රටෙහි ඉතිහාසය මෙන්ම තමන්ගේ පවුලේ ඉතිහාසය සම්බන්ධයෙන් ද දැනගෙන සිටිය යුතුයි. එලෙස තම පවුලේ ඉතිහාසය දැනුවත්ව සිටි හා නොසිටි, නාගරීකරණයට ලක් වූ හා ලක්නොවු දෙපිරිසක් සම්බන්ධයෙන් කතා කෙරුණු චිත්‍රපටියකි ආයරතිල් ඔරුවන් (දහසින් එක් අයෙක්).
සාමාන්‍යයෙන් චිත්‍රපටියක් තිරගත වූ පසුව එම චිත්‍රපටිය නරඹන්නේ රේටිං හා විචාර මතයි. එය වර්තමානයට පමණක් නොව අතීතයටත් හිමිකම් කියයි.
එලෙසම 2010 වසරේදී සේලවරාගවන්ගේ අධ්‍යක්ෂණයෙන් කාර්තී, රීමාසෙන්, ඇන්ඩ්‍රියා හා පාර්තිබන් යන අයගේ රංගනයෙන් ද ජී.වී ප්‍රකාශ්ගේ සංගීතයෙන් ද තිරගත වූ මෙම චිත්‍රපටිය දැඩි සෘනාත්මක විචාර හා අදහස් හමුවේ සිනමාවේදීන් විසින් භූමදානය කර දැමිය.
නමුත් මේ වනවිට ආයරතිල් ඔරුවන් චිත්‍රපටිය තිරගත වූ වසර 10ක් සම්පූර්ණ වනවිට කොහේ හෝ කවුරුන් හෝ කෙනෙකු ඒ චිත්‍රපටිය සම්බන්ධයෙන් සංවාදයක් නිර්මාණය කරනු ලබයි. එහෙත් අදටත් සමහර උදවියට එම චිත්‍රපටිය අභිරහසක්මය.
13 වන සියවස ආරම්භ වනවිට ඉන්දිය රාජ්‍ය පාලනය කරමින් සිටි චෝලයන්ගේ බලය හීන වෙමින් තිබුණි. ඒ වනවිට පාණ්ඩ්‍යවරුන් නැවතත් සිය බලය තහවුරු කරමින් සිටිහ.
එම අවස්ථාවේදී එසමයේ සිටි චෝල පාලකයා විසින් තම පුතණුවන් සමඟ පිරිසක් එරටින් පිටුහවල් කළේ, ආරක්ෂිත ස්ථානයක් වෙත යන ලෙස පවසමින්ය.
ඔවුන් සමඟ පාණ්ඩ්යවරුන්ගේ කුල දෙවියන්ගේ පිළියමත් ඔවුන් සමග පිටත් කරවන ලදි. චෝළයන්ගේ බලය නැවතත් තහවුරු පසුව දූතයෙක් පැමිණෙනතුරු යළි රාජ්‍ය වෙත නොපැමිණෙන ලෙසත් ඔවුන්ට උපදෙස් දෙනු ලැබිය.
මෙලෙස පළා ගිය චෝළයන් ඔවුන් ලුහුබැඳ එන පාණ්ඩ්‍යවරුන් නතර කිරීමට බාධක 7ක් නිර්මාණය කරනු ලැබිය. චෝළ කුමාරයා සොයා ගිය කිසිදු පාණ්ඩ්‍ය සේනාවක් නැවත නොපැමිණිහ.
මෙසේ කාලය ගත වීමත් සමඟ වසර ගණනාවකට පසුව චෝළ කුමාරයා සොයා යන පිරිසක් ඊට සහය වන කම්කරුවන් හා හමුදා සෙබළුන්, එම පිරිසත් සමඟම තමන් දූතයා යැයි නොදැන ගමන් කරන දූතයෙක් වටායි මෙම චිත්‍රපටිය ගොඩනැගී තිබුණේ.
බොහෝ අය මෙම චිත්‍රපටිය එකල භාරගැනීමට අකමැති වූයේ එහි තිබු කතා වස්තුව සම්බන්ධයෙන් පැහැදීමක් නොමැති බව පවසමින්.
නමුත් අද වනවිට එම චිත්‍රපටිය සම්බන්ධයෙන් කුඩා විඩියෝවක් දැමුව ද ජනයා ඒ සම්බන්ධයෙන් දැඩි අවදානයක් යොමු කරති.
නමුත් එදා මොවුන් මෙය භාරගත්තා නම් ආදායම් වාර්තා තබන චිත්‍රපටියක් ලෙස හඳුන්වා දීමට හැකිය. අදාළ චිත්‍රපටිය සම්බන්ධයෙන් ලිවීමට ආරම්භ කළ ද කොතැනින් ආරම්භ කර අවසන් කරන්නේ කෙසේ දැයි මා දින ගණනාවක්ම අතරමංවී සිටිමි.
චිත්‍රපටිය නරඹා නොමැති අයට බාධාවක් විය හැකි බැවින් එහි අවසානය ව්‍යංගාර්ථය සම්බන්ධයෙන් නොලියා සිටින්නට ද මා තීරණය කළෙමි.
සෙල්වරාගවන් මෙම චිත්‍රපටියේ සිද්ධීන් එකිනෙකට කොතරම් සම්බන්ධ කර තිබේද යන්න සිතුවිට මා තුළ විමතියක් ද ඇති විය.
ඔහු පිස්සෙක් ලෙස මා දරණ නිතරම දරන මතයකි. ඔහුගේ එම උන්මන්තක තත්ත්වය වඩාත් උත්සන්න වූයේ මෙම චිත්‍රපටියෙනි. කිව යුතු දෑ චිත්‍රපටිය තුළ දෙතුන් වතාවක් ඔහු ප්‍රකාශ කර තිබේ.
නමුත් ඔහු එදා පැවසු දේ එදා අපට භාරගැනීමට නොහැකි විය. නමුත් අද තත්ත්වය එයට වඩා වෙනස්ය. බොහෝ දෙනා මීට වසර ගණනාවකට පෙර කියූ දේ භාරගැනීමට සූදානමින් සිටිති.
නමුත් අද සෙල්වරාගවන් කියනා දේ අද ඉන්න පිරිස් භාරගැනීමට සූදානමින් නොසිටි තවත් වසර ගණනාවකින් ඔහු අද කියූ දේ පැහැදි වනු ඇත. අදටත් බොහෝ දෙනා දරණ මතයක් වන්නේ මෙම චිත්‍රපටියට රංගනයෙන් දායක වූ අයගේ රංගනය විශිෂ්ඨයි යන්නයි. නමුත් මා එය සියයට සියයක් බැහැර නොකර අතර මා දකිනා ආකාරයකට මෙම චිත්‍රපටිය වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් ඉටු කරනු ලැබුවේ එහි සංගීත අධ්‍යක්ෂකවරයා විසින්ය.
වචන දහසකින් කීමට නොහැකි දෑ එක් සංගීත ස්වරයකින් කීමට හැකි බව මාගේ අදහසයි. එය සත්‍යයක් බව මෙම චිත්‍රපටියේදී ජී.වි ප්‍රකාශ් ඔප්පු කළේය.
චිත්‍රපටියෙන් ඉවත්ව යන ප්‍රේක්ෂකයා ඔහුගේ සංගීතය තුළින් නැවත ඇදගැනීමට සමත්ව තිබුණි. මෙම චිත්‍රපටිය තුළ අඩංගු ගීත සම්බන්ධයෙන් ද දැඩි අවධානයක් යොමු කළ යුතු වනවා ඒ තුළ ද තෙවන පෙළක් තිබුණි.
ඒවා සාමාන්‍ය ජනතාවට කියවීමට හැකි වූයේ ද නැති ද සම්බන්ධයෙන් මා තුළ අදහසක් නොමැත. එමෙන්ම මෙහි කලා අධ්‍යක්ෂකවරයාටත් ප්‍රශංසාව හිමිවිය යුතුය.
චෝලයන්ගේ ගරා වැටුණ නගර නිර්මාණයේදී ඔහුගේ ආගමික ඇදහැලි පවා ඉතා අලංකාවර ඉදිරිපත් කර තිබුණි. කලා අධ්යක්ෂවරයාගේ යම් යම් අඩුපාඩු මතුවුණ ද ඉන් චිත්‍රපටියට දැඩි බාධාවක් ඇති නොවිය.
චිත්‍රපටියේ දෙබස් රචනයේදී පවා අධ්‍යක්ෂකවරයා දැඩි උනන්දුවක් දක්වා තිබු අයුරු දැකගත හැකි විය. වසර 600කට පෙර භාවිත කළ දමිළ භාෂාවත්, වර්තමානයේ භාවිත කර දමිළ භාෂාවත් මෙම චිත්‍රපටියෙහි දැකගැනීමට හැකි විය.
ෆැන්ටසි චිත්‍රපටියක් ලෙස හැඳින්වූව ද මෙහි තාත්ත්විකබාවයක් ගැබ් ගෙන තිබුණි. මෙම චිත්‍රපටියේ සම්පූර්ණ ධාවන කාලය වූයේ පැය 3ක් හා විනාඩි 40ක් ය. නමුත් මේ වනවිට අපට සම්පූර්ණ චිත්‍රපටිය බාගත කිරීමේ හැකියාවක් පවතිදැයි නොදනිමි.
මා නිතරම පවසනා දෙයකි, සෙල්වරාගවන්ගේ චිත්‍රපටි නිර්මාණය වන්නේ අනාගතයටයි. මෙම චිත්‍රපටියට නැවතත් චිත්‍රපටි ශාලාවල තිරගත කිරීමට පියවර ගන්නේ නම් ශාලා අතුරුසිදුරු නොමැතිව පිරෙනු ඇත.
මෙහි දෙවන කොටස සම්බන්ධයෙන් අධ්‍යක්ෂකවරයා සතුව අදහසක් තිබෙනවා දැයි නොදනිමි. නමුත් කාර්තී සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ පළමු චිත්‍රපටියට එදා පිළිගැනීමක් නොලැබුණ බැවින් ඒ සම්බන්ධයෙන් අදහක් නොමැති බවයි.