දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අද පෙනීසිටියේ නැහැ.
ඔහු එම කොමිසමට ලිඛිතව දැනුම්දී තිබුණේ අභියාචනාධිකරණයේ විභාග වෙමින් පවතින නඩු කටයුත්තක් හේතුවෙන් තමන්ට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටිය නොහැකි බවයි.
එම නිසා ඒ සඳහා ඉදිරි දිනයක් ලබාදෙන ලෙසද හිටපු නාවික හමුදාපතිවරයා ඉල්ලා තිබෙනවා. හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් මීට පෙර එම කොමිසම හමුවේ පෙනී සිටිමින් සඳහන් කළේ පසුගිය රජය විසින් ජිනීවා හිදී එකඟ වූ කරුණුවලට අනුව ජාත්‍යන්තරයට පෙනී සිටීම සඳහා ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් පැවති බවයි.
පසුගිය රජය යම් ආකාරයකින් යුද අපරාධ සිදුකළ බවට එකඟවීම හේතුවෙන් මෙලෙස ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් පැවති බවද ඔහු සඳහන් කළා.
මේ අතර තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන අතුරුදන් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ඇතුලු පිරිසට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුව විභාගයට ගැනීම වලක්වාලමින් අභියාචනාධිකරණය පසුගිය 25 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
ඒ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබාදෙමින්.
පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් බලපැවත්වෙන පරිදි අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කෙරුණා.