ගාලු මුවදොර ඇවිදමින් හිටපු පෙම් යුවළට අත් වුනු ඉරණම...
"මුහුණු පොතේ සිද්ධිය දුටුවම වහාම විමර්ශන ආරම්භ කළා.."
ගාලු මුවෙදාර ප්රදේශයේ ඇවිදිමින් සිටි ශ්රී ලාංකික තරුණයකුට පහරදී ඔහුගේ රුසියානු ජාතික පෙම්වතියගේ පසුපස පෙදෙස මිරිකා ලිංගික වශයෙන් හිංසා කළ බව කියන පුද්ගලයන් දස දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව කොළඹ සංචාරක පොලිස් කොට්ඨාසයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ප්රභාත් කුමාර මහතා පැවැසීය.
පොලිස් ස්ථානාධිපතිවරයා පවසන්නේ ඉහත කී පෙම් යුවළ ඉකුත් 5 වැනිදා (ඉරිදා) පස්වරුවේ ගාලු මුවෙදාර ඇවිදිමින් සිටින අතරවාරේ දස දෙනකුගෙන් සමන්විත බීමත් තරුණ පිරිසක් අතර සිටි එක් තරුණයකු එම රුසියානු ජාතික තරුණියගේ පසුපස පෙදෙස මිරිකා “අපි ඇයව බෙදා ගනිමු” යනුවෙන් ඔහු සමඟ සිටි සෙසු මිතුරන්ට පවසා ඇති බවය.
එසේ පහත් හැසිරීම් රටාවක නිරතව සිටි එකී තරුණයන් පිරිස මඟහැර යෑමට එම පෙම් යුවළ උත්සාහ කළද ඔවුන් එම පෙම් යුවළ පසුපස පැමිණීම නිසා ශ්රී ලාංකික පෙම්වතා ඔවුන්ට නවතින ලෙස දන්වා ඇති බවද ඒ අවස්ථාවේ කෝපයට පත් එම බීමත් තරුණ පිරිස ශ්රී ලාංකික පෙම්වතාට ඉතා අමානුෂික ආකාරයට පහරදී ඇති බවද එය වළක්වාලීමට ඔහුගේ පෙම්වතිය උත්සාහ කළද ඔවුන් දිගට හරහට ඔහුට පහරදී ඇති බවද ස්ථානාධිපතිවරයා පැවැසීය.
ඉහත කී පෙම්වතිය එකී පහරදීමේ සිද්ධිය වීඩියෝ ගත කිරීමට උත්සාහ ගත් අවස්ථාවේදී එහි සිටි එක් පුද්ගලයකු ඇයගේ අතට පා පහරක් දී දුරකථනය බිම දමා ඇති බවට කරුණු අනාවරණය වන බවද මෙකී සිද්ධිය දෙස එහි සිටි බොහෝ පිරිසක් බලාගෙන සිට ඇති නමුත් එය වැළැක්වීමට කටයුතු කර නොමැති බවද ඒ මහතා කීය.
සිද්ධියට මුහුණ පෑ එම පෙම් යුවළ එදින පස්වරුවේම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ කොටුව පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇති බවද ඒ මහතා පැවැසීය.
සිද්ධිය “මුහුණු පොත” හරහා හුවමාරු වන ආකාරය දුටු තමන් ඒ පිළිබඳව කඩිනම් විමර්ශනයක් ආරම්භ කළ බවද ඒ අනුව ඊයේ (6දා) පෙරවරු එම යුවළ තම පොලිස් ස්ථානය වෙත කැඳවා තොරතුරු විමසීමේදී මෙකී සිද්ධිය අනාවරණය වූ බවද පවසන ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
(උපුටා ගැනීම මව්බිම පුවත්පත.)