ඊයේ දිනයේදී ආසාදිතයන් හතරදෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2081 දක්වා ඉහළ ගියා.
නාවික හමුදා සාමාජිකයෙකු, ඉතියෝපියාවේ සහ සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුටයි මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු කර ගැණුනේ.
ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 114 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර සුවය ලැබූ සංඛ්‍යාව 1,955ක්.
මේ අතර ආසාදිතයෙකු හඳුනාගත් වැලිකඩ බන්ධනාගාරයේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකළ පිරිස අතරින් දැනට ලැබී ඇති 210 දෙනෙකුගේ වාර්තාවලට අනුව ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ වාර්තාවූ ආසාදිතයා සිටි ගොඩනැගිල්ලේ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරින් ඇතුලූ පිරිසකගේ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සාම්පල ලබාගත් බවයි.
ඒ අනුව තවත් පිරිසකගේ පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතව තිබෙනවා.
ආසාදිතයා වාර්තාවීමත් සමඟ වැලිකඩ බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම තාවකාලිකව නතර කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඊයේ පියවර ගත්තා.
එමෙන්ම ඊයේ රාත්‍රියේ 186 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ සිට පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබෙනවා.
මොවුන් බන්ධනාගාර බස් රථවලින්ම එම නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම බන්ධනාගාර නිලධාරීන් හත්දෙනෙකු වෙනත් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකළ බවයි යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ.