ලොව පුරා කොරෝනා අසාදිත සංඛ්‍යාව එක්කෝටි දෙලක්ෂ 38,199 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන් එක්ලක්ෂ 63,084 දෙනෙකු වාර්තාවීමත් සමඟයි.
මුළු කොරෝනා මරණ සංඛ්‍යාවද මේ වනවිට පන්ලක්ෂ 4,078ක් ලෙස දැක්වෙන අතර, ඉන් තුනෙන් දෙකක්ම මරණ සිදුව ඇත්තේ ඇමරිකාවේ සහ යුරෝපා රටවල බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
ඇමරිකාවේ දිනක් තුළ වැඩිම ආසාදිත සංඛ්‍යාව වන 40,502 ක් ගතවූ පැය 24 තුළ වාර්තාවීමත් සමඟ එරට මුළු ආසාදිත සංඛ්‍යාව විසිහය ලක්ෂ 37,039 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දිනකට රෝගීන් 5,000ක් රෝහල් ගතකරන අතර, මුඛ ආවරණ පැළඳීම ප්‍රාන්ත රජය විසින් අනිවාර්ය කර ඇති බව සඳහන්.
එමෙන්ම චීනයේ දෙවන කොරෝනා රැල්ලේ වැඩිම අවදානමක් ඇති බීජිං අගනුවර ඊයේ පස්වරුව වනවිට පී.සී.ආර්. සාම්පල මිලියන 8.29 කගෙන් ලබාගෙන ඇති අතර, ඉන් මිලියන 7.69 කගේ පරීක්ෂාවන් සිදුකර අවසන් බව බීජිං නාගරික කමිටුව ප්‍රකාශ කළා.
විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් කියා සිටියේ පරීක්ෂණ සිදුකිරීමේ අවශ්‍යතාව ඇති සියලුදෙනාගේ පී.සී.ආර්. පරික්ෂාවන් දැනටමත් සිදුකර ඇති බවයි.
මේ අතර කොරෝනා වෛරසයේ බලපෑම හමුවේ ගුවන් ගමන් අඩාලවීම හේතුවෙන් බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ රැකියා 12,000ක් කප්පාදු කිරීමට යෝජනා කර තිබෙනවා.
ඒ අනුව ගුවන් නියමුවන් 350 දෙනෙකු රැකියාවෙන් ඉවත් කිරීමට සැළසුම් කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.