පැය විසිහතරක් කිලෝමීටර් 18ක දුරක් මුහුදු රළ සමඟ පොර බදා ගොඩබිමට පැමිණීමට හලාවත, මැදවත්ත ග්‍රාමයේ ධීවරයන් දෙදෙනකුට පෙරේදා (27දා) පෙරවරුවේ හැකිවිණි. මෙහි ඇති විශේෂත්වය වන්නේ එක් ධීවරයකු පිහිනීමට පවා නොදැන සිටීමයි. හලාවත මෝයෙන් පසුගිය 26 වැනි දින අලුයම දෙකට පමණ මුහුදු ගිය ධීවරයන් සිවුදෙනකු සමඟ එක්දින ධීවර යාත්‍රා දෙකක් මෙලෙස අනතුරට ලක්ව තිබූ අතර ඔවුන් සොයා හලාවත, මැදවත්ත ග්‍රාමයේ ධීවරයන් පසුගිය 26 වැනි දින මුහුදේ මෙහෙයුම් ක්‍රියාත්මක කළත් ඔවුන්ටද සොයා ගැනීමට හැකි වූයේ ධීවරයන් දෙදෙනකු පමණි.
ඒ වන විටත් ඔවුන්ද පැය අටක් පමණ මුහුදු රළ සමඟ පොර බදමින් සිට තිබේ. මේ ධීවරයන් බේරා ගත්තත් ධීවර යාත්‍රාව ගොඩ ගෙන ඒමට නොහැකිව තිබූ අතර එය එදින (27දා) පෙරවරුවේ කල්පිටිය, දළුව වෙරළට ගොඩගසා තිබිණි.
පැය විසිහතරකට වැඩි කාලයක් මුහුදු රළ සමඟ පොර බදා හෙම්බත්ව සිටි ධීවරයන්, ගොඩබිමට පැමිණි වහා හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් විසින් පියවර ගෙන තිබිණි. හලාවත රෝහලට යන අතරතුර දිවි ගලවා ගත් සාගර ප්‍රනාන්දු ධීවරයා මෙසේ පැවැසීය.
“පාන්දර දෙකට තමයි අපි මුහුදු ගියේ. අපි යන කොට මුහුද සැර නැහැ. පාන්දර පහට විතර ටිකක් සැර වුණා. ඒත් අපි හිතුවේ නැහැ විශාල රැලි ගහයි කියලා. උදේ හතට විතර අපි දැල් අකුළන්න පටන් ගත්තා. ඒ එක්කම තමයි ලොකු රළක් ඇවිල්ලා අපේ බෝට්ටුව උඩින් දැම්මේ. අපි දෙන්නා මුහුදට වැටුණා. හොඳ වෙලාවට අපි දැල්වල පැටලුණේ නැහැ. ටික වෙලාවක් දැල අල්ලගෙන හිටියා. පස්සේ ගයාන් අයියා කිව්වා අපි මෙහෙම ඉන්න එකේ තේරුමක් නැහැ කියලා. මේ පැත්තට ධීවරයෙක් එන්නේ නැහැ කියලා. ඒ නිසා අපි බෝට්ටුව අතඅරින්න තීරණය කළා. අපිට ඉතිරි වෙලා තිබුණේ ප්ලාස්ටික් බූලියක් හා එක ජැකට් එකක් විතරයි. මට පීනන්න බැරි නිසා ජැකට් එක ගයාන් අයියා මට දුන්නා. පස්සේ බූලිය අල්ලාගෙන දෙන්නම ගොඩබිමට එන්න පටන් ගත්තා. ඒක තිබුණේ නැත්නම් අපිට ගොඩබිමට එන්න ලැබෙන්නේ නැහැ. කොහොම හරි පැය විසිහතරකට වඩා අපි දෙන්නා මුහුදත් එක්ක පොර බැදුවා. මේ වෙලාවේ අපිට ඉතිරි වෙලා තිබුණේ දෙයියන්ට කියන එක විතරයි.”
මෙහිදී අදහස් දැක්වූ ගයාන් ප්‍රනාන්දු මහතා: “මේ සිදුවීම වුණ ගමන් මම හිතා ගත්තා කොහොම හරි දිවි බේරා ගන්නවා කියලා. මට හිතුණා අපිව බේරගන්න කවුරුත් එන එකක් නැහැ කියලා. ඒ අතර මට මතක් වුණේ මගේ ගෙදර. ඒ නිසා එකම අධිෂ්ඨානයෙන් ගොඩබිමට ආවා.”
මෙම ධීවරයන් සොයාගැනීම සඳහා ධීවර දෙපාර්තමේන්තුව හා නාවික හමුදාව විශාල වෙහෙසක් දැරූ බව ප්‍රදේශවාසීහු පැවැසූහ. හලාවත නගර සභාවේ හිටපු උප සභාපති සුසන්ත ප්‍රනාන්දු මහතා කියා සිටියේ, මේ සිදුවීම පිළිබඳ දැනුම් දුන් වහාම රජය අවශ්‍ය පියවර ගත් බවයි.
හලාවත මහ රෝහලට ඇතුළත් කළ ධීවරයන් දෙදෙනා ඊයේ (28දා) පෙරවරුවේත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර යාත්‍රාව එතෙක් හමුවී නොතිබිණි.