සිය බාල සහෝදරයාගේ හදිසි වියෝවෙන් කම්පනයට පත් වැඩිමල් සහෝදරියද දේහය අසල වැටී මියයෑමේ පුවතක් කෑගල්ල පොලිස් වසමෙන් වාර්තා වෙයි.
මෙලෙස මියගොස් ඇත්තේ කෑගල්ල පරගම්මන, ඇකිරියගල ජයලත් රාලලාගේ සාදි මැණිකේ නමැති 65 හැවිරිදි දෙදරු මවක් බව පොලිසිය කියයි.
මියගොස් ඇති ගලිමුව, දම්මල පදිංචි ජයලත් රාලලාගේ දයානන්ද බණ්ඩාර නමැති තිදරු පියා කෑගල්ල අඹන්පිටිය ප්‍රදේශයේ ආයතනයක පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කරමින් සිට ඇති බවද, අසනීප තත්ත්වයක් මත මාස එකහමාරක පමණ කාලයක සිට රැකියාවට වාර්තා කර නැති බවත් ප්‍රකාශ වේ. මෙසේ සිටියදී ඉකුත් 23දා පෙරවරු 8.45ට පමණ යම් අසනීප තත්ත්වයකට කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර සිටියදී 24දා සවස මියගොස් තිබූ බවත් කියයි.
පසුව දේහය 25 වැනිදා දම්මල නිවෙසට රැගෙන ගිය අතර බාල සහෝදරයාගේ දේහය දැක බලා ගැනීම සඳහා එම සහෝදරිය වන තිදරු මව ඉතාමත් ශෝක ජනිතව බාල සහෝදරයාගේ නිවෙසට ගොස් තිබුණු බවද පොලිසිය කියයි. පසුව වැඩිමල් සහෝදරිය “අයියෝ අපේ මල්ලීට මොකද වුණේ” කියා වැලපෙන්නට පටන් ගන්නවාත් සමඟ බිම ඇද වැටී ඇති අතර පසුව එම ස්ථානයේ සිටි පිරිස වහාම කාන්තාව බෙලිගල ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇති බවත් කියයි.
අනතුරුව බෙලිගල රෝහලේ සිටි වෛද්‍යවරයා රෝගී කාන්තාව පරීක්ෂා කර ඥාතීන්ට ප්‍රකාශ කර ඇත්තේ රෝගියා මියගොස් ඇති බවය. අනතුරුව මියගිය කාන්තාවගේ දේහය කෑගල්ල ඇකිරියගල නිවෙස වෙත රැගෙන ගිය බව ප්‍රකාශ වේ.
මව්බිම
දමුණුපොල - චමින්ද ජයලත්