තමන්ගේ විවාහයට දෙපාර්ශ්වයේම වැඩිහිටියන්ගේ ආශීර්වාදය ලැබුණු දවසේ ශිරන්තත්, දිලුමිත් අමන්දානන්දයට පත්වූයේ එය ඔවුන්ගේ පාසල් අවධියේ පටන් ඇරඹි අකලංක පෙම් සබඳතාවක් වූ නිසාය.
මනාලයා වූ ශිරන්ත (27) විසුවේ පොල්පිතිගම, කිරිවත්තේ ඔහුගේ මවුපියන්ගේ නිවෙසේය. මනාලිය දිලුමි විසුවේද ඒ ගමේමය. ඒ තබා දෙපාර්ශ්වයම ඥාතීහු වූහ.
දෙදෙනාගේ හඳහන්ද ගැළපුණු බැවින් දෙපාර්ශ්වයේ මවුපියන්ගේ සිත්ද පිරිසුදු විය.
දක්ෂ පෙදරේරුවකු වූ ශිරන්ත මනාලිය කැන්දාගෙන ඒමට නියමිත මහ ගෙදරට වහ වහා පිළිසකර කර තීන්ත ගල්වා නව පෙනුමක් ලබා දුන්නේය.
ඔහුගේ මවුපියෝද සිය ලේලිය පිළිගන්නට ආසාවෙන් ලක ලෑස්ති වූහ.
මංගල නැකැත යෙදුණේ ජූලි 17 වැනිදාටය. ඒ සමඟම පෙම්වත් යුවළ මඟුල ගැනීමට සුදුසු හෝටලයක් සෙවීමට යුහුසුලු වූහ. ඔවුන්ගේ හිත ඇදීගියේ මැල්සිරිපුර පැත්තේ හෝටලයකටය.
ඊළඟට ඔවුන් ඉදිරියේ පැන නැඟුණේ අද කාලේ අලුත බඳින ඕනෑම ජෝඩුවක් මහ ලොකුවට ඇඟට ගන්නා ප්‍රශ්නයක්. ඒ වෙඩින් ඇල්බමයට පින්තූර ගන්නේ කොහේ කොහේද යන්නය. ශිරන්ත පින්තූර ගැනීමට හොඳ කොහේදැයි තමාගේ ෆේස්බුක් මිතුරන්ගෙන් විමසුවේය. ඒ අනුව පළමුවෙන්ම යෝජනා වූයේ ඉබ්බාගමුවේ බතලගොඩ වැව ආශ්රිත පෙදෙසය. නකල්ස් කැඳුවැටිය ආශි‍්‍රත ප්‍රදේශය වඩාත් සුන්දර යැයි ඊළඟට යෝජනා විය. මිතුරෝ එහි පින්තූරද පළ කළහ. දිලුමිගේ හිත ඇදුණේ සුන්දර සේර ඇල්ලටය. ඇගේ හිත ගිය නිසා ඔහුගේද හිත ගියා වැන්න. ඒ ගමන ස්ථීර විය.
කොරෝනා වසංගත භීතියෙන් රට ඇලළී ගියේ මනමාල යුවළ සේර ඇල්ලට යන ගමන සූදානම් කරමින් සිටියදීය. එහෙයින් ගමන පමා කිරීමට සිදුවිය. මනාල යුවළගේ ගමනට හරස් වූ පළමු බාධකය එය විය.
කල්දමන ලද සේර ඇල්ලේ ගමන නැවත ජුනි 28 වැනිදාට යොදා ගත්හ. ඡායාරූප ශිල්පියා වූයේ ශිරන්තගේ මිතුරෙකි.
පින්තූර චාරිකාවට යා යුත්තේ කවුරුන්ද යන්නද තීන්දු කළේ ශිරන්තය. මනමාලයාගේත් මනමාලියගේත් අම්මලා දෙදෙනාත් මනාලියගේ අක්කාත් ගමනට සූදානම් වුණේ ඒ අනුවය. කැමරා ශිල්පියා හැරුණු විට ඔහුගේ සහායකයාත් රියැදුරාත් අනිවාර්යයෙන් යා යුතු විය. යුවළ අලුත් ඇඳුම් කට්ටල තුන බැගින්ද සූදානම් කර ගත්හ.
ගමන යන වෑන් රිය හිමිදිරි පාන්දරින්ම ශිරන්තලාගේ ගෙදරට ආවේය. ඒ වන විට මනාලියද ඇගේ මවුපියෝද මනාලයාගේ නිවෙසට පැමිණ සිටියහ. යුවළ ගමන නොයන පියවරුන් දෙදෙනාට වැඳ සමුගෙන රියට ගොඩ වූහ.
‘යං!’ ශිරන්ත රියැදුරුට කීවේය.
රියැදුරු යතුර කැරකුවේය. ඒත් එය පණ ගැන්වුණේ නැත. එය දෙවැනි බාධකයද? බිමට බට රියැදුරු බැටරියේ වයර් බුරුල් වී ඇද්දැයි බලා යළි තදකර රියට නැඟ යළි ස්ටාර්ට් කළේය. මෙවර නම් රිය පණ ගැන්විණි. එහෙත් රිය ඉදිරියට ඇදුනේ නැත. තෙල් බ්ලොක් වෙලා වගේ. මඟදී ගැරේජ් එකකට දාලා බලමු. රියැදුරු කීවේය. එය තෙවැනි බාධාවද? කෙසේ වුවද මේ සියලු පමාවීම් මැද ඔවුන්ගේ රිය අලුයම පහට පමණ ගමන පිටත් විය.
‘අම්මේ දැන් ඔයා කොහෙද ඉන්නේ?’ ශිරන්තගේ ගෙදර සිටි සොහොයුරිය මවට ඇමැතුමක් දී ඇසුවාය.
‘අපි අතරමඟ නැවතිලා! වෑන් එකේ ඉස්සරහ රෝදෙ හුළං බැහැලා! පැච් එක දාන්ඩ තැනක් නෑ. වෑන් එකේ පොම්පයක් තිබුණා දැන් ඒකෙන් ශිරන්තයි ඩ්‍රැයිවරුයි මාරුවෙන් මාරුවට හුළං ගහනවා’ අම්මා පිළිතුරු දුන්නාය.
‘මොකද අනේ අද බාධා වෙවී වෙන්ඩ යන්නේ?
‘ඒක නේන්නං. අනේ මන්දා?
මේ ඇසුණු රියැදුරුද කතාවට එක් විය. මං ඔයාලව මාතලේට දාලා පැච් එක දාගෙන එන්නං!
රියැදුරු යළි රිය පණගන්වා ඉදිරියට ඇදුණේය. එහෙත් එය කඳු ඇද්දේ නැත. අන්තිමේදී මඟ නතර වී පස්සෙන් පස්සට යන්නට විය. ශිරන්තත්, කැමරා මිතුරාත් වහා බිමට පැන පාර අයිනේ වූ ගල් ගෙන ටයර්වලට අඩ තබා යාන්තමට රිය නවත්වා ගත්හ. එසේ නොවුවා නම් සිදුවනු ඇත්තේ තවත් විපතකි. ඊළඟ පුදුමය නම් කලින් හුළං ගිය රෝදයේ හුළං බැස නොතිබීමය. ඒ තබා එහි පැච් එකක් තිබුණේද නැත. මේවා ඔවුනට එරෙහිව නැඟුණු බාධක ද විස්මය දනවන දේද විය.
එසේ වුවද තවත් මොහොතකින් නකල්ස් කඳු පෙදෙසේ සුන්දර පෙදෙස්වලට යෑමට ඔවුනට හැකි විය. එහිදී නව යුවළ මහත් සතුටකින් ඡායාරූපවලට පෙනී සිටියහ. ඉන්ද නොනැවතුණු ඔවුහු ඒ පෙදෙසේ වැසියන්ගෙන් තවත් ලස්සන තැන් ගැන විමසමින් ඒ තැන්වලට ගොස් පින්තූරවලට පෙනී සිටියහ.
පින්තූර ගැනිල්ල අවසන් වන විට හවස් වී තිබිණි. ආපසු පිටත්වීමට පෙර කැමරා මිතුරා තමා ගත් මනාල යුවළගේ ඡායාරූප කැමරාවේ ඩිජිටල් තීරයේ පිරික්සා බැලුවේය.
ෂ-- ඕනෑම පින්තුරේ ගන්ඩ බැරිවෙලා! ඔහු කීවේය.
මොකක්ද ඒ? ශිරන්ත ඇසුවේය.
මේකයි පින්තූරේ! දිලුමි සේර ඇල්ලට බහින්ඩ ඕනෑ. ශිරන්ත උඩ ඉන්ඩ ඕනෑ. දිලුමි ඇල්ලෙන් වතුර ටිකක් අරගෙන ශිරන්ත ඉන්න දිහාට විසි කරන කොට ශිරන්ත ඒක අල්ලන්ඩ හදනවා අන්න ඒකයි පින්තූරේ!
යෝජනාව පිළිගත් යුවළ සේර ඇල්ලට යන්නට රියෙන් බිමට බටහ. සෙසු අයද ඔවුන් හා එක්වූහ. එසේ යන අතර දිලුමි ඇඳ සිටි අලුත් සාය ‘චරාස්’ හ¾ඩින් ඉරී ගියේය. එසේ වූයේ එම ගමන යන්ඩ එපා යැයි කියන්නා සේය. එතෙක් කාටවත් එය එසේ තේරුම් නොගියේය. ආපසු රිය තුළට ආ දිලුමි අලුත් සායක් ඇඳ යළි පිරිස සමඟ ඇල්ල සොයා ගියාය. දැන් සුන්දර සේර ඇල්ල ඔවුන් ඉදිරියේය. ඒ වනවිටත් පිරිසක් එය නරඹමින්ද උන්හ.
‘අයියේ, මට නං බයයි! දිලුමි ශිරන්තට කීවේය.
ඇයි බය වෙන්නේ? අපි ගමේ වැවේ පීනලා නාන අයනේ. ඔයා බය නැතුව ඇල්ලට බහින්ඩ! මං පස්සෙන් එනවනේ’ ශිරන්ත ඇය දිරිමත් කළේය.
දිලුමි හිත හදාගන්නට මෙන් මොහොතක් ඇල්ල දෙස නෙත් හෙළාගෙන සිටියාය. ඇද හැලෙන දිය අතර හෝ හඬ දෙමින් පෙණ බුබුළු නංවමින් ගල්පර අතර වැදෙමින් පහළට ඇදෙමින් තිබිණි.
දිලුමි ඇල්ලේ ගලක් මතට බැස්සාය. ශිරන්ත ඒ ගල උඩ තැනක නැවතී අෑ දෙස බලාගෙන සිටියේය. කැමරා මිතුරා රූප රාමුව සකස් කරමින් සිටියේය. අම්මලා දෙදෙනාත්, සොයුරියත් නව යුවළගේ සොඳුරු රඟපෑම දැක බලා ගන්නට ආසාවෙන් උඩ සිට පහළ බලාගෙන සිටියහ.
හරි!
කැමරා මිතුරාගේ ඒ විධානයත් සමඟ දිලුමි දිය අතක් උඩට විසි කළාය. ශිරන්ත එය අල්ලන්නට හැදුවේය. එහෙත් පින්තූරය හිතන තරම් ලස්සනට නාවේය. ඒක හරි නෑ! ආයෙත් දාන්ඩ! කැමරා මිතුරා යළිත් විධානයක් දුන්නේය.
දිලුමි දෙවන වරටත් වතුර අතක් උඩට විසි කළාය. විසි කරද්දීම ඇගේ පයක් ලිස්සා ගොස් ඇය ඇල්ලේ දියට වැටුණාය. කලබලයට පත් ශිරන්ත ඇය බේරාගන්නට එහි පැන්නේය. සිදුවූයේ දෙදෙනාම දියඹට ඇදී යෑමය.
අනේ! බියපත් අම්මලාද කෑගහමින් පහළට බැස දරුවන් බේරාගන්නට දියට පැන්නාහ. සොහොයුරිය ද පැන්නාය. ඔවුනට සිදුවූයේ සැඬ දිය පහර හා සටන් වදින්නටය.
කැමරා සහායකයා වහා දියට පැන දිලුමි ගොඩ ගත්තේය. ඒ වන විටත් ඇය සිහිසුන්ව සිටියාය. අවට සිටියෝද දියඹට පැන මවුවරුන් දෙදෙනා සහ සොහොයුරිය ගොඩට ගත්හ. මේ සියල්ල අතරේ ශිරන්ත දිය රකුසා සමඟ මාරක සටනක යෙදී සිටියේය. කැමරා මිතුරා දියට නැමී තමා අත වූ කැමරා ආධාරකය දිය රකුසා හා පොර බදිමින් සිටි ශිරන්තට දිගු කළේය. එහෙත් ඔහුට එය අල්ලා ගැනීමට බැරි විය. එකෙණෙහිම ශිරන්ත දියේ ගිලිණි.
ශිරන්ත නොපෙනී ගිය සේර ඇල්ල ඥාතීන්ගේ අඳෝනාවෙන් කැලඹී ගියේය. පිරිස ඔහු සෙවීමට ගත් සියලු උත්සාහයන්ද ව්‍යර්ථ විය. ඒ අතර අඳුරද වැටිනි.
ශිරන්තගේත්, දිලුමිගේත් විවාහයට පෙර ඡායාරූප ගැනිල්ල ඛේදවාචකයකින් නිමා වූයේ එසේය.
පසුදා පොල්ගහවෙල නාවික හමුදා කඳවුරේ කිමිඳුම්කරුවන් සේර ඇල්ලට පැමිණ ශිරන්තගේ මළ සිරුර ඔහු ගිලී ගිය තැනට නුදුරින් වූ ගල්කුළු අතරින් ගොඩගන්නා විට පෙරවරු එකොළහට ආසන්නව තිබිණි. ඒ වන විටත් පැය 18කට කිට්ටු කාලයක් දියේ තිබුණු බැවින් ඔහුගේ සිරුර සුදු පැහැ ගැන්වී තිබුණද ඊට කිසිදු තුවාලයක් සිදු වී තිබුණේ නැත.