උස්වැල්ල වෙරළ තීරයේදී සැඟව ගිය දැරියන් දෙදෙනාගේ මළ සිරුරු හමුවූ තැන මෙන්න මග්ගොන කුඩාව එදිරිලිගොඩ වෙරල තීරයේ ඊයේ (13) සවස මුහුදු රළ පාගමින් සිටියදී රළ පහරට හසුව දියඹට ගසාගෙන ගොස් අතුරුදන් වූ ගැහැණු ළමුන් දෙදෙනාගේ සිරුරු අද දින (14) එම වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයා ගෙන තිබෙනවා. මෙසේ දිය පහරට හසුව මියගොස් ඇත්තේ බේරුවල මාලිගාහේන ග්‍රාමනිළදාරී වසමේ කෝපියාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි නිෂ්පා ෆාතිමා සහ 12 හැවිරිදි නිෂ්මා ෆාතිමා යන එකම පව්ලේ දරුවන් දෙදෙනායි. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගිය දරුවන් දෙදෙනා බේරුවල මාලිගාහේන මුස්ලිම් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දරුවන් දෙදෙනකු වන අතර ඊයේ (13) දින සිට නැවතත් පාසල් නිවාඩුව දීර්ග කිරීම හේතුවෙන් මග්ගොන ප්‍රදේශයේ නෑදෑ නිවසකට සම වයසේ තවත් දරුවන් නවදෙනකු ඇතුලු වැඩිහිටියන් සමග ගොස් එම වෙරල තීරයේ මුහුදු රළ පාගා විනෝද වෙමින් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී තිබුණා.
මෙසේ දියපහරට හසුව බේරුවල රෝහලට ඇතුලත් කරන ලදුව ප්‍රතිකාර ලබන අටහැවිරිදි නිෆ්ලා ෆාතිමා නමැති දැරියගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.
මෙලෙස මියගොස් සිටින දැරියන් දෙදෙනාගේ මල සිරුරු පිලිබද පශ්චාත් මරණ පරීක්ෂණ කලුතර නාගොඩ මහ රෝහලේදී සිදුකිරීමට නියමිතව ඇති අතර සිද්ධිය පිලිබඳව පයාගල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.
රළ පහරට හසුව මියගිය දැරියන් දෙදෙනාගේ මව වන ෆාතිමා සිල්මියා මහත්මිය හඬාවැටෙමින් මෙලෙස පවසා සිටියා...
"අපි පදිංචි වෙලා ඉන්නේ බේරුවල මාලිගාහේන කෝපියාවත්ත ගමෙයි. අපි දරුවනුත් එක්ක මගේ මල්ලිගේ ගෙදර දහවල් ආහාරය ගැනීමකට ගියා. ඒක මග්ගොන හෝල් එකේ තිබුනේ. එතන මුහුදට කිට්ටුයි. දවල් ඒක ඉවර වෙලා මම ගෙදර ආවා. දරුවන් දෙන්නා අනිත් නෑදෑ ළමයිනුත් මගේ මල්ලිත් එක්ක මුහුදු රළ පාගන්න ගිහින් තිබුණා. එතනදී ආව රළ පහරකට දරුවෝ දෙන්නා ගහගෙන ගිහින්. අපේ රත්තරන් දරුවෝ දෙන්නා මටත් මහත්තයාටත් නැති වුණා. මෙහෙම දෙයක් වෙයි කියලා දන්නවානම් මම කවදාවත් ළමයින්ව මුහුද රළ පාගන්න යවන්නේ නැහැ" VIDEO