සමගි ජනබලවේගයට සහය දක්වන එක්සත් ජාතික පක්ෂයේ තවත් පළාත් පාලන මන්ත්‍රීවරුන් 37 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.
එම පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ පක්ෂයේ ප්රගමනය උදෙසා දායකත්වයක් ලබා නොදීම හේතුවෙන් මෙම තීරණය ගනු ලැබූ බවයි.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජනබලවේගය යටතේ නාම යෝජනා අත්සන් කළ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 9 දෙනෙකු ඇතුළු නියෝජිතයින් 54 දෙනෙකු මෙන්ම, පළාත් පාලන ආයතන නියෝජිතයින් 61 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධිකාරි මණ්ඩලය පසුගිය අගහරුවාදා තීරණය කළා.
පක්ෂ උපනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක එදින සඳහන් කළේ පක්ෂයට එරෙහිව කටයුතු කරන සාමාජිකයින් සම්බන්ධයෙන් අදියර 4ක් යටතේ විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි.
එක්සත් ජාතික පක්ෂයේ තවත් පළාත් පාලන මන්ත්‍රීවරුන් 37 දෙනෙකුගේ සාමාජිකත්වය අද අත්හිටුවා ඇත්තේ ද ඒ අනුවයි.
කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කළ බවට වාර්තා වූ සාමාජිකයින් රැසක් සඳහන් කළේ තමන් පක්ෂයෙන් ඉවත් කළ බවට කිසිදු ලිපියක් මෙතෙක් ලැබී නොමැති බවයි.
එමෙන්ම, කෙතරම් පිරිස් ඉවත් වුව ද, එක්සත් ජාතික පක්ෂයට හානියක් සිදුනොවන බව පක්ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.
කෙසේ වෙතත්, මෙම ඉවත් කිරීමට එරෙහිව නඩු පැවරූ බවයි සමගි ජනබලවේගය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර කියා සිටියේ.