවන්න තනන දේ නොතේරෙන ඇය මගේ භාවනායෝගී ඉරියව්-වලට පුංචිම බාධා කිරීමක්වත් නොකර කතාව කියවගෙන ගියා. ඉතින් මේ තමයි ඒ කතාවේ අවසානම හරිය... (බිහිසුණුම හරිය කිව්වොත් හරි.)
“මම දැනගත්තා තාත්තයි දුවයි දෙන්නාම කාලයක් තිස්සේ මේ දේ කරන බව... ඒක මට මඟ ඇරුණු විදිහ පුදුමයක් නෙවෙයි. මොකද ඒ දෙන්නා තාත්තයි දුවයි.. කවුද සැක හිතන්නේ.. මගේ මිනිහා පිරිමියෙක් වුනත්... මම ඌ හොඳ එකෙක් කියලා හිතන් උන්නේ.. ගමේ ගෑනු දෙතුන් දෙනෙක් එක්ක කයි කතන්දර තිබුනා නම් තමයි. ඒත් මගේ මිනිහා නම කැතකරගත්තේ නෑ... මේ සිද්ධියෙන් පස්සෙ මම දෝණිගේ පස්සෙන්ම වැටුනා. දෝණිට තේරුණා මට මොනා හරි ඉව වැටිලා බව. ඒත් එයා වචනයක්වත් කිව්වේ නෑ, අර එදා උසාවියේදී අඬ අඬ කියනකන්ම.. එයා මට මුකුත් නොකියා හංඟන් හිටියා...”
“ඉතින් කොහොමද ඒක වෙන්නේ..? අර බිහිසුණු හරිය..?” මම නොඉවසිල්ලෙන් ඇහුවා.
“නිර්මාල් පුරුදු විදිහටම හිටියා. ඒත්... ඒ තිරිසනා දකින වාරයක් ගානේ මට ඌව එපාවෙමින් තිබුනේ.. කොටින්ම එක ඇඳේ නිදාගන්න හැම වෙලාවෙම මම ඌවම මරනවා මයි කියලා අධිෂ්ඨාන කරගත්තා. ඒ විදිහට තමයි මම ප්ලෑන් කළේ.. මගේ ඇස් පනාපිටම මගේ කුසින් බිහි කරපු දරුවාව පොළඹවගෙන... තාම ඕලෙවල්වත් ලියපු නැති මගේ කෙල්ලව... උගේ ලිංගික අවශ්යතා-වලට පාවිච්චි කරපු අධමයෙක්.. තිරිසනෙක්.. තාත්තා කියලවත් කියන්න වටින්නේ නැති නපුංසකයෙක්................ මම ඌව මැරුවා... හංඟන් හිටපු පිහිය එළියට අරගෙන.. ඇත්ත තමයි ඒක මම කළේ සැලසුම් සහගතව.. ඒකයි උසාවියේදී මට එල්ල වුනු ප්රබලම චෝදනාව.. ඒක ක්ෂණික කෝපය නෙවෙයි. මම කාලයක් තිස්සේ හංඟන් ඉඳලා ඔක්කොම තරහාව එකතු කරලා අර මිනිහාගේ පපුවට බැස්සුවා. ඌ දැන් සඳහටම නිදි...”
“එයා එදා රෑම දැනගත්තා ඒ සිද්ධිය ගැන.. එයා දැනගත්තා.. මම ඒක කළේ මොන හේතුව නිසාද කියලා.. පොලිසිය මාව අරන් යද්දි පවා එයා දුකින් බලන් උන්නේ තාත්තා දිහා නෙවෙයි මම දිහා...” මේ තමයි ඒ කතාව. ගැහැනියක් පපුව ඇතුළේ හංඟන් හිටපු අමුතුම විදිහේ කතාව. අතිශය භයානක කතාව....
“අනේ රත්තරනේ.. මට බැරිවුනා මගේ කෙල්ලව පරිස්සම් කරගන්න.. එයාට මට පොඩි කාලේදිම කියලා දෙන්න තිබුනා එයාගේ ශරීරේ වෙන වෙනස්කම් ගැන... ආශාවන් ගැන.. ඒත්... ඒවා විඳින්න ඕනෑ හැටි ගැන.. මට එයාට කියලා දෙන්න බැරිවුනා... මේ ලෝකේ පිරිමි කියන ජාතිය... විශ්වාස කරන්න ඕන හැටි ගැන.. උන්ගේ බර මයිල් පිරිච්ච පපුවලට යටවෙලා ජීවිතේ වටිනාම දේ නැති නාස්ති කරගන්න කලින්... මට ඒකිට කියා දෙන්න තිබුනා... දෙයියනේ...........!! මට බැරිවුනා...................!!”
ඇගේ ඇස් කඩාගෙන කඳුළු රූටනවා. මතක මාළිඟා එකින් එක පින්තාරූ කරපු ඇගේ හීන බලාපොරොත්තු සේරම එතනින් අවසන් වෙනවා..................
ඉතින්... එච්චරම තමයි................!
By Samitha Lakshan
(දීර්ඝ සිර දඬුවමක් විඳි මෙම කතාවේ එන කාන්තාව මෑතක නිදහස ලැබූ අතර ඇගේ දියණිය උසස් පෙළ නිමවා සරසවි වරම් ලැබූ බව දැනගන්නට ලැබිණි. තවමත් තමන් කළ පාපයට සමාවක් නොඉල්ලන ඒ ගැහැනිය, දියණිය අත් නොහැර සිටීම ගැන බොහෝ දෙනා කතා කළහ. මෙහි එන නම් ගම් සියල්ලම ඔවුනොවුන්ගේ පුද්ගලිකත්වය තකා වෙනස් කර ඇත. විශේෂ ස්තුතිය තොරතුරු සපයා දුන් රුවී සොහොයුරියට...)
දියණියන් සිටිනා මවුවරුණි, පියවරුණි, මේ ඔබේ අවධානය පිණිසයි !
1. ඔබේ දියණියට වැඩිහිටි පිටස්තර පිරිමින්ගේ උකුල උඩ වාඩිවෙන්න දෙන්න එපා, වැළදගන්න දෙන්න එපා, සිපගන්න දෙන්න එපා.
2. පිටස්තරයින් ඉදිරිපිටදී කිසිම දියණියකගේ ඇදුම් මාරු කරන්නෙපා.
3. මේ මගේ බිරිඳ,මේ මගේ පෙම්වතිය ලෙස විහිළුවටවත් දරුවාව හැදින්වීමට කාටවත් ඉඩදෙන්න එපා.
4. පුංචි දියණිය යාලුවොත් එක්ක සෙල්ලම් කරනකොට,ඇය ආශ්රය කරන යාලුවෝ ගැන හොදින් සැලකිලිමත් වෙන්න. ඔබ නොදන්නවා උනාට බොහෝ දරුවන් ලිංගිකව අපයෝජන වලට ලක්වී තිබිය හැක. ඔබේ දියණියටද ඔවුන්ගේ අත්දැකීම් වල වැරදි ප්රතිපල හිමිවිය හැක.
5. දරුවා ප්රතික්ෂේප කරන,ගැවසීමට අකමැති,ඇසුරු කරන්න අකමැත්තක් දක්වන වැඩිහිටියන් ලගට යන්න කවදාවත් බල කරන්න එපා.
6. බොහොම ක්රියාශීලීව,කෙළිදෙලෙන් කාලය ගත කරපු ඔබේ දරුවා ක්ෂණිකව වෙනස් වුනාද? නිහඬද? හැකි ඉක්මනින් දරුවා පිලිබදව අවධානය යොමු කර, දරුවාට ආදරය ලබා දී දරුවා පිලිබදව සොයා බලන්න. ඉවසිලිමත්ව දරුවාගෙන් ඒ පිලිබදව විමසන්න.
7. දරුවා නරඹන කාර්ටුන්,චිත්රපට සහ පරිඝනක ක්රීඩා පිලිබදව විමසිලිමත් වන්න. ඔබද නොදැනුවත්වම ඒ හරහා දරුවා ලිංගික ක්රියාවන්ට යොමු විය හැක.
8. අන්තර්ජාලයට භාවිතා කර දරුවන් පිවිසෙන වෙබ් අඩවි පිලිබදව සොයා බලන්න.
9. දරුවාට තමන්ගේ සිරුරේ අවයව හොදින් පිරිසිදු කරගන්නා ආකාරය හොදින් උගන්වන්න.ගෙදර මෙහෙකරුට හෝ මෙහෙකාරියට දරුවාගේ අවයව අල්ලන්න ඉඩදෙන්න එපා.
10. පිරිසක් ඉදිරියේ විනීතව සහ අචාරශීලිව හැසිරෙන හැටි දරුවාට පුරුදු කරන්න,ඇදුම් අදින ආකාරය සහ සියලු දේ.
11. ඔයාගේ දරුවා කිසිම විටෙක කිසියම් කෙනෙක් පිලිබදව පැමිණිලි කලොත් නිහඩව ඉන්න එපා. වහාම ඒ පිලිබදව සොයා බලන්න.
12. නිහඩව සිටීම යම්කිසි අපරාධයකට දිරිදීමක් විය හැකි අතර එවැන්නක් සිදුවුවොත් එය ඔබේත් දරුවාගේත් මුළු ජීවිත කාලයටම වදදෙන වේදනාවක් පමණක් උරුම කරාවී.
(මෙම උපුටා ගැනීම - Rankoth - ශ්රී.)