"ඔයාගේ වයස...?" ඇය මා දිහා බලන්නේ බයෙන්. නිකමට හිතන්න! සත්තකින්ම මම පොලිසියේ කෙනෙකුත් නොවන නිසා... මම දුරකථනයේ "රෙකෝඩින් ඔන්" කරපු එක ගැන ඇයට බියක් දැනෙන්න ඇති. (ඒත් ඇය ඒකට කලින් අවසර දුන්නා නොවැ.)
"ඔයා කියනවනම්... ඕෆ් කරමු.. අවුලක් නෑ.." මම දුරකථනය සාක්කු කටට එබුවා. නෝට් බුකිය එළියට ගත්තා. "බටර්ජෙල් පෑන" අතට ගත්තා. ඇගේ අර නොරිස්සුම් බැල්ම වචන කරන්න බැරුව තව වෙලාවක් බලන් හිටියා.
"මට තාම අවුරුදු 22යි. 22 පිරුණේ ගිය සතියේ..."
"ඒත්... ඔයා හිතන විදිහට මම ගණිකාවක් නෙවෙයි.. එක්තරා විදිහකට ගණිකාවක් වෙන්නැති සමහර විට.. ඒත් මට ඒ කස්ටමස්ලාව සතුටු කරන්න වුනා.."
"වෙන මොනා කරන්නද? මේක මගේ ජොබ් එකනේ...! මම විතරයි ස්පා එකේ සිංහල කෙල්ලෙක්ට ඉන්නේ. අනිත් තුන්දෙනාම තායි කෙල්ලෝ.. උන් ලස්සනයි.. මට ඉතින් එච්චර පෙනුමක් නෑනේ.. ඔයාට පේනවනේ.. නෝමල් ලස්සන ඇති... ෆිගර් එකේ හැඩයක් නෑ. මොකද ඔය පොෂ් කෙල්ලෝ වගේ ජිම් යන්න වෙලාවක් නෑ... මේ පේනවානේ... ලොකු බඩකුත් දාලා එළියට.. ටයර් පැනපු මං වගේ එකියලාට මොකුන්ද කැමති..? මසාජ් එකක් කරගන්නවත්..?" ඇය, ඇය විහින්ම තමන්ව විකෘති තැනැත්තියක්.. සත්තකින්ම විරූපී තැනැත්තියක් කරගන්න හේතුව මට හිතාගන්න බැරිවුනා. ඇගේ කැරලි කොණ්ඩේ... ආලේපන ගල්වපු තොල් පෙති... පාට කරපු ඇහි බැමි.... සත්තකින්ම! මේ ගණිකාවක්ද?
"සල්ලි නිසා තමයි මේ ජොබ් එකට ආවේ.. මගේ වයසේ මගේ යාළුවෝ බීඑම්ඩබ්-වලින් යද්දි, කොල්ලෝ එක්ක සෙල්ෆි දාද්දි... මටත් ඕනි වුනා උන්ගේ මට්ටමට එන්න.. ඒක ඉතින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.. ඒ තරම් ඉක්මනට සල්ලි හම්බකරගන්න විදිහක් මට හිතාගන්න බැරිවුනා.."
"එහෙමයි මේ ජොබ් එකට එන්නේ..? මසාජ් කරන්න..? මිනිසුන්ව ලිංගිකව සතුටු කරන්න..? කෝටියක් වටින කාර් එකක් ගන්න හිතන්?"
"මම වැඩියෙන්ම කැමති මට ලැබෙන ටිප් එකට.. රුපියල් දාහක් දෙදාහක්.. තුන්දාහක්.. ඒක ලබාගන්න මට උන් එක්ක නිදාගන්නම ඕනි නෑ.. උන් ආස විදිහට කළාම ඇති... ඒත් ඉතින්... උන් සයිකෝ හැදිච්ච උණහපුලුවෝ ජාතියක්.. සමහරුන්ට ඕනි අපිට නයිටි අන්ඳලා හැඩ බලන්න.. තවත් උන් බිකිනි අන්දන්න ගන්නවා.. එක හාදයෙක් හිටියා ඌට ඕනි මං ලව්වා ගුටි කන්න. ඒකෙන් තමයි ඌ සතුටු වුනේ.. විකාරයි වගේ නේද? මම කිව්වේ ඔය වගේ එක එක විදිහේ ලෙඩ්ඩු තමයි අපි ළඟට එන්නේ.... ඇත්තටම ඉතින්.. අපි උන්ව අතපත ගාන එකනේ කරන්නේ... දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක මම නම් ලිංගිකව හැසිරිලා තියනවා. ඒත්... මට සෙට් වුනොත් විතරයි.. නැත්තම් මොන හේතුවක් උඩවත් මම කා එක්කවත් එහෙම යන් නෑ. මට එහෙම හිතෙන් නෑ.. මට මතකයි එක දවසක් කරුමක්කාර යක්ෂයෙක් මගේ ඇඟ හපාකන්න හැදුවා.. ඌට සතුටු හිතෙන්නේ එතකොටලු.. තවත් උන් සතුටු උනේ මගේ නිරුවත් ශරීරය දිහා බලලා.. දැන් මට මං ගැන ලැජ්ජාවක් නෑ.. මට හිතෙනවා සමහරක් විට දාහක් දෙදාහක් ඉස්සරහා වුනත් මට නිරුවත් වෙන්න පුළුවන්.. මේක ගඳ ගහන ජරා සරීරයක්.."
"සතියකට කලින් වුනු දේ කියන්න..?" මම ඇගේ දීර්ඝ කතාවට අතරමඟ මාර්ග බාධකයක් දැම්මා. ඇය දිගු සුසුමක් හෙළලා මගේ දිහා යන්තමින් බැලුවා. ඊළඟට ආයෙම ආකාසේ බලාගෙන කතාව පටන් ගත්තා.
"ගොඩක් අය තෝරන්නේ තායි අයව... මාව තෝරගන්නේ කලාතුරකින්... පොලිසියේ අය වෙස් වලාගෙන අපේ පොට් එකට එන බව අපිට කලිනුත් කට්ටිය කියලා තිබුනේ.. ඒත් එහෙම සැක කරන්න තරම් කෙනෙක් ආවේ නෑ.. තායි උන් හෙන ගණන්... පැයකට දහ දහා වගේ ගන්න අය ඉන්නවා.. අර අවුරුදු 19 තායි කෙල්ල ෆුල් නයිට් එකකට විතරක් විසි පන්දාහයි.. එදා ඒ කෙල්ලව ඕනි කියලා තියනවා එක කස්ටමර් කෙනෙක්.. පස්සේ රූම් එකට ගිහින්... මම හිටියේ ඊට රූම් දෙක තුනකට මෙහා... එකපාරම කෑ ගහනවා ඇහුනා පොලිසියෙන් පොලිසියෙන් කියලා... මම එළියට පැන්නා.. ඒ වෙලාවේ මගේ ඇඳුම් පවා භාගෙට ඇදන් හිටියේ.. ඇතුළේ හිටපු කස්ටමර්ත් බය බිරාන්ත වෙලා.. කොහොම හරි... අපේ කට්ටියවම ඇරස්ට් කළා... මම අඬලා ඉල්ලුවා යන්න අරින්න කියලා.. මගේ අම්මලා දැනගනී කියලා.. ඒත් මොනා කරන්නද? හැබැයි එයාලා අපිව උසාවි දානවා, කලබල කරන්නෙපා කියලා සන්සුන් කළා... ඒ ආපු ගමන තමයි මේ... ඇප ලැබුනේ පෙරේදා..."
ඇය වතුර බෝතලයක් බීගෙන බීගෙන ගියා. හරියට කාන්තාරයක අතරමං වුනා වගේ ඇයට දැනෙන්න ඇති.. අමාරුවෙන් අනිත් කෙල්ලන් වගේ හීන මවාගෙන ඇඟ විකුණන්න ආපු ඇයට සිද්ධ වෙච්ච දේ මටත් අදහන්න අමාරුයි..
"දැන් ඇප ලැබුනනේ..? ආයෙමත් මේ රස්සාවමද කරන්නේ..?"
"මම දන්නේ නැහැ.. ඔව්... හුඟක් වෙලාවට... කවුද ඉතින් මට රස්සා දෙන්නේ...? මේක තමයි පුරුදු ජොබ් එක.. මම දන්නවා මේක වැඩි කල් කරන්න පුළුවන් එකක් නෙවෙයි.. අපේ බොස් මාව කොළඹ තව පොට් එකකට සෙට් කරනවා කිව්වා. හැබැයි පරිස්සම් වෙන්න වෙනවා. මේ වගේ නෙවෙයිනේ... මගේ තාත්තා ඉන්නේ ඩුබායි.. කොරෝනා නිසා එයා හිරවෙලා එහේ... අම්මා විතරයි මට ඉන්නේ.. දරුවෙකුට ඉන්නේ මං විතරයි.. ගාමන්ට් වැඩ කියලා තමයි මම මෙහේ ඇවිත් ඉන්නේ... කවුරුත් දන් නෑ මගේ ජොබ් එක මොකද්ද කියලා... දැනගන්න එකකුත් නෑ සමහරවිට.. මට බය කොයි වෙලාවක හරි ආයෙම මාට්ටු වුනොත් ? මගේ නම ගම වයස ගෙඩි පිටින් පත්තරේකවත් වැටෙයිද කියලා..? එහෙම වුනොත් දිවි නහාගන්න තමා වෙන්නේ.."
"ස්පා එකේදී හම්බුනු අමතකම නොවෙන කස්ටමර් කවුද..?" මගේ අමුතු ප්‍රශ්නය...
"ම්ම්ම්ම්ම්... එක්කෙනෙක් හිටියා.. මට වඩා බාල මල්ලි කෙනෙක්.. හරිම ස්වීට් එයා... චූටි කොල්ලෙක්.. මම හිතන්නේ අවුරුදු 18ක් විතර ඇති.. (ඒ ගැන කියද්දි එයාගේ මූණ.) එයා හැමදාම ඉල්ලන්නේ මාවම විතරයි.. ඇවිත් මට තුරුළු වෙලා ඉන්නවා.. පස්සේ රුපියල් පන්සීයක් ගුලි කරලා අතුරුදහන් වෙනවා... පුංචි පුංචි දුර දිග යාම් තිබ්බත්... ඒ අහිංසකයා මට කවදාවත් කරදර කරන්නේ නැහැ... එයා නිසා මම ආස වුනා රස්සාවත් කරන්න.. ඒක ආදරයක්ද මන්දා.. ඒ කොල්ලාව දකින් නැතුව මට ඉන්න බැරිවුනා.. තාමත්.. මට එයාව මතක් වෙනවා.. මම හිතන්නේ එයා ටියුෂන් ක්ලාස් යන එන ගමන් තමයි මේකට රිංගන්නේ.. පෙළක් වෙලාවල්වලට හරිම විහිලුයි.."
මම දැක්කා ඒ තැනැත්තිගේ ඇස් දිලිසෙන්න ගන්නවා. හරියට පුංචි එකියක් වගේ. ටොෆි චොකලට් ගොඩාක් පුරවන්.. බෝනිකියෝ ගොඩක් මැද්දේ ඉන්නවා වගේ.. ඒකිගේ කළු පාට ඇස් මතකයන් දිගේ දුවන් යනවා.
"මම ඔයාට නෙතූ කියන්නද..?" ඒක අහම්බයක්...
"මම හිතන්නේ දැන් ඔයා ඔය රස්සාව නතර කළොත් හොඳයි.."
"මම හිතුවේ රට යන්න.. රස්සාව ගැන කියන්න දන් නෑ.. ඒත්... තාත්තා ඉන්න රටටම යන්න මට ආසයි.. මගේ පවුල හරිම දුප්පත්.. අම්මා ගෙදරක වැඩට යනවා.. අපි ඉන්නේ කුලී ගේක.. ඒකට ගෙවන්න ඕනි දහ දාහක් මාසෙකට.. කොළඹ ඉතින් වියදම් වැඩීනේ.. මම දන්නේ නෑ ඉස්සරහාට වෙන දේ ගැන..."
"හොඳයි... බොහෝම ස්තුතියි..." මම "බටර් ජෙල්" එක සාක්කුවට ඔබා ගත්තා. මම ඇයට අන්තිම පාරට අත වනනකොටත් ඇය හිටියේ ඈතින් පුංචි උන් දෙන්නෙක් දිහා ආදරෙන් බලාගෙන!
ඇත්තටම ඈ පව් !!
By Lakshan