දිසානායක විජේසූරියගේ සන්ධ්‍යා දර්ශනි ගුණසේකර වූ ඇය සිනමාවේදී අපට මුණගැසුණේ නදීකා ගුණසේකර ලෙසිනි. ඇය සිනමා රංගන ශිල්පිනියක වූ තලතා ගුණසේකරගේ දියණිය ලෙස සිනමාවට හා හා පුරා කියා එක්වන්නේ 1977 වර්ෂයේදීය. ඒ කාංචනා සිනමා නිර්මාණයෙනි.
එතැන් සිට දශක තුනකට අධික කාලයක් ඇය සිනමා නිර්මාණ හතළිහකට අධික ප්‍රමාණයකින් සිනමා ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගන්නියක් බවට පත්විය. සිංහබාහු, බැද්දේගම, වජිරා, චංචල රේඛා, රිදී නිම්නය, යහළු යෙහෙළියෝ, බිත්ති හතර, බට්ටි, යුගයෙන් යුගයට, ඔක්කොම රජවරු වැනි සිනමා නිර්මාණ රැසකින් ඇය ප්‍රේක්ෂකයන්ගේ හදවතෙහි සටහන් තැබීය. දශක තුනකට අධික කාලයක් ඇගේ රංගන දිවිය තුළ මතකයේ රැඳි අපූරු රසික මතක ඇය හදගැස්මේ කතා බහ පුරා දිගහැරියේ සොඳුරු මතකයන් සමූහයක් එකින් එක ලිහා පෙන්වන අයුරිනි.
මම ඉගෙන ගත්තේ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ. උසස් පෙළ විභාගයට පෙනී සිටින්න මාස තුනක් තියෙද්දී 1977 වසරේදී තමයි මම මුලින්ම චිත්‍රපටයකට සම්බන්ධ වෙන්නේ. මම මුලින්ම රඟපෑවේ එම්.එම්. සංඝදාස අධ්‍යක්ෂණය කළ කාංචනා චිත්‍රපටයේ. විජය කුමාරතුංග, ශ්‍රියානි අමරසේන වැනි පිරිසක් එක්ක මම කාංචනා කියන ප්‍රධාන චරිතය රඟපාන්න ඒ චිත්‍රපටයට එකතු වුණා. චිත්‍රපටයක් රඟපාන්න එන නවක නිළියක් සම්බන්ධ කතාවක් තමයි එහි තිබුණේ. මමත් නවක නිළියක් ලෙස හා හා පුරා රංගනයට එකතු වුණේ ඒ විදිහට. සංඝදාස අයියා මගේ අම්මව හොඳට හඳුනනවා. ඔහු අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයට මාව හරි, නංගිව හරි දෙන්න පුළුවන්ද කියලා අම්මාගෙන් අහලා තිබ්බා. අම්මාගේ ආසාව නිසා තමයි මම රඟපාන්න ආවේ. ඒ වෙනුවෙන් එක චිත්‍රපටයක් රඟපානවා කියලා හිතලා ඉස්කෝලෙටත් නොකියා තමයි පළමුවැනි චිත්‍රපටය රඟපැවේ. මොකද ඒ කාලේ චිත්‍රපටවල රඟපාන්න අපිට එහෙම ලොකු අවසරයක් තිබ්බේ නැති නිසා.’
මවගේ ආසාව සපුරන්නට රංගනයට එකතු වූ නදීකා ගුණසේකරට එක චිත්‍රපටයකින් සිය සිනමා ගමන අහවර කරන්නට ඉඩ නොලැබිණි. ඇය සිනමාවට ඔබින රංගන ශිල්පිනියක් බවට පත්වූයේ ඇයටම ඔබින රංගන ප්‍රතිභාව නිසාය. පළමු චිත්‍රපටය 1980දී තිරගතවීමෙන් අනතුරුව ඇය සිනමාවේ තැබූ පියවරක්, පියවරක් පාසා ඇයට රසික රසිකාවියන්ගේ හිතේ ලැගුම් ගන්නට අවසර ලැබිණි.
‘කාංචනා චිත්‍රපටය තිරගත වෙද්දී මාව බොහෝ දෙනෙක් හඳුනාගෙන හිටියේ නැහැ. ඒ කාලේ චිත්‍රපට එළිදක්වන්නේ උත්සවශ්‍රීයෙන්. විජය කුමාරතුංග ඉන්න චිත්‍රපටයක් බලන්න ප්‍රේක්ෂකයෝ අඩුවෙන්නේ නැහැ. මට මතකයි කාංචනා චිත්‍රපටය එළිදක්වද්දි වාහනෙන් බැහැලා චිත්‍රපට ශාලාවට යන්න බැරි තරමට සෙනඟ. අපිව එදා ලස්සනට පිළිගත්තා හැමෝම. ඉස්සර ප්‍රේක්ෂකයෝ චිත්‍රපටයක් රිලීස් වෙනකල් බලාගෙන ඉන්නේ. විජය අයියා ඉතාම ජනප්‍රිය නිසා එයාව බලන්න සිනමාශාලාව ළඟට සෑහෙන පිරිසක් ඇවිත් හිටියා. අපි තෙරපි තෙරපි සෙනඟ මැදින් සිනමාශාලාවට ගියේ. මම නේවාසිකාගාරවලනේ ඉගෙන ගන්න කාලේ හිටියේ. වාහනෙන් ඉස්කෝලෙටයි නේවාසිකාගාරයටයි ගිහින් හිටපු මට එච්චර සෙනඟ ගොඩක් දැක්කම පුදුම හිතුණා. හරිම සුන්දර අත්දැකීමක් ඒක. මටත් සමරු පොත්වල අස්සන් තියන්න පුළුවන් වුණා. ප්‍රේක්ෂකයෝ සාරි පොටෙන් පවා අදින්න ගත්තා. ඒ ලැබුණු අත්දැකීම පුදුම අත්දැකීමක් වුණා. ඒ සිදුවීම් මට සුන්දර මතකයන්.’
උසස් පෙළ සමත්ව ඇය කැලණිය විශ්වවිද්‍යාලයට එන්නට වරම් ලබන්නටද වාසනාවන්තියක් බවට පත්විණි. නමුත් ඒ කාලයේ පැවැති අර්බුදකාරී තත්ත්වයන් නිසා විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු පටන් ගැනීමට කල්ගත වී තිබිණි. ඒ කාලසීමාව ඇයට රංගනයේ තව තවත් ෙදාරගුළු හැරගන්නට හොඳ කාලසීමාවක් විය.
‘1977, 1978, 1979, වගේ කාලවල අලුත් අධ්‍යක්ෂවරු සිනමාවට අවතීර්ණ වුණා. ඔවුන් මම, සබීතා, වසන්ති වගේ නවක මුහුණු නිර්මාණවලට ගෙනාවා. මට මතකයි සරසවිය පුවත්පතේ නවක නිළියක් ලෙස මාවත් ඒ කාලේ හඳුන්වලා දුන්නා. ඉන් පස්සේ තනි තරුව, බිත්ති හතර, වජිරා, රිදී නිම්නය වැනි චිත්‍රපට රාශියකට මට සම්බන්ධ වෙන්න අවස්ථාව හිමිවුණා. මට අසීමිත රසික ආදරයක් ලැබෙන්න ගත්තේ 1981 වර්ෂයේදී චංචල රේඛා චිත්‍රපටය තිරගත වුණාට පස්සේ. ඒ ලැබුණු ප්‍රතිචාර මට හිතාගන්න බැහැ. චංචල රේඛා චිත්‍රපටය දින සියය පසුකර තිරගත වුණා. ඒ කාලේ 9.30 දර්ශනය නරඹලා 'දංචූටි අපි යනවෝ' කියලා තරුණයෝ කෑගහලලු සිනමා ශාලාවෙන් එළියට ගියේ. චංචල රේඛා චිත්‍රපටය තිරගත වුණාට පස්සේ කවුරුවත් මට නදීකා කියලා කතා කළේ නැහැ. රසික, රසිකාවියෝ පවා මට කතා කළේ 'දංචූටි' කියලා. මට මතකයි අම්මයි, මමයි ඒ කාලේ කොටුව මහා වීදියේ යද්දී පදික වේදිකාවේ පුංචි පුංචි කඩවල් දාගෙන හිටපු අය 'දංචූටි' කියලා මගේ නම කියනවා. මගේ අම්මට කතා කළේ 'දංචූටිගේ අම්මා' කියලා. දැන් වුණත් ගොඩක් අය මාව කාටහරි හඳුන්වලා දෙන්නේ 'දංචූටි' කියලා. ඒ තරම් ඒ චරිතයට බොහෝදෙනා ආදරය කළා. අපේ කාලේ හිටපු රසික රසිකාවියන්ගේ දරුවන්ට වුණත් එයාලා මාව දැක්කම හඳුන්වලා දෙන්නේ 'දංචූටි' කියලා.’
චංචල රේඛා චිත්‍රපටයෙන් අසීමිත රසික ආකර්ෂණයක හිමිකාරියක් වූ ඇය ඒ මතකයන් දිගහැරියේ ළෙන්ගතු හැඟීම් කැටිකරගත් සොඳුරු සිනහව මුවග රඳවා ගනිමිනි.
සිනමාවෙන් ජනප්‍රියව සිටි නිසාම ඇගේ රසික රසිකාවියන් ඇය ගැන තිබූ සියලු අදහස් ඒ යුගයේ හසුන්වල බහා එවන්නට අමතක කර නොතිබිණි.
‘ඒ කාලේ පියුම් මහත්මයා මට ලියුම් ගෙනත් දෙන්නේ වෙනම බෑග් එකක දාලා. චංචල රේඛා චිත්‍රපටය තිරගත වුණාම තමයි මේ විදිහට ලියුම් බෑග් පිටින් අපේ ගෙදරට ආවේ. මට මතකයි අනුරාධපුරයේ එක තරුණයෙක් මට ලිපියක් එවලා තිබ්බා. ඔහු ඒ වෙනකොට චංචල රේඛා චිත්‍රපටය විසි තුන් වතාවක් බලලා තිබ්බා. එයාට නංගිලා නෑ. එයා සිනමාශාලාවට ගිහින් මං දිහා බලාගෙන ඉඳලා එනවා කියලා ඔහු කියලා තිබ්බා.’
නදීකා ගුණසේකර සිය රසික රසිකාවියන් හා බැඳුණු මතක තවත් තවත් දිගහැරියේ මෙසේය.
‘මම එක සැරයක් ගම්පහ පැත්තේ උත්සවයකට ගියා. ඒ ගිය අවස්ථාවේ මට දැනුණා මගේ කොණ්ඩය ඇදෙනවා වගේ. බලනකොට එක තරුණියක් මගේ කෙස් ගහක් ගලවලා. මම ඇයි කියලා ඇහුවම ඇය කිව්වා. 'මාව මතක් වෙන්න ළඟ තියාගන්න කෙස් ගහ ගලවා ගත්තා' කියලා. සමහර වෙලාවට සමරු පොත් නැති වුණාම මම අත්වල, ඇඳුම්වල පවා අස්සන් තියලා තියෙනවා. සමහර වෙලාවට උත්සවවලට ගියාම රසිකයෝ මගේ වළලු පවා කඩාගෙන තියෙනවා මාව මතක් වෙන්න. මම ඒ අයට මගේ වළලු දීලත් තියෙනවා.’
ඒ යුගයේ ඇයගේ ආදරය ඉල්ලූ තරුණයන්ගේද අඩුවක් තිබුණේ නැත. විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවලට එකතු වන සමයෙහිදී නිළියක් විශ්වවිද්‍යාලයට එන බවට ආරංචිය ලැබී ඇය ගැන සොයා බැලූවන්ද විය. ඒ වන විට ඇගේ චිත්‍රපටයක් තිරගතවී නොතිබුණු නිසා ඇය නිළියක් බවට විශ්වවිද්‍යාල සිසුන් මුලදී හඳුනාගෙන නොතිබිණි.
'රැග් කරන කාල සීමාවේ කවුරුවත් මාව දන්නේ නැහැ. මම ඉතිං සාමාන්‍ය ළමයෙක් වගේම තමයි විශ්වවිද්‍යාලයට ගියේ. සමහර වෙලාවට ජේයෂ්ඨ ශිෂ්‍යයෝ මගේ යාළුවගෙන් අහනවා කෝ අර නිළිය’ කියලා. එතකොට මම ළඟ ඉන්නවා. ඒත් ඔවුන් මාව හඳුනන්නේ නැහැ. මොකද ඒ මගේ චිත්‍රපටයක් එතකොට රිලීස් වෙලා තිබුණේ නැති නිසා. පස්සේ නම් මාව ඔවුන් හඳුනා ගත්තා. සමහරු මම කළ චරිත අගය කළා. පාස් අවුට් වෙන දවසේ අපිව වතුරවලින් නාවනවා කියලා ආරංචි වුණු ගමන් මම කළේ විශ්වවිද්‍යාලයේ කැන්ටින් එකේ කුස්සියෙන් එළියට බැහැලා හොර පාරකින් එළියට ගිය එක. ඒ වගේ සුන්දර මතකයන් ගොඩක් තියෙනවා.’
තරුණියක් ලෙස සිනමාවේ දුටු ඒ සොඳුරු රංගන ශිල්පිනියට තරුණයන්ගේ ආදර ඇරයුම් ගලා එන්නට විය. ඒ මතකයන් ඇය සිහි කළේ මෙසේය.
ඒ කාලේ ගෙදරට මං ගැන අහලා යෝජනා ගොඩක් ආවා. පිටරටවල ඉඳන් ලංකාවට ආපු අය වගේම හොඳ රැකියා කළ තරුණයන්ගෙන් පවා විවාහ යෝජනා ආවා. විශ්වවිද්‍යාල කාලෙත් ආදර යෝජනා ආවා. ඒත් ඒ වෙනකොට මට පෙම්වතෙක් හිටියා. ආදර යෝජනා ගෙනාපු අය එක්ක මම තරහා වුණේ නැහැ. ඉස්සර රංගන ශිල්පිනියක් කිව්වම ළෙන්ගතුකමක් තිබ්බේ. ආදරය ඉල්ලගෙන ආපු කිසි කෙනෙක් ළඟ මාව රැඳෙව්වේ නැහැ. ජීවිතේ විවිධ හැල හැප්පීම් වුණා. මට රසික ආදරය කවදත් ගෞරවාන්විතව ලැබුණේ. මට රසිකයන්ගෙන් අවමන් විඳින්න වුණේ නැහැ. එක රසිකයෙක් හිටියා මට ආදරය ප්‍රකාශ කරලා එයාගේ හිතේ තියෙන දේ ලියලා සුමානෙකට සැරයක් ලිපියක් එවන. අවුරුදු ගාණක් යනකල් ඔහු ලියුම් එව්වා. ඒ වගේම මට මුහුණු පොතෙන් මිතුරෙක් මුණ ගැහුණා. අවුරුදු 16දී වගේ ඔහුගේ සිහිනය වෙලා තියෙන්නේ මම. තාමත් ඔහු විවාහ වෙලා නැහැ. සමහර අය තාමත් මට කතා කරලා ඒ කාලේ මගේ කොණ්ඩේ දිග, මගේ ගමන, මගේ ඇස් ගැන, රංගනය ගැන අගය කරනවා. අද මුහුණු පොතෙන් හරි මාත් එක්ක කතා කරන්න ලැබෙන එක ගැන ඔවුන් සතුටු වෙනවා.'
නදීකාගේ රංගනයට, ඒ සොඳුරු බවට ඇලුම් කළ රසික රසිකාවියන්ගේ නිමක් නොතිබිණි. ඇය එවන් අපූරු රසිකයන් ගැන තව තවත් මතක් කළාය.
'මට එක රසිකයෙක් හිටියා. ඔහු කළේ කොළඹ බස් නැවතුම්පළේ බස්වලට මගීන් නග්ගපු එක. ඔහු සුමානයකට සැරයක් මාව බලන්න එන එක පුරුද්දක් කරගෙන හිටියා. එතකොට මම හිටියේ රාජගිරියේ. අඹ, ඇපල්, වගේ පලතුරු අරගෙන තමයි ඔහු මාව බලන්න ආවේ. ඔහු මට කතා කරන්නෙත් ටිකක් සැර පරුෂ විදිහට. මගේ ෆොටෝ එකක් කැතයි නම් ඒකත් මුහුණටම කියනවා. ඒ කාලේ පිටකොටුවේ පේමන්ට් එකේ අපේ ඡායාරූප රුපියල් පහට විතර විකුණනවා. දවසක් මේ රසිකයා පේමන්ට් එකේ වෙළෙන්දන්ට කියලා මගේ ඡායාරූප පේමන්ට් එකේ විකුණන්න එපා කියලා.
තව දවසක් 'හිමි අහිමි' චිත්‍රපටයේ රූගත කිරීම් ඉදිගොල්ලේ කරද්දී ඒ චිත්‍රපටයේ තිබ්බා මම බැඳලා ඉන්න හාමු මහත්තයාගේ කලින් යාළුවෙලා හිටපු තරුණියගේ අයියා මට බනින දර්ශනයක්. ඒ දර්ශනය කරද්දී එක පාරටම කැමරාව ඉස්සරහට කෑගහගෙන තරුණයෙක් පැන්නා. බැලින්නම් ඒ අර තරුණයා. මට බනිනවට කැමැති නැති නිසා තමයි ඔහු මැද්දට පැනලා තිබ්බේ. මං ගැන පුදුම ළෙන්ගතු හැඟීමක් ඔහු තුළ තිබ්බේ. දැන් ඔහු කොහේ ඉන්නවාද දන්නේ නැහැ. මේ ලිපිය හරි බලලා ඔහු කතා කළොත් මට සතුටුයි.’ ඇය තමන්ට ළෙන්ගතු වුණු ඒ සොඳුරු රසිකයා ගැන මතක් කළේ එලෙසිනි.
'ඒ වගේම මට ආදරය කළ රසිකාවියක් හිටියා කුසුම් කියලා. ඇය කාලයක් පඩිවත් නොගෙන මං ළඟ ඇවිත් වැඩ කළා. ශ්‍රියානි අක්කා නිසා තමයි මම ඇයව හඳුනා ගත්තේ. මගේ ගෙදර සියලු දේ බලා ගත්තේ ඇය. සියලු දේ කරලත් ඇය මාව රූගත කිරීම්වලට තනියම යැව්වේ නැහැ. රෑ 12ට මාත් එක්ක ගෙදර ඇවිත් පහුවදා පාන්දරත් ඇය මාත් එක්ක රූගත කිරීම්වලට යන්න එනවා. සමහර වෙලාවට මං මහන්සි වෙලා ගෙදර ආවම මගේ යාළුවන්ටවත් මාව බලන්න එන්න ඇය ඉඩ දෙන්නේ නැහැ. කුසුම් මට කතා කළේ බබා කියලා. ඇයට නිදාගන්න කාමරයක් තිබ්බට ඇය නිදාගත්තේ මගේ කාමරයේ ඇඳ ළඟ මෙට්ටයක් දාගෙන. ඇය මට නින්ද යනකල් මගේ කකුල් අත ගානවා. මාත් එක්ක තරහා වුණාම නොකා ඉන්නවා. මම ‘ප්ලීස් කන්න කුසුම්’ කිව්වම තමයි ඇය කෑම කෑවෙත්. මට දුව ලැබුණට පස්සෙත් දුව බලා ගත්තේ ඇය. මගේ දුවට සිංහල ළමා ගීත කියලා දුන්නෙත් කුසුම්ම තමයි.'
රසිකයන් නිසා නදීකාට විවිධ අකරතැබ්බවලට මුහුණ දෙන්නටද සිදුවී තිබිණි. ඇය එවන් රසිකයන් ගැන පවා කිසිදු තරහක් හිතේ තබාගෙන නොතිබුණු සොඳුරු සිතැත්තියකි.
'එක රසිකයෙක් මාව බලන්න අපේ ගෙදර ආව ගියා. දවසක් මම බාත්රූම් එකට යනකල් ඉඳලා ඔහු මගේ කාමරයේ තිබ්බ ඔරලෝසුවක් අරගෙන ගිහින්. මම ඉතිං මාව බලන්න එන රසික, රසිකාවියන්ට තේ එහෙම දීලා යවන්නේ. මම එහෙ මෙහෙ වෙනකල් ඉඳලා ඔහු මගේ බඩු ආපු ආපු සැරේට අරගෙන ගිහින්. මම ඉතින් ජුවලරි පවා එහෙ මෙහෙ ගලවලා තියනවානේ. ඔහුව සොරකමට අල්ල ගත්තම කලින් කළ සොරකම් ගැනත් ඔහු පොලිසියට කියලා තිබ්බා. මම ඉතිං ඒ මනුස්සයට දඬුවම් කළේ නැහැ. පොලිසියට කිව්වා බඩුත් නැති එකේ ඔහුව අතහරින්න කියලා. ඒ වගේ අකරතැබ්බවලටත් ඉතිං මම මුහුණ දුන්නා.'
නදීකා ගුණසේකර රංගන ශිල්පිනියක් සේම සිනමා නිර්මාණ රැසක ඇඳුම් නිර්මාණයටද එකතු විය. පෙම් රජ දහන චිත්‍රපටයේ තරුණියන් හත්දෙනාට ඇඳුම් නිර්මාණය කළේ ඇයයි. ඇඳුම් මැසීමේ කටයුතු ඇය තවමත් කරගෙන යන්නේ ඇය එය ආසාවෙන් කරන්නක් නිසාය.
ඇය දැන් සිනමාවේ නිහඬ චරිතයකි. නමුත් ඇය බොහෝ දෙනා අමතක කර නොමැත්තේ ඇය තැබූ මතක නිසාය. විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා, ටෝනි රණසිංහ, සනත් ගුණතිලක, ජීවන් කුමාරතුංග, ශෂී විජේන්ද්‍ර වැනි ඇයට පෙර සහ පසු පරම්පරාවල දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පීන් සමඟ ඇයගේ රංගනයද හරි අපූරුවට ගැළපුණි.
'හැමදාම රඟපාන්න ඕනේ කියලා මම හිතන්නේ නැහැ. අපි ආත්ම තෘප්තිය තියෙන දේවල් කළ යුතුයි. තෘප්තිමත් නැති දෙයක් මට කරන්න බැහැ. මම කරපු දේවල් එක්ක තාමත් ප්‍රේක්ෂකයන්ට මාව මතකයි. ඔවුන් මට ආදරය කරනවා. තවමත් ගෞරව කරනවා. එදා ලැබුණු ගෞරවය මම හෙට දවසේ නැති කරගන්න කැමති නැහැ.'
ඇය තෘප්තිමත් වන දෙයක් කළ නිසාම ඇයට මතකයේ රැඳුණු චරිතයක් වන්නට හැකි විය. චන්න පෙරේරා අධ්‍යක්ෂණය කළ යුගාත්‍රා සිනමා නිර්මාණයෙන් ඇය නුදුරු කාලසීමාවක මුණ ගැසෙනු ඇත. ඒ දංචූටි ලෙස නොව වයස හැත්තෑ පහක පමණ මානසික පීඩනයට ලක් වූ "ඉවෝන්" ගේ චරිතයෙනි. එදා ඇයට ආදරය කළ රසික රසිකාවියන් හෙටටත් ආදරය කරන චරිත තුළින් ඇය ඉඳහිට හෝ මුණ ගැසෙනු ඇත.
තිළිණි කෞශල්‍යා විජේසිංහ
මව්බිම