ලබන පස්වනදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් තේරී පත්වන අභිනව පාර්ලිමේන්තුව රැස් කිරීම සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බව ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසනවා.
ලබන 20 වනදා පාර්ලිමේන්තුව රැස්වන බවට ප්‍රධාන පුවත්පතක පළ කර තිබූ පුවතක් සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයා විසින් ගැසට් කරන ලද දිනයකදී පාර්ලිමේන්තුව ආරම්භ වන බවයි.
අභිනව පාර්ලිමේන්තුව රැස්වන දිනය, පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන ගැසට් නිවේදනයක් නිකුත් කෙරෙන දිනයේම ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කිරීම මීට පෙර සිදුකරනු ලැබුවද මෙවර කොවිඩ් 19 වසංගතයත් සමඟ ඇතිවූ තත්වය හේතුවෙන් එය වෙනස්වුණා.
මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ලබන 6 වනදා නිකුත් කෙරෙන අතර, මනාප ප්‍රතිඵල නිකුත් කරනු ලබන්නේ හත්වනදායි.
ඒ අනුව තේරී පත්වන මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබන සති අන්තයේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.
මේ අතර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක වෙත සෞඛ්‍ය නිර්දේශ ඇතුලත් විශේෂ රෙගුලාසි කිහිපයක් යොමුකර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ සෑම මන්ත්‍රීවරයෙකුටම මුඛ ආවරණයක් පැළඳ පාර්ලිමේන්තුවට පැමිණීම අනිවාර්ය කර ඇති බවයි.
එමෙන්ම ඔවුන් සභාව අමතන අවස්ථාවේත් එය පැළඳ සිටීම අනිවාර්ය වනවා.
ඒ අනුව සභා ගර්භය තුළ සිටින සෑම අවස්ථාවකදීම සියළුම මන්ත්‍රීවරුන් මුඛ ආවරණ පැළද සිටිය යුතුයි.
එමෙන්ම පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුල්වීමේදී උෂ්ණත්වය මැන බැලීම සහ විෂබීජනාශක දියර යොදා අත් පිරිසිදුකර ගැනීමද එම නිර්දේශවලට ඇතුලත්.
ඊට අමතරව තවත් මන්ත්‍රීවරයෙකුට සුබපැතීමේදී වැළඳගැනීම, සහ අතට අත දීමෙන් වැළකී සිටින ලෙස එමඟින් දන්වා තිබෙනවා.
ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ පාර්ලිමේන්තුවේ ආසනයක් මුල සිටම ස්ථාපිත කර ඇත්තේ අඩි දෙකහමාරක් පමණ දුරින් බැවින් මන්ත්‍රීවරුන් 225 දෙනාටම එකවර පාර්ලිමේන්තුවේ රැඳී සිටීම ගැටළුවක් නොවන බවයි.
කෙසේ වෙතත්, කිසිදු මන්ත්‍රීවරයෙකුට සිය අසුන හැර වෙනත් අසුනක හිඳ ගැනීමෙන් වළකින ලෙස ද දැනුම්දීමක් කෙරෙනවා.