අනුලා කරුණාතිලක බොහෝ දෙනෙක්ට ළෙන්ගතු හැඟීමක් දනවන රංගන ශිල්පිනියක් වනවාට සැකයක් නැහැ. ඒ සිනමාවෙන්, පුංචි තිරයෙන් ඇය හමුවූ චරිත ස්වභාවයන් නිසාවෙනි. 1962දී පැවැත්වුණ දවස රූපසුන්දරී තරගයේ මුල් පස්දෙනා අතරට තේරී පත්වුණ දහසය හැවිරිදි අනුලා කරුණාතිලක නම් වූ නව යොවුන් තරුණිය සුමිත්‍රා ගුණවර්ධන (සුමිත්‍රා පීරිස්) හා තිස්ස ගුණවර්ධනයන්ගේ ඇහැ ගැටී තිබිණි. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා එවක 'ගම්පෙරළිය' නිර්මාණයේ නන්දාගේ චරිතයට ඔබින රූපයක් සොයමින් සිටි නිසා මේ නවක රුව නන්දාගේ චරිතයට ඔබින්නේ දැයි සලකා බැලීමට ඔවුන් කටයුතු කරන්නට විය. නමුත් නව යොවුන් තරුණියක වූ අනුලා කරුණාතිලක නන්දාගේ චරිතයට නොව ගම්පෙරළියේ ලයිසාගේ චරිතයට පෑහුණි.
1962 වසරෙන් ඇරැඹී ඇගේ රංගන දිවිය තුළ ඇය පනස් වසරක කඩඉම මේ වනවිට පසුකර හමාරය. චණ්ඩියා, සීතල වතුර, පරසතු මල්, රන්සළු, ගොළු හදවත ඇතුළු චිත්‍රපට විසිපහකට අධික ප්‍රමාණයක රංගනයෙන් දායක වූ ඇය අඹ යහළුවෝ ටෙලි නිර්මාණයේ සුදු අප්පුගේ මව ලෙස ලොකු කුඩා සියලුදෙනාගේ ආදරය දිනාගත් රංගන ශිල්පිනියක බවට පත්විය. වසර පනහක් පුරා රංගන ක්ෂේත්රය තුළ ඇය ආ ගමන් මඟ තුළ එකතු වූ අපූරු රසික මතක ඇය මතක් කළේ මෙලෙසය.
"මම පාසල් යන කාලේ ලැජ්ජාශීලී කෙනෙක්. පැත්තකට වෙලා හිටපු කෙනෙක්. දවසක් මාව පාසලේදී බලෙන්ම ජූජක බමුණාගේ බැමිණියගේ චරිතය කරන්න එක්ක ගියා. මම ඒ චරිතය කළාම පාසලේ පොඩි ළමයින්ගෙන් මට බේරෙන්න විදිහක් තිබ්බේ නෑ. ඒ තමයි මගේ රංගනයට මුලින්ම ආදරය කළ අය.
ඊට පස්සේ සිනමාවේ මම මුලින්ම රංගනයට එකතු වුණේ ගම්පෙරළිය චිත්‍රපටයට. මාව බොහෝදෙනා දැනගත්තේ 'චණ්ඩියා' චිත්‍රපටයෙන්. ගාමිණී ෆොන්සේකා ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටි රංගන ශිල්පියෙක්නේ. චණ්ඩියා චිත්‍රපටයේ මුල්ම දර්ශනය පෙන්නුවේ වැල්ලවත්ත සැෆායා සිනමාශාලාවේ. මට එදා දවස අමතක වෙන්නේ නැහැ. පුදුම සෙනඟක් එදා චිත්‍රපටයේ නළු නිළියෝ බලන්න ඇවිත් තිබුණේ. ගාමිණී ෆොන්සේකාට ලැබුණ ප්‍රතිචාර එදා මටත් ලැබුණා. අපි බැල්කනියට ගිහින් එතැන හිටපු හැමෝටම අතවැනුවා. මම ඒ කාලේ පාමංකඩ හිටියේ. මම එතන ඉන්නකොට තරුණ පිරිමි ළමයි 'මේ අපේ ගමේ කෙල්ලෙක්' කියලා කෑ ගැහුවා. ඒ රසික ආදරය එක්ක ඒ කාලේ එළියට බැහැලා යන්න බැරිවුණා. මම සාමාන්‍යයෙන් නිදහසේ ඇවිදපු කෙනෙක්. මට මතකයි ඒ කාලේ මම පාරේ යද්දි චණ්ඩියා චිත්‍රපටයේ තිබුණු දෙබස් කියනවා තරුණයෝ. චණ්ඩියා චිත්‍රපටයේදී ගාමිණී ෆොන්සේකා සල්ලි හොරකම් කරනවා. ඉතිං මං පාරේ යද්දී තරුණයෝ 'අනේ මගේ පොකට් එක' කියලා මට විහිළු තහළු කරනවා."
චණ්ඩියා චිත්‍රපටය සමඟ ඇයට ප්‍රතිචාර ගලා එන්නට පටන් ගත්තේ එලෙසය. එවකට සිනමා රංගන ශිල්පීන්ට ශිල්පිනියන්ට ලැබුණේ අසීමිත ප්‍රේක්ෂක ආදරයකි. අනුලා කරුණාතිලකද ඒ රසික ආදරයේ කොටස්කාරිනියක බවට පත්විය.
"ඉස්සර අපේ චිත්‍රපට එක එක පළාත්වල පෙන්නනවනේ. චණ්ඩියා චිත්‍රපටය එක්ක අපි විවිධ පළාත්වලට ගියා. ඒ කාලේ චිත්‍රපටය පෙන්වන අතරේ විවේක කාලයේදී සිනමාශාලාවේ ස්ටේජ් එකට ගිහින් චිත්‍රපටය බලන්න ඇවිත් ඉන්න හැමෝටම ආචාර කරනවා. අපි ඔවුන්ට ආචාර දක්වද්දී පුදුම ප්‍රතිචාරයක් අපිට ලැබුණේ. ඒ කාලේ ඒ චිත්‍රපටවල තියෙන සිංදු දෙබස් කිය කිය තමයි චිත්‍රපටය බලපු අය ශාලාවෙන් එළියට එන්නේ. මට මතකයි ඒ කාලේ මාකට් එකේ ඉන්න අය එහෙම වැඩ ඉවරවෙලා 9.30 දර්ශනය බලලා කෑ ගගහා පාරේ යනවා."
ලැබුණ ප්‍රතිචාරවලට සිනහවකින් සංග්‍රහ කරන්නට ඇය අමතක කර තිබුණේ නැත. චණ්ඩියා චිත්‍රපටයෙන් පසුව ඇය චිත්‍රපට රංගනය තුළ නොමැකෙන මතක සටහන් කරන රංගන ශිල්පිනියක් වී තිබිණි. රංගනයෙන් ඇයව දකින ස්වරූපමය වටිනාකමට ඇයට තව තවත් රසික ආදරය ගලා එන්නට විය.
"සීතල වතුර, පරසතුමල්" වගේ චිත්‍රපට කරන්න ගත්තට පස්සේ මගේ නිදහස අඩුවෙන්න ගත්තා. එක දිගට වැඩ කරන්න ලැබුණා. චිත්‍රපටවල රූගත කිරීම්වලට පිට පළාත්වලට ගියාම බොහෝ දෙනෙක්ගේ ආදරය, සැලකිල්ල ලැබෙන්න ගත්තා. මම ගොඩක් කළේ ගැමි චරිත නිසා ගම්වල උදවිය මාව පිළිගත්තේ ඔවුන්ගේම කෙනෙක් වගේ”.
ඇය දිනාගත් ජනප්‍රියත්වය සමඟ රසික ආදරය ලිපි මඟින් ඇයට ලැබෙන්නට විය.
"ඉස්සර අපේ ගෙදරට ලියුම් මල්ලක් එනවා. පියුම් මහත්තයා අපේ තාත්තාට ලියුම් මල්ල දීලා යන්නේ මෙහෙට විතරයි ලියුම් එන්නේ කියලා විහිළුවක් කරමින්. මට ඒ කාලේ ඒ ලියුම්වලට ප්‍රතිචාර දක්වන්න වෙලාවක් තිබුණේ නැහැ. මට හිටියා ඒ කාලේ සුමනා දමයන්ති කියලා මිතුරියක්. ඇය මම රඟපෑ චිත්‍රපටවලට ගොඩක් ආදරය කළා. මගේ ලියුම්වලට පිළිතුරු ලියන්න මම භාරදුන්නේ ඇයට. මගේ පෙම්වතා මගේ ඡායාරූප ගොඩක් ප්‍රින්ට් කරලා ගෙනත් දෙනවා ඒ කාලේ. මම ඒ ඡායාරූපවල සහ ලිපිවල අස්සන් කරලා දුන්නම සුමනා කරන්නේ ඒ පින්තූර දාපු ලියුම් මගේ රසික රසිකාවියන්ට යවන එක. ඒ කාලේ එක රසිකයෙක් හිටියා රෝහණ ජිනදාස කියලා. දැන් ඔහු ජීවතුන් අතර නැහැ. ඔහු ඒ කාලේ මගේ පින්තූර අරන් දෙනවා රසික රසිකාවියන්ට යවන්න. ඔහු මට බොහොම ආදරය දක්වපු කෙනෙක්”.
ඇය තමන්ගේ රංගන ජීවිතය තුළ එක්කාසු වුණ රසික මතක තව තවත් සිහිගැන්විය.
“එක කාලයක් තිබ්බා එක දිගට මගේ චිත්‍රපට තිරගත වෙන. ඉතිං ඒ කාලේ රසික රසිකාවියන්ගේ සමරු පොත් අස්සන් කරලම මගේ අත රිදෙන්න ගත්තා. එක දවසක් සමරු පොත් අස්සන් කරලා ඉවරයක් වෙන්නේ නැති නිසා ඒ කාලේ රීගල් එකේ කළමනාකරුගේ කාමරයට මාව එක්ක ගිහින් මට විවේක ගන්න ඉඩදුන්නා” හැංගිලා ඉන්න වුණා.
ගොළු හදවත චිත්‍රපටයේ දම්මිගේ චරිතයෙන් ඇය වඩ වඩාත් රසික ආදරයට පාත්‍ර විය. ඇය ඒ හා බැඳුණු අපූරු රසික මතක ආවර්ජනය කළේ මෙලෙසයි.
“ගොළු හදවත කියන්නේ සෑහෙන පිරිසක් අතර ජනප්‍රිය වුණ චිත්‍රපටයක්. දැන් මට වයස අවුරුදු 74ක්. ඒත් බොහෝදෙනා මාව මතකයේ තියාගෙන ඉන්නේ ගොළු හදවත චිත්‍රපටයේ දම්මි විධියට. මම ගොළු හදවත චිත්‍රපටය කරලා ඉවර වුණ ගමන් විවාහ වුණානේ. ඉතින් මට ඊට කලින් ආදරය ගැන ලියුම් සමහරු එව්වට ඊට පස්සේ ඒ වගේ ලියුම් එන්න ගත්තේ නැහැ. මම රඟපාපු චිත්‍රපට නරඹලා ඒවා ගැන අදහස් දක්වලා තමයි ඊට පස්සේ මට ලියුම් එන්න ගත්තේ”.
ඇයගේ රූපශ්‍රියාව බොහෝ දෙනාගේ සිත් ගත්තක් බවට පත්වී තිබිණි. එක කනක් වැසෙන පරිදි කොණ්ඩය පීරූ ඇගේ කොණ්ඩ විලාසිතාව, ඒ යුගයේ පාසල් යන නව යොවුන් තරුණියන්ද අනුකරණය කරන්නට විය. ඇගේ දිග කොණ්ඩයට බොහෝ දෙනා ඇලුම් කරන්නටද විය.
එදා ඇයට ආදරය කළ බොහෝ දෙනා අදටත් ඇයට ආදරය, ගෞරවය දක්වන බවට සාක්ෂි ඉතිරි වී තිබේ. ඇය අදටත් ඇයට ලැබෙන ඒ අපූරු රසික මතක හෙළි කරන්නට විය.
“මගේ රසිකයෙක් හිටියා එමිල් කුරුකුලසූරිය කියලා. දැන් එයාගේ වයස අවුරුදු අසූවක් විතර වෙනවා. ඔහු මට තාමත් මගේ උපන්දිනයට සුබපැතුම්පතක් එවනවා. ඔහු ඒක අවුරුදු ගාණක් තිස්සේ කරන දෙයක්. ඒ කාලේ ලස්සන අත් අකුරෙන් ලියුම් ලියලා මට එවනවා. දැන් ඉඳලා හිටලා මට දුරකථනයෙනුත් කතා කරනවා. එක වතාවක් පුවත්පතක මගේ දුරකථන අංකය පළවෙලා මගේ උපන්දිනයට දහසකට එහා පිරිසකගෙන් දුරකථන ඇමැතුම් එන්න ගත්තා. ඒ මීට අවුරුදු හත, අටකට උඩදී. තාමත් මම ඥාති ගෙදරකට ගියොත් මාව බලන්න බොහෝ අය කැමැත්තෙන් ඉන්නවා. එයාලා මාව බලන්න ඇවිත් මට කියන්නේ ‘අපේ කාලේ නිළිය’ කියලා. මම විවාහ වුණාට පස්සේ රංගන කටයුතුවලට තමයි එළියට බැස්සේ. මහත්තයා තමයි බඩු ගේන්න එළියට ගියේ. ඉතින් මම තවමත් වැඩිය එළියට පහළියට යන්නේ අඩුවෙන්. අවශ්‍යම තැනකට තමයි මම යන්නේ. මට තාමත් බොහෝ දෙනා කියන්නේ මම වෙනස් නොවුණ කෙනෙක් කියලා. තවමත් මට රසික රසිකාවියන්ගේ ආදරය ලැබෙනවා. ඒක සතුටක්. ඒ ආදරය තමයි අපිව ජීවත් කරන්නේ. සමහර රසික රසිකාවියන් ළඟ මං ළඟවත් නැති ඡායාරූප තියෙනවා. නිරංජලා සරෝජනී ළඟත් මගේ පරණ පින්තූර පවා තියෙනවා. මට ආදරය කළ පිරිස මගේ ඡායාරූප එකතු කරලා තියෙනවා. මගේ රසික රසිකාවියෝ කවදාවත් මට වැරැද්දක් කියලා නැහැ. ඒක මට සතුටක්”.
ඇය අඹ යහළුවෝ ටෙලි නිර්මාණයෙන් ලබාගත් රසික ආදරයද සුළු පටු නොවූවකි. ඒ රසික ආදරය පරම්පරා ගණනාවක් තුළ විහිදී පැතිරුණකි.
“අඹ යහළුවෝ ටෙලි නාට්‍යයෙන් මට ගොඩ නැඟුණේ වෙනස් රසික පිරිසක්. නෙළුම් කුමාරි නැත්නම් සුදු අප්පුගේ අම්මගේ චරිතය බොහෝ දෙනෙක් ආදර්ශයට ගත්තා. මට මතකයි එක අවස්ථාවක ඕස්ට්‍රේලියාවේ පැවැත්වුණු උත්සවයකට මම ගියා. මම ස්ටේජ් එකේ ඉන්නකොට තරුණ පිරිමි ළමයි ටිකක් දුවගෙන ආවා, මාව උස්සගන්න. ඒ අඹ යහළුවෝ ටෙලි නාට්‍යයේ සුදු අප්පුගේ අම්මට ආදරය කළ රසික පිරිසක්.”
ඇය දැන් පුංචි තිරයේ සහ සිනමාවේ දකින්නේ කලාතුරකිනි. නමුත් ඇය බොහෝ දෙනාගේ මතකයේ රැඳුණු රංගන ශිල්පිනියකි. පුතුන් දෙදෙනකුගේ මවක් වුණ ඇය පොඩි පුතුගේ සමීපයේ ජීවත්වන්නේ පුංචි මුනුුපුරාගේ හුරතලය විඳිමිනි. ඇය පසුගිය කාලයේ වස්සානේ සඳ, රෂ් වැනි චිත්‍රපටවලින් ප්‍රේක්ෂකයන් අතරට විත් තිබිණි. ඇය රංගන ජීවිතය තුළ පුහු ආටෝප නැති රංගන ශිල්පිනියක ලෙස ජීවත් විය. ඇය රංගන ක්ෂේත්රයේ ගමන නිම කර නැත. ඒ ගැන ඇය කීවේ මෙවැන්නකි.
“මම රංගනය අතහැරලා නැහැ. දැන් නිර්මාණ කෙරෙන විධියත් එක්ක ටිකක් වැඩ කරන්න අමාරුයි. මම කාටවත් කරදරයක් නැතිව මාව අවශ්‍ය නිර්මාණයකට කලාතුරකින් හරි සම්බන්ධ වෙනවා. ඒ මම රංගනයෙන් අයින් වෙන්න කැමැති නැති නිසා.”
ඇය රංගනයෙන් ඉවත් වෙනවාට ඇයට ආදරය කරන රසික රසිකාවියන්ද කිසිසේත් කැමැති නොවෙනු ඇත. ඒ ඇයගේ සුන්දර රංගනයට බොහෝ දෙනකු ළෙන්ගතු වී හමාර බැවිනි.
තිළිණි කෞශල්‍යා විජේසිංහ
මව්බිම - හදගැස්ම