කුරුණෑගල, හිරිවත්ත, පන්සියගම පදිංචි කේ.කේ. ශිරන්ත සංජය රත්නසූරිය සිය පෙම්වතිය වූ දිල්මි මධුෂිකාත් ජූලි 17දා සිදුකිරීමට නියමිත විවාහ උත්සවය වෙනුවෙන් මාස ගණනාවක සිට සූදානම් වෙමින් සිටියහ. ඒ අනුව විවාහයට පෙර ඡායාරූප ලබා ගැනීමේ කටයුත්තට පසුගිය දින කිහිපය වෙන් කර තිබිණි.
එය වඩාත් කලාත්මකව සිදු කරනු රිසියෙන් ස්ථාන කිහිපයකටම යමින් ඡායාරූප ලබා ගත්තේය. ලග්ගල, රිවස්ටන්, නකල්ස් ආදී ප්රදේශ රැසකම පෙරේදා දින රූගත කිරීම සිදු කළේය. වඩාත් ලස්සන ඡායාරූප ඇල්බමයක් ඔවුන්ගේ පැතුම වී තිබෙන්නට ඇත.
ලග්ගල, සේර ඇල්ල ස්වාභාවික සුන්දරත්වයෙක් අනූන මනස්කාන්ත ස්ථානයකි. එය නිතැනින්ම පෙම්වතුන් ඇතුළු බොහෝදෙනකුගේ ඡායාරූපයට නැඟෙන්නේ ඒ නිසාය.
ශිරන්ත හා දිල්මි එම ස්ථානයට යනවිට පෙරේදා සවස හතරට පමණ ඇත. ඒ ගමනට දිල්මිගේ මව, සහෝදරිය ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.
එහෙත් අවදානම පිළිබඳ සැලකිල්ල අඩුවී යෑමෙන් තරුණ යුවළකගේ විවාහ සිහින සේරම ඇල්ලෙහි ගිලී යෑම පිළිබඳ දිවි බේරාගත් තරුණියගේ මව වන ප්රියංකා චන්ද්රකාන්ති මෙලෙස සඳහන් කර සිටියාය.
“දුවයි පුතයි වතුරට බහින්න යද්දී එක පාරටම වතුරට වැටුණා. වැටුණට පස්සේ මම පැන්නා බේරගන්න. එතකොට මගේ අනිත් දුවත් පැන්නා. අපි දෙන්නත් වතුරට ඇදිලා ගියා. ඊට පස්සේ කැමරා කරන පුතෙක් ඇවිල්ලා ලීයක් වගේ එකක් දැම්මම බේරාගන්න පැන්න මමත් දුවත් ගොඩට ආවා. ඊට පස්සේ එතැනට පිටින් ආපු කට්ටියක් පැනලා දුව අරගෙන ගොඩට ආවා. පුතා එහෙමම යට ගියා.”
දිල්මිගේත්, ශිරන්තගේත් විවාහ සිහිනය එලෙස අවාසනාවන්ත ලෙස බොඳවී ගියේය. ලග්ගල පොලිසියේ සහායද ඇතිව නාවික හුදාවේ කිමිඳුම් අංශය ශිරන්තගේ නිසල දේහය ඊයේ උදෑසන ගොඩගන්නා විට අවදානම නොතැකූ තවත් සුන්දර බලාපොරොත්තුවක් මේ භවයෙන් අෑතට ගොස් තිබිණි.
වෘත්තියෙන් වඩුකාර්මිකයෙක් වන මියගිය ශිරන්ත පෙම්වතිය වන දිල්මි සමඟ විවාහ වීමට නියමිතව තිබුණේ ලබන 17 වැනිදාය.
ඔහුගේ පෙම්වතිය වන දිල්මි මධුෂිකා සමඟ 28දා සිය මවුපියන්, ඥාතීන් සහ ඡායාරූප ශිල්පියා සමඟ “සේර ඇල්ල” අසලට පැමිණ තිබුණේ සිය මංගල උත්සවයට පෙර ඡායාරූප කිහිපයක් ගැනීම සඳහා බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ශිරන්ත සහ දිල්මි ඡායාරූපයකට පෙනී සිටින අතරතුර සේර ඇල්ලේ දිය පිරුණු වළකට ඇද වැටී ඇති අතර එම අවස්ථාවේදී ඥාති සොහොයුරකු දිල්මි බේරාගත්තද ශිරන්තව බේරා ගැනීමට කිසිවකුටත් නොහැකි වූ බව සිද්ධිය දුටුවෝ පැවැසූහ.
පසුව සිද්ධිය පිළිබඳව ලග්ගල පොලිසියට දැන්වීමෙන් අනතරුව ලග්ගල පොලිස් ස්ථානයේ නිලධාරීන් පැමිණ විමර්ශන ආරම්භ කළ අතර අතුරුදන් වූ ශිරන්ත සොයා 29දා උදෑසන නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කළ අතර පස්වරුවේ මෘත ශරීරය සොයා ගැනීමට කිමිඳුම්කරුවන්ට හැකිවූ බවද පොලිසිය කියයි.
මෙම සිද්ධියට අදාළ ඡායාරූප ගත කිරීමේ ශිල්පියා වූ නන්දන අමරතුංග මහතා මේ සම්බන්ධයෙන් මෙසේ පැවැසීය.
“අපි එතැන ෆොටෝ අරගන්න ගමන් තමයි හිටියේ. අපි ප්ලෑන් කරා පහළට බැහැලා වතුර පොඩ්ඩක් ඉහළට අතින් විසි කරනවත් එක්කම පින්තූරයක් ගන්න. එහෙම සූදානම් වෙනකොටම තමයි ලිස්සලා ගියේ. එතැන පහළට බහිනකොට ලිස්සලා යනවා. එතැන ගොඩක් කට්ටිය 50ක් විතර හිටියා. එතැන හිටපු කට්ටිය වළට පැන්නා. ඒ සමඟ නංගිව ගොඩට ගත්තා මල්ලිට අපි ළඟ තිබුණු කැමරා ආධාරකය දෙන්න හැදුවා. හැබැයි ඒත් එක්කම එයා යට ගියා. බේරාගන්න බැරිවුණා.”
දෙවැනි සහායක කැමරා ශිල්පී ඩිලාන් රාජිත තරුණයා,
“අපි එතෙන්ට පහළට බැස්සේ ඡායාරූප ගන්න වතුර පාරක් ගහන්න උඩ දාන්න හැදුවේ. ඒ ටික කරගන්න හැකියාවක් තිබුණේ නැහැ. සූදානම් කරනවත් එක්කම තමයි ලිස්සලා අක්කයි අයියයි පහළට වැටුණේ. එහෙම්ම ගොඩගන්න උඩ ඉන්න අයත් පල්ලෙහාට බැස්සා. අම්මත් බැස්සා. නැන්දම්මාත් බැස්සා. අපි බේරාගන්න උත්සාහ කරා. ඒත් කරගන්න බැරි වුණා.”
මියගිය තරුණයාගේ පියා වන එස්.කේ. රත්නසූරිය මහතා
“අපේ පුතා වඩු වැඩ කරන කෙනෙක්. දුව නං මොනවත් කරන්නේ නෑ. එකම ගමේ ඉන්නේ. ලබන මාසේ 17 තමයි මේ අයගේ විවාහ උත්සවය තියෙන්න තිබුණේ. ඒකට ෆොටෝ ගහන්න යනවා කියලා තමයි ඇවිල්ලා තියෙන්නේ. පස්සේ අපට ආරංචි වුණා මේ වගේ විපත්තියක් වුණා කියලා.”
මියගිය තරුණයාගේ දේහය දඹුල්ල මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි.
නකල්ස් කඳු වැටියේ අසිරිය දෙගුණ කරන “සේර ඇල්ල” දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දැඩිව හිමිකරගත් ස්ථානයක් වන අතර එහි පවතින සුන්දරත්වය නිසාම මංගල ඡායාරූප ශිල්පීහු මෙම ස්ථානය නිරන්තරයෙන් තෝරාගනිති.
ප්රදේශවාසීන් කිහිපදෙනකුම පැවැසුවේ ඇතැම් අය විසින් පවතින අනාරක්ෂිත බව නොතකා කටයුතු කිරීම නිසා මෙවැනි ඛේදවාචක සිදුවන බවය.
ලග්ගල පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සී.ඩී.බී. රණවීර මහතාගේ උපදෙස් පරිදි උ.පො.ප. චමින්ද, පො.සැ. ගුණතිලක, පො.සැ. රණසිංහ යන නිලධාරීහු සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූහ.
මොරගහකන්ද - සංදීප ආරියදාස
කුරුණෑගල - විජේසිංහ වැලිකන්ද
(උපුටා ගැනුම - මව්බිම පුවත්පත.) VIDEO