උපන් දිනේට මොනවාද කරන්නේ කියල තවම නම් කිසිම දෙයක් හිතල නැහැ.අනිවාර්යෙන්ම ගෙදර අයනම් මොනව හරි ප්ලෑන් කරල ඇති. මට සර්ප්‍රයිස් පාටියක් වගේ දෙන්න.
ඒ කියන්නේ ඉස්සරත් ඔයාව සප්‍රයිස් කරනවා.
ඔව්. උපන් දිනේට මොනවම හරි සංවිධානය කරනවා.
උපන් දිනේ වෙනුවෙන් සාදයක් සංවිධානය කරන්න ඔබට හිතිලම නැද්ද?
තාත්තා මට කියලා තියෙන්නේ මගේ අම්මා ජීවිතයෙ විඳපු ලොකුම වේදනාව වින්දෙ මාව උපද්දන්න කියලයි. ඒ නිසා මම මගේ උපන් දිනය සමරන්නෙ අම්මා එක්ක. ඒකට සාද පවත්වන්නෙ නැහැ. හැබැයි මම මීට අවුරුදු තුනකට කලින් අම්මාගෙ උපන් දිනේට සර්ප්‍රයිස් පාටියක් දුන්නා. ඒ කාලෙ අම්මගෙ යාලුවො නෑදෑයො ඔක්කොම එකතු කරලා. එදා අම්මා පුදුම තරමේ සතුටකින් ඒ උපන් දිනය සැමරුවේ. මගේ උපන් දිනේ සමරනවට වඩා වැඩි සතුටක් මම එදා භුක්වි වින්දා.
එතකොට තාත්තගෙ උපන්දිනේ?
ඒ දවසත් මට වැදගත්. ඒ දවස තමයි නොවැම්බර් 27. එදාට රන්වල බළකායෙ ලොකු ෂෝ එකක් පවත්වනවාමයි. මම ඒ වැඩේ පටන් ගත්තෙ 1999දී අහසෙ ඉන්නවලු කියන තාත්තගෙ කැසට් එක ජනගත කරමින්. එදා ඉඳලා හැම අවුරුද්දෙම නොවැම්බර් 27 වැනිදාට රන් සලකුණ, වේදිකාව මත තියනවමයි.
අපිට පුංචි කාලෙටත් යන්න වෙනවා. කොහොමද ඒ කාලෙ උපන්දින මතක?
හාවෙක්ගෙ හැඩේට හදපු කේක් ගෙඩියක් උඩ ඉටිපන්දම් හතරක් පත්තු කරල තිබ්බා මතකයි. අම්මා මගෙ අතට පුංචි පිහියක් දීලා කිව්වා, ඉටිපන්දම් නිවලා කේක් ගෙඩිය කපන්න කියලා.
හාවාගෙ බෙල්ල කපන්න බෑ කියලා ඇඬුවේ නැද්ද?
කේක් සුවඳ දැනෙනකොට හාවා අමතක වුණා.
එදා තෑගිත් ලැබෙන්න ඇති?
නැහැ. තෑගි ලැබුණු මතකයක් නම් නැහැ.
ඉස්කොලෙ කාලෙ?
මම පොඩි කාලෙ ගියේ අශෝක් කණිටු විදුහලට. ඒ කාලෙ නම් උපන් දිනේ දාට පංතියෙ යාලුවන්ට කැවිලි ගෙනිහින් දෙනවා. යාලුවො එකතු වෙලා හැපි බර්ත්ඩේ සිංදුව කියලා සුබ පතනවා.
ඉස්ඉස්සෙල්ලාම ගෑනු ළමයෙක් උපන් දින තෑග්ගක් දුන්නාම ඒක සදාකාලික මතකයක් වෙනවලු නේද?
එතකොට මම ඒලෙවල් පංතියෙ. මෙලනි මට දුන්නෙ ලස්සන ඔරලෝසුවක්.
ෂුවර් එකටම ඒ කාලෙ ඔබ එනතුරු මෙලනි රස්තියාදු වෙනවා ඇති පාරේ. ඔබට වෙලාවට වැඩ කරන්නයි ඔරලෝසුව දෙන්න ඇත්තෙ?
ඒකනම් අහන්න ඕනෑ එයාගෙන්ම තමා.
මෙලනි කිව්වෙ එදා ඔබේ පෙම්වතිය.
එදා පෙම්වතිය. අද බිරිඳ.
එහෙනම් දැන්නම් හොඳ හොඳ තෑගි දෙනවා ඇති.
ඇත්තම කිව්වොත් මට තියෙන්නෙ ජන ගී විතරයි. ඇඳුම් පැළඳුම් ගැන වෙනත් අවශ්‍ය දේවල් ගැන මගේ උනන්දුවක් නැහැ. ඉතින් මට ඕනෑ මොනවද කියලා හොයල බලලා මෙලනි තමා මට තෑගි ගෙනත් දෙන්නෙ. ඇඳුම් පැළඳුම්, දුරකථන වගේ, සපත්තු සෙරෙප්පු විවිධ දේවල්.
උපන් දිනය දවසට මොනවද කල්පනාවට එන්නෙ?
ඇත්තම කිව්වොත් උපන් දිනයක් කියන්නේ ජීවිත පොතේ අලුත් පිටුවක්. ඒ නිසා මම පුරුද්දක් විදිහට මගෙ උපන් දිනේට කිසියම් ඉලක්කයක් හදා ගන්නවා.
මම විශ්වවිද්‍යාලෙ අන්තිම අවුරුද්දෙ විභාගෙට ඉන්න කාලෙ නීති විද්‍යාලෙ පළමු විභාගයත් ලියන්න සූදානම් වෙලා හිටියෙ. ඒත් හදිස්සියෙම මගෙ තාත්තා මියගියා. ඒත් එක්කම මට නීති විද්‍යාලෙ විභාගය මගඇරුණා. ඔහොම අවුරුදු හතරක් ගෙවිල ගියා. එක උපන් දිනයක් දවසක මම ටාගට් එකක් හදාගත්තා. ඊළඟ උපන් දිනේට කලින් ආපහු නීති විද්‍යාලෙට ගිහින් කොහොම හරි විභාගෙට ලියනවා, අහවල් උපන් දිනයට කලින් නීතිඥයෙක් විදිහට දිවුරුම් දෙනවා කියලා. ඒ සිද්ධියෙන් පස්සේ හැම උපන් දිනේකම මම ටාගට් එකක් හදා ගන්නවා.
දැන් ටාගට් එකටමයි වැඩ එහෙනම්?
නැතුව බැහැනෙ.
අලුත්ම ටාගට් එක මොකක්ද අහන්න තාම කල් වැඩියි මං හිතන්නෙ?
වැඩියි... වැඩියි... ඒක තීරණය වෙන්නෙ උපන් දිනේ දවසට.
ශාන්ත කුමාර විතාන
ලංකාදීප