කොරෝනා වසංගත තත්වය හමුවේ සමාජය අගුළුවැටී තිබීමෙන් අනතුරුව, සිංහල සිනමාව යළිත් පටන් ගත්තේ පසුගිය ජුනි 27 වැනිදා, තිරගතවීම් ඇරඹි චින්තන ධර්මදාසගේ - ‘‘ඇවිලෙන සුළුයි’’ චිත්‍රපටය සමගයි.
‘‘කසාද බැඳලා කාලයක් යනකොට දවසක් එනවා හැමදේම ඉවර වෙච්ච.
අපි ඉස්සර හිටපු අපි අඳුරන්නවෙත් නැති ඒ ඇතිකර ගත්ත සම්බන්ධකම්වලට තවදුරටත් වග කියන්න බැරි, එකෙක් අනිකාව මරනවා හැරෙන්න, වෙන කරන්න දෙයක් නෑ, එක්කො මං තමුසෙව මරන්න ඕනෙ. නැත්තං තමුසෙ මාවත් ඉවරයක් කරන්න ඕනෙ...’’
පොඩ්ඩක් ඉන්නවා ඉස්සරහා පොලිසියෙන් ඉන්නවා’’ඇවිලෙන සුළුයි චිත්‍රපටයේ තරුණ යුවළක් අතර ඇතිවන දෙබසකි ඒ. මේ යුවළට රංගනයෙන් දායකව සිටින්නේ ශ්‍යාම් ප්‍රනාන්දු සහ සමනලී ෆොන්සේකාය. කොරෝනා අධි වසංගත තත්වය සමනය වීමත් සමග ඇරුණු සිනමාහල්වල අද මෙලෙසින් ‘‘ඇවිෙළන සුළුයි’’ තිරගත වන මොහොතකදී, අපි සමනලී එක්ක ටිකක් කතා කරමු.
චිත්‍රපටයෙ මේ විදියට ඇවිළෙන සමනලී සැබෑ ජීවිතයේ ඉන්ද්‍රචාප එක්ක ගෙවන ජීවිතයේ හැඩතල මොන වගේද?
‘‘සමනලී සහ ඉන්ද්‍රචාපා’’ අතර වූ විවාහ දිවියට තවත් සංවත්සරයක් එළඹි මේ මොහොතේ සමනලී ඇයගේ හඬ අවදි කළේ මෙලෙසිනි.
අපි දෙන්නා ඉන්නවා ඉතින්. ජීවිතයේ හොඳ කාල වගේම අසීරු කාල ගෙවී ගිය එම සිව් වසරේදී තිබුණා. අපි දෙන්නා ඒවාට මුහුණ දුන්නා. හොඳම දේ ඒ සෑම ස්වභාවයක්ම යටතේ අපි දෙන්නා ‘‘ආදරය’’ රැකගෙන ජීවත් වුණා. මම හිතන්නෙ මැරෙනකල්ම බොහෝ දුරට අපි දෙන්නට එකට ඉන්න පුළුවන් වේවි.
‘සැමියා - බිරිඳ’ කියන ඒ ගෘහස්ථ ජීවිතයේදි ගෙදරදි වැඩිය කියවන්නෙ කවුද?
දෙන්නම කියවනවා.
කසාද ජීවිතේදි පොඩි පොඩි රණ්ඩු එහෙම වෙනවනෙ. ඒ වගේ අවස්ථාවලදි වැඩිපුර කියවන්නෙ කවුද?
ඒ වගේ අවස්ථාවකදි ඉතින් වැඩිදුර කියවන්නෙ මම තමයි. ඒ වෙලාවට ‘චාපි’ හරිම සයිලන්ස්. හැබැයි සාමාන්‍ය සංවාද, ආදරය ප්‍රකාශ කිරීම් වගේ අවස්ථාවලදි, චාපි එපාවෙන තරමට වගේ ආදරය ප්‍රකාශ කරනවා. ඒ කියන්නෙ ‘ආදරය’ යන මාතෘකාවේදී එයා අසීමිතව එය ප්‍රකාශ කරන කෙනෙක්. මම හිතන්නෙ සෞඛ්‍ය සම්පන්න වූ හොඳ සබඳතාවයකට, එය ඉතා හොඳ ලක්ෂණයක්.
දෙදෙනා අතර වූ පුංචි රණ්ඩුවකින් පසුව මුලින්ම සාමයට එන්නෙ කවුද?
ඒ වගේ අවස්ථාවකින් පසුව දෙන්නාටම ඈත්වෙලා ඉන්න පුළුවන් ඒනෑ නම් උපරිම පැය දෙකක් විතර කාලයක් වගේ විතරයි. ඒ වෙලාවට මම තමයි එයා ළඟට යන්නෙ. ආයෙත් සුපුරුදු සෙනෙහෙවන්තකමට. මෙහෙමනෙ, අඹු-සැමියන් අතර බහින්බස් වීමක් වුණොත් ඒ සිදුවීම වෙන වෙලාවෙ හිතෙන දේ ඊළඟ පැයේදි ඇතිවෙන්නෙ නැහැනෙ. වයසත් එක්ක මුහුකුරා යාමත් එක්ක දැන් අපිට තේරිලා තියෙන්නෙ. ඒ මොහොත ඊළඟ පැයට නොගිහින් අපට ඒක ඉවර කර ගන්න පුළුවනි. ඒ සිදුවීම දිගින් දිගටම ව්‍යාපෘතියක් කරගෙන ඇදගෙන යන්න අපට ඕනෑ නැහැ. පොඩි-පොඩි දෙයක් වුණාම සැමියා - බිරිඳව හෝ බිරිඳ – සැමියාව හෝ දාලා යන්න ඕනෑ නැහැ. එහෙම දාලා යන්න බැහැ.
‘චාපි’ ‘ආදරය’ ගැන කතා කරන මාතෘකාවෙදි මොනවද ඔබට කියන්නෙ?
‘ආදරය’ වගේම අනෙක් කෙනාගේ ජීවිතේ කරන – කියන දේ එයා හරියට අගයන කෙනෙක්. මම පුද්ගලිකව දකින විදියට ඒ ගතිය ඉතා හොඳ දෙයක්. සබඳතාවයක තිබිය යුතුම දෙයක්. ඇයි මෙච්චර ආදරේ, ඇයි එයාට – මෙච්චර වටින්නෙ, එයා එක්ක ජීවත් වෙන්නෙ ඇයි කියන කරුණු කාරනා ගලපා ගනිද්දි, ඒ ගරුත්වය – ඇතිවෙනවා. ඒ ගරුත්වය එක්ක එයා ආදරය හරි අපූරුවට ප්‍රකාශ කරන චරිතයක්.
ඒ විදියට, ඔයාගෙ ‘චාපි’, මේ සමනලීට ආදරය කරන්නෙ, මොන වගේ විශේෂිත ගුණාංග නිසා කියලද හිතන්නෙ?
මට ඒක හරියටම කියන්න දන්නෙ නැහැ. හැබැයි එක දෙයක් මම දන්නවා, එයා මට හමුවුණේ අද ඊයෙකදි නෙවෙයි. උසස් පෙළ කරන කාලයේ ඉඳලාම අපි දන්නවා. අපි එදා ඉඳලා යාළුවෝ. ඒ කාලයේදි නම් මම එයාගෙන් ආදරයක් දැක්කෙ නැහැ. ඉන්පස්සෙ මම කසාදත් බැඳලා, ඒ කසාදෙන් වෙන් වුණාටත් පස්සෙ, තමයි ආයෙත් මට චාපිව හම්බ වුණේ එතකල්ම මම එයාගෙන් ආදරය දැනිලා තිබුණෙ නැහැ. මම හිතන්නෙ එදා අපි හමුවූ අතීතයේ සිට එයා මට කළ එතෙක් අප්රකාශිත ආදරය එයා ළඟ හැමදාමත් තියෙන්න ඇති.
සමනලීට ඉතා රසවත්ව කෑම-බීම පිළියෙළ කරන්නත් පුළුවනි. මේ සියලු දේ වගේම ජීවිතය ගැන ඔබට තියෙන දර්ශනය එක්ක, ‘චාපි’ මේ විදියට සමනලීට බොහෝ ආදරයක් දක්වනවා ඇති?
අපි දෙන්න තවදුරටත්, අපි දෙන්නව, හොය-හොයා යන දෙදෙනෙක්. ඒ යන ගමනේදි අලුත් අලුත් දේ ජීවිතයට අපි ඇහිඳ ගන්නවා. ඒක ඇත්තටම හොඳ ජර්නි එකක්. දෙන්නම වෙලාවකට පොළට යනවා. සමහර වෙලාවට අපි දෙන්නගෙ යාළුවෝ ඔය මොන – මොනවා හරි අරන් ඇවිල්ලා අපිත් එක්ක එකතුවෙලා, සංගීතයක් රස විඳලා, එක්කෝ ෆිල්ම් එකක් බලලා, කෑම ටිකක් කාලා ඒ මොහොත ගත කරනවා. ඒ කියන්නෙ මේ ගෙවන ජීවිතයේදි අපි දෙන්නට ආර්ථික ප්‍රශ්න අපහසුතා නැහැ කියන එක නෙවෙයි. අපි දෙන්නා දන්නා කලාව කරන තවත් කලාකාරයෝ දෙන්නෙක්. මේකෙන් මහා ලොකු මුදලක් ලැබෙන්නෙ නැහැනෙ. අපි දෙන්නාගෙ ජීවිතය ප්‍රශ්න නැති මාර එකක් නෙවෙයි. මේ විදියට අපි ඉන්න උත්සාහ ගන්නවා. ඒ ගමනේදි රණ්ඩුවෙන කියන දේ අපි දෙන්නගෙ ජීවිතේ තියෙන්නෙ හරිම අඩුවෙන්. ඒ හැරත් මේ ඉතින් අපි දෙන්නට ලැබුණ ජීවිතයනෙ. හොඳයි ඉතින් ජීවිතය.
සඳුන් ගමගේ