අභිමානවත් පැරකුම් යුගයකට පෙරමුණ ගන්නා මාතෘ භූමියේ සියලු පුරන් කුඹුරු අස්වැද්දීමේ මහා මංගල්‍යය ‘හිරු ගොවි සංග්‍රාමය - තුන් හෙලේ රන්කෙත් උදානය’ වැඩසටහනේ දෙවන අදියරේ අස්වනු නෙලීම අද සිදුකෙරුණා.
ඒ, නුවරඑලිය දිස්ත්‍රික්කයේ වලපනේ - නිල්දණ්ඩාහින්න - හෑගම - බොරගොල්ල වෙල්යායේදීයි.
මෙරට පුරන්ව ඇති සියලුම කුඹුරු අස්වද්දා රට සහලින් ස්වයංපෝෂිත කිරීමේ අරමුණින් ‘හිරු ගොවි සංග්‍රාමය - තුන් හෙලේ රන්කෙත් උදානය’ වැඩසටහන නිර්මාණය කෙරුණේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ උදාරතර සංකල්පයකට අනුවයි.
ඒ, ගොවි බිමෙන් ඈත්ව සිටින ජවයෙන් පිරි තාරුණ්‍යය නැවතත් ගොවිබිමට කැඳවාගෙන එමින් රට යළි සහලින් ස්වයංපෝෂිත කිරීමේ අරමුණින්.
හිරු ගොවි සංග්‍රාමය වැඩසටහනේ පළමු අදියර ජනවාරි මස 09 වැනිදා ආරම්භ වුණේ සිංහරාජ මිටියාවතේ ගිංගඟ නිම්නයේ තවලම - බඩඅමුණයායෙන්.
එහි දෙවැනි අදියර ලෙසින් පුරා වසර 15 ක් පුරන්ව පැවති නුවරඑලිය දිස්ත්‍රික්කයේ වලපනේ - නිල්දණ්ඩාහින්න - හෑගම - බොරගොල්ල වෙල්යාය අස්වැද්දීම සිදුකෙරුණු අතර, එහි රන් අස්වනු නෙලීම අද පෙරවරුවේ සුබ මොහොතින් ආරම්භ වුණා.
ප්‍රදේශයට ආවේණික සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් නෙලාගත් මංගල ගොයම් මිට පාරම්පරික සිරිත් අනුව, සහල් බවට පත්කර ගැනුණා.
මෙලෙස කුඹුරු අක්කර 24 ක රන් අස්වනු නෙලීම අද සිදුවූ අතර, ප්‍රදේශයේ තවත් කුඹුරු අක්කර 21 ක් අස්වැද්දවීම සඳහා පසුගිය කාලයේ ප්‍රදේශයේ තරුණ ප්‍රජාව හා වැඩිහිටියන් කටයුතු කර තිබුණේ හිරු ගොවි සංග්‍රාමයේ සත්ක්‍රියාව ආදර්ශයට ගනිමින්.
ඒ අනුව අක්කර 45 ක් හෙල්මලු ක්‍රමයට වගා කළ වෙල්යායේ රන් අස්වනු නෙලීමේ කටයුතු ප්‍රදේශයේ ගොවීන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරුණා.
නෙලාගත් අස්වැන්න සහල් බවට පත් කරගත්තේ ගම්වැසියන් විසින්ම නිර්මාණය කළ යන්ත්‍රයක් යොදා ගනිමින් වීමද විශේෂත්වයක්.
රටටත්, ගම්වැසියන්ටත් සෙත් පතා කමතේ සිදුකළ කිරි ඉතිරවීමේ චාරිත්‍රයෙන් අනතුරුව වෙල් යායේ අස්වනු නෙලීම අවසන් වුණේ සහලින් රට සරු කරන යුගයක් යළි ඇරඹීමේ හිරු ගොවි සංග්‍රාමයේ තවත් සාර්ථක අදියරයක් වශයෙන්.