එහිදී කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා පැවසුවේ සැකකාර නිලධාරීන් නීති විරෝධී ගිනිඅවි ජාවාරම්වලට සහ ව්‍යාජ මුදල් ජාවාරමටද සම්බන්ධ බවට තොරතුරු හෙළි වී ඇති බවයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වීමේ චෝදනාව මත මේ වනවිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් 18 දෙනෙක් සහ සිවිල් වැසියන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අතරින් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් 13 දෙනෙකු අද දහවල් මෙලෙස අධිකරණයට ඉදිරිපත් කළා.
එම ඉදිරිපත් කළ පිරිස අතරට ඊයේ රාත්‍රියේ රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයාද අයත්.
නඩුව කැඳවනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේයි.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දැක්වීම සිදු කළා.
ඔහු එහිදි සඳහන් කළේ අත්අඩංගුවට ගෙන සිටින නිලධාරීන් අතරින් පිරිසක් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී විදේශීය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ වී ලබා ගත් මත්ද්‍රව්‍ය, තොග පිටින් සිය නිවෙස්වල හා ඔවුන්ගේ සුඛෝපභෝගී වාහන වල සඟවාගෙන ජාවාරම් කළ බවට තොරතුරු ආනවරණ වෙමින් පවතින බවයි.
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එම ජාවාරමට අමතරව නීතිවිරෝධී ගිනි අවි ජාවාරමද සිදුකරනා බැවින් හා සිදුකළ විමර්ශන වලදී නීතිවිරෝධී ගිනි අවිද සොයාගෙන ඇති බැවින් මෙම සැකකාර නිලධාරීන් මගින් මෙරටේ අපරාධකරුවන්ට ගිනි අවි ලැබී ඇති බවට සැකයක් මතු වී ඇති බවද දිලීප පීරිස් මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
10 වැනි සහ 11 වැනි සැකකාර පොලිස් කොස්තාපල්වරුන් භාරයේ තිබී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 32 ක් සොයා ගෙන ඇති බවත් ඒ අනුව ඔවුන් ව්‍යාජ මුදල් ජාවාරමටද සම්බන්ධ බවටද තොරතුරු හෙලි වී ඇති බව දිලීප පිරිස් මහතා එහිදී කියා සිටියා.
ඔහු වැඩිදුරටක් පැවසුවේ පළමු සැකකාර පොලිස් පරීක්ෂකවරයා භාවිත කළ පෞද්ගලික ලොකරයේ තිබී කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 390 ක් සහ තවත් සැකකාර නිලධාරියෙකු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 12 ක් ,ගංජා ග්‍රෑම් 4 ක් සහ ටී - 56 ජීව උණ්ඩ කිහිපයක් සොයා ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගන්නා හෙරොයින් තොග පිටින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ටම විකුණා ආපසු ව්‍යාජ වැටලීම් සිදුකර පොලිස් අරමුදලෙන්ද රුපියල් ලක්ෂ ගණනින් ත්‍යාග හා සම්මාන සැකකාර නිලධාරීන් විසින් ලබාගෙන ඇති බව දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ පැවසුවා.
ඔහු තවදුරටත් කියා සිටියේ සැකකාර නිලධාරීන් එලෙස උපයා ගත් මුදල් වලින් සුඛෝපභෝගී ජීවිත ගත කර ඇති බවයි.
සැකකාර නිලධාරින් දෙදෙනෙකු මෑත කාලයේදී රුපියල් ලක්ෂ 170 ක් වැයකර කොට්ටාව අධිවේගී මාර්ගය අසල ඇති ඉඩම් දෙකක්ද මිලදී ගෙන ඇති බව අධිකරණය හමුවේ හෙළිකෙරුණා.
දැනට අත්අඩංගුවට ගෙන සිටින නිලධාරින් 18 දෙනාට අමතරව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ තවත් නිලධාරීන් සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය වෙමින් පවතින බවයි දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ.
ඔහු වැඩිදුරටත් පැවසුවේ සැකකාර නිලධාරීන්ගේ ක්‍රියාකලාප සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්‍යක්ෂවරයා නිසි අධීක්ෂණයක් කර නොමැති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා මහතා අනතුරුව අධිකරණය හමුවේ කරුණු දැක්වීම සිදුකළා.
ඔහු එහිදී පැවසුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා ලබාදුන් තොරතුරකට අනුව එහි නඩු ගබඩා කාමරයේ හෙරොයින් කිලෝග්‍රෑම් 700 ක් පමණ පවතින බවට කරුණු අනාවරණය වී ඇති හෙයින් ඊට මුද්‍රා තැබීමට කටයුතු කළ බවයි.
විමරශන නිලධාරීන් කළ ඉල්ලීම සලකා බැලූ කොළඹ ප්‍රධන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එම ගබඩාවේ ඇති මත්ද්‍රව්‍ය වලට යම්කිසි ද්‍රව්‍යක් මිශ්‍ර කර ඇත්දැයි පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රජයේ රස පරීක්ෂකවරයාට එහිදී නියෝග කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාර නිලධාරීන් දොළොස් දෙනකු ලබන 21 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියගෝ කළ අතර ඊයේ අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා ලබන 14 වන දා තෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදුන්නා.
18 වැනි නිලධාරියා ලෙස මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ තවත් පොලිස් කොස්තාපල්වරයෙක් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත්තේ රාගම ප්‍රදේශයේදී.
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අතුරුදහන්ව සිටි පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර කඩවත පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉඳිගහමුල ප්‍රදේශයේ රැඳී සිටින බවට ලද තොරතුරකට අනුවයි.
බසයෙන් බැස ආපන ශාලාවකට ගොස් ඇති නිවසට ඇමතුමක් ලබාගෙන හඬාවැටී ඇති පොලිස් පරීක්ෂකවරයා හඳුනාගත් ආපන ශාලාවේ හිමිකරු ඔහුට ඉන් පිටතට යන ලෙස දැනුම් දී ඇති අතර එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනතුරුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් අතර, අධිකරණය ලබාදුන් අවසරය මත සැකකරුගෙන් මේ වන විටත් ප්‍රශන කරමින් සිටින බව පොලිසිය සඳහන් කළා.
වැලිසර නුගගහවත්ත ප්‍රදේශයෙන් සහල් මලු තුල සඟවා තිබූ හෙරොයින් කිලෝ ග්‍රෑම් 225ක ප්‍රමාණයක් සොයාගත් අතර අදාළ ජාවාරමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ද සම්බන්ධ බවට හෙළි වීමත් සමඟ මෙම සිද්ධිය මහත් ආන්දොලනයක් ඇති වනවා.
අදාළ මත්ද්‍රව්‍ය තොගය බලපිටියේ පිහිටි ලැගුම්හලකදී සහල් මළුවලට අසුරා ඇති බව පරීක්ෂණවලදී හෙළිවුණා.
විමර්ශනවලදී හෙළි වූ තොරතුරු අනුව අදාළ නිලධාරීන් මත්කුඩු අළෙවි කළ බව කියන ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොට්ටාවේ රජිත හෙවත් ලොකූ නමැති අපරාධකරු සොයා පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
ගල්කිස්ස - බඩෝවිට ප්‍රදේශයේ පදිංචි මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට චූදිත පොලිස් නිලධාරීන් විසින් හෙරොයින්වලට අමතරව පිස්තෝල 4ක් ද ලබා දී ඇති බවටයි තොරතුරුඅනාවරණ වී ඇත්තේ.
වැලිසර - නුගගහවත්ත ප්‍රදේශයේදී සොයා ගත් හෙරොයින් තොගය, බන්ධනාගාරගතව සිටින කැමිලස් පිල්ලේ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මෙරටට ගෙන්වා තිබෙන්නේ වෙලේ සුදා හරහා බවට ද අනාවරණ වී තිබෙනවා.
අදාළ මත්කුඩු තොගය සමඟ පාකිස්ථානයේ නිෂ්පාදිත පිස්තෝල 5ක් ද ජාවාරම්කරුවන් විසින් මෙරටට එවා ඇති බවයි හෙළි වී ඇත්තේ.
මත්කුඩු තොගය සමඟ එම පිස්තෝල ද ලබාගෙන ඇති නාකොටික් නිලධාරීන් ඉන් 4ක් කොට්ටාවේ රජිත හෙවත් ලොකූ නමැත්තාට ලබා දී ඇතැයි පැවසෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වන විට හෙලිව ඇති තොරතුරු වලට අනුව අත්අඩංගුවේ සිටින පොලිස් නිලධාරීන් විදෙස් රටවල සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් සමගද සබඳතා පවත්වා ඇති බවයි.
මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකිරීමට නියමිත වැටලීම් පිලිබඳ තොරතුරු එහි ඇතැම් නිලධාරීන් විසින් ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන වෙලේ සුදාට ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂවරයකු මෙන්ම වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන නාලක ද සිල්වා කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
ඒ වැලිකඩ සිරකරු ඝාතන නඩුව අද විභාගයට අවස්ථාවේදී විත්තියේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්.
විත්තියේ නීතිඥවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් නාලක ද සිල්වා එහිදී පැවසුවේ තමා කෙටි කාලයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ බවත් එම කාල සීමාවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සැලසුම් කළ වැටලීම් පිළිබඳ තොරතුරු එම කාර්යාංශයේ ඇතැම් නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙලේ සුදා නැමැත්තාට ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනවලදී අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල් අරුණ පෙරේරා සහ වෙලේ සුදා අතර ඇතිවූ සංවාද වලට අදාල හඬ පට ද සොයාගෙන තිබූ බව සාක්ෂි ලබා දෙමින් නාලක ද සිල්වා එහිදී අධිකරණය හමුවේ කියා සිටියා. VIDEO