කොරෝනා නිසා ගෙදරට කොටුවුණු රොහානී වීරසිංහගේ දවස ගෙවුනේ කොහොමද ?
ඇත්තටම වෙනදා පුරුදු විදිහට කරගෙන ගියා. හැබැයි වැඩ කරන කාලේ ගෙදරත් එක්ක ගැටෙන්න තියෙන කාලය අඩුයිනේ. දැන් මේ කොරෝනා වෛරසයත් එක්ක අපි ඇත්තටම ගෙවල්වලට කොටුවුණා කිව්වොත් හරි. ඒ නිසා ගෙදර වැඩ ඇස් දෙක ඇරගෙන කරන්න පුළුවන් වුණා. එව්වර කාලයක් ගෙදරට වෙලා හිටපු එක ලොකු අත්දැකීමක්. අපේ අතින් කොච්චර දේවල් මගහැරිලා තියෙනවද ? කියලා මට හිතුනා. ගෙදර අලංකාරයත් වැඩිවුණා. පැළවලටත් සාත්තුවක් ලැබුනා. ගෙදර ඉන්න සුරතල් සතුන්ටත් ලොකු සැලකිල්ලක් යොමුකෙරුවා. ඒත් එක්ක මට හිතෙනවා සද්ද බද්ධත් අඩුයි. මම ඉන්නෙත් මේන් රෝඩ් එක අයිනෙ වගේනේ. එහෙම ඉන්නකොට වාහන සද්දෙත් නැතුව ඉන්න එකත් ලොකු නිස්කලන්ක බවත් දැනුනා. ඉතින් භාවනාවක් වගේ තමයි ගෙදරට වෙලා හිටියේ.
කොරෝනා වෛරසය මේ වන විට ලෝකයක්ම වෙලාගෙන අවසන්. මේ අත්දැකීම කොහොමද ඔබට දැනුනේ?
කොරෝනා වෛරසය ඉක්මනින්ම අපේ රටෙන් තුරන් වෙලා යන්න කියලා පාර්ථනා කරනවා. අපේ ජීවිතේ අපි මුහුණ දුන්නු ලොකූ අත්දැකීමක් මේ වගේ දේකට මුහුණ දුන්නු එක. කාලෙකට ඉස්සෙල්ලා මෙහෙම ආවා කියලා අහලා තිබ්බට. අපි කවදාවත් ඒ වගේ දෙයක් අත්දැකීමෙන් ලබලා තිබුනේ නැහැ. මේ වගේ දේවල් ඇත්තටම ලොකේට ඇතිවෙනවා කියන එක අපේ ජීවිත කාලෙදි අත්දැකීමක් ලබාගත්තා. ආයෙත් මේ වගේ අපේ ජීවිත කාලෙදි හෝ ඉදිරියේදී හෝ වේවා කවදාවත් මේ වගේ දෙයක් අහන්නවත් දකින්නවත් නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජීවිතේ එක අතකින් කොවිඩ් 19න් එක නිසා අපේ ජීවිතේ හුඟක් වෙනස් වුණා කියලා හිතෙනවා. මොකද සමාජ මාධ්‍යයේ එක එක දේවල් දකිනකොට හිතෙනවා මේ පරිසරය හුඟක් පිරිසිදු වෙලා ,එහෙම අත්දැකීමකුත් තියෙනවා. ඉතිං අපි ස්වභාවදර්මයට යටවුණා. මෙච්චර කල මිනිස්සු විසින් යටකරගෙන හිටපු සොබාදහම අපිව යටකරගත්තා කියන එක ඇත්තටම අපි අත්දැකීමෙන් දැක්කා. එතනදි ජීවිතේ අවංකව ලස්සනට ජීවත් වුණු මිනිස්සු අදත් ජීවත් වෙනවා. ඒවා දැකලා තවත් ජීවත් වෙන්න වාසනාව යම්කිසි පිරිසකට උරුම වුණා. අපිත් වාසනාවන්තයි කියලා හිතෙනවා. තාමත් කොරෝනා වෛරසය දුරුවෙලා නැහැ. මෑතකදීත් මාධ්‍යයෙන් අහන්න ලැබුණා කොරෝනා මරණයක් ගැන ඉතා ඉක්මනින් කොවිඩ් 19 කියන නම අපිට ඇහෙන්න නොලැබේවා කියලත් මේ ලෝකෙන් ඉක්මනටම තුරන් වෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා. රංගන ශිල්පිණියක් විදිහට වැඩ නැති වුනා කියලා ලොකු හානියක් වුනේ නැහැ. අපි හැමදාම මොනමහරි දේකට මුහුණ දෙන්නනේ බලාගෙන ඉන්නේ අපි හැමදාම අනාගතය ගැන හිතලා ප්ලෑන් එකකට තමයි ජීවත් වෙන්නේ ඒක නිසා ලොකු ගැටළුවලට මුහුණ දෙන්න සිදුවුනේ නැහැ. හොඳට කාලා බීලා ජීවිතේ ගතකෙරුවා.
අදත් අපි ලංකාවෙම විතරයි කොහෙටවත් යන්න බැහැ. අපි අපේ රටට ආදරය කරන්න ඉගෙනගත්තා. ලංකාවේ ඉන්න හැමෝමටම වගේ මේ රටේ නායකත්වය ඇතුළු හැමෝටම අපේ රටින් පිටට යන්න බැරිවුණා. ඉතිං එතනදි තමන්ට කවදහරි ඉතුරුවෙන්නේ මව්රට විතරයි කියන එක හුඟක් දැනුනා. පිටරටවල ජීවත් වුනු අපේ ශ්‍රී ලාංකිකයෝ මුහුන දුන්න අමිහිරි අත්දැකීම එක්ක. එයාලා ඒ රටේ කොච්චර හිටියත් ඒ රටේ කෙනෙක් විදිහට ඒ මිනිස්සු පිළිගත්තේ නැහැ. ඒක නිසා අපේ අයට ලොකු දුෂ්කරතා සිදුවුණා. මගේ රට මගේ පවුල අපේ මිනිස්සු කියන එක හදවතේ ලැඟුම්ගත්තා කොවිඩ් 19න් එකත් එක්ක.
ඔබ හිතන විදිහට 2020 කියන්නේ රංගන ශිල්පීන්ට අපළ කාලයක්ද ?
ඇත්තටම ඔව්. අපළ කාලයක් කිව්වොත් ඇත්තටම හරි වැඩ සේරම නැතිවෙලා ආදායම් මාර්ග ඇනහිටියා ඉතිං එතනදි ගොඩක් දුෂ්කරතාවලට මුහුණ දුන්න පිරිසකුත් හිටියා. යම් යම් කලා සංවිධාන විසින් උදව් කළා. මගේ අත්දැකීම නම් එකම එක උදව්වක් විතරයි මට හම්බවුණේ. මට කවුරු ආධාර දුන්නත් නොදුන්නත් මට ඒක ලොකු ප්‍රශ්ණයක් වුණේ නැහැ. අපි ආධාර පස්සෙන් ගියෙත් නැහැ. එහෙම කියලා දොස් නැගුවෙත් නැහැ. මම නිදහස් කලා සංසදයේ සාමාජිකාවක් එයින් කලාකාරුවන් වෙනුවෙන් දෙයක් දුන්නා. මම හිතන්නේ මුළු ලංකාවටම ඒක බෙදාහැරියා. එය පමණයි මම ගත්තේ කලාකාරිණියක් වශයෙන්. ඊට පසුව වෙන කවුරුත් ඇහුවෙත් නැහැ බැලුවෙත් නැහැ දැක්කෙත් නැහැ ඒක නෝ ප්රබ්ලම්. මමනම් කියන්නේ අපි ඕනම දේකට ලෑස්තිවෙලා ඉන්න ඕනේ. ඒක නිසා වැඩ නැතිවුණා කියලා ප්‍රශ්ණයක් වුනේ නැහැ. වෙනදා විදිහට මගේ සාමාන්‍ය ජීවිතේ ගතකළා. මම විදිහට හැමෝමත් නැහැ එහෙම නැතිඅයත් ඉන්නවා. බොහෝ කලාකරුවන් අසරණ වුණා. ඉතිං ඒ අය ගැන මම ඇත්තටම දුක්වෙනවා. මේ දේ වුණේ අවුරුදු කාලෙනේ සංගීත සංදර්ශන තියන අයටත් ප්‍රශ්ණ වුවා. ගිය පාර බ්ලාස්ට එකවුණා මේ පාර කොරෝනා නිසා මේ දේ වුණා. ගොඩක් අය මේ නිසා අසරණ වෙන්න ඇති. ඒ නිසා ඒක කලාකරුවන්ට අපළ කාලයක් කිව්වොත් හරි.
කොරෝනා මඩින්න සෞඛ්‍ය අංශ, රජය ගෙනයන වැඩ පිළිවෙල ගැන රංගන ශිල්පිණියක් විදිහට මොකද හිතන්නේ?
ඇත්තටම හරිම විශිෂ්ඨයි. මුල් කාලයේ අපි එයාලා කියනදේ අහගෙන හැමදාම නිව්ස් බලලා එයාලා අපිට මොනවද කියන්නේ ඒ විදිහට මුහුණු ආවරණය කරගෙන, මීටරේ දුර තියාගෙන , එකිනෙකා එක්ක කතාකරගෙන , ගෙදරට කාවවත් ගන්නේ නැතුව. එහෙම ආවත් ගේට්ටුව ඉස්රහදිම කතාකරලා යවලා , ඒ හැම දෙයක්ම දෙන උපදෙස් A ටු Z ඇත්තටම අපි පිළිගත්තා. ඒගොල්ලො පුදුම මහන්සියක් ගත්තේ මිනිස්සුන්ව මේකෙන් ආරක්ෂා කරන්න. එතුමන්ලට අපි හිසනමා ආචාර කරන්න ඕනේ.
රංගන ශිල්පිණියක් විදිහට රොහානිව දැන් නිතර නිතර දකින්න ලැබෙන්නේ නැහැ , රංගනයට තිත තියලද?
මෙහෙමයි. ඇත්තටම මාව දකින්න නැත්තේ ඇයි කියන එක ගොඩක් අය අහනවා. ඇයි නිර්මාණයක දකින්න නැත්තේ , නිෂ්පාදකවරියක් වෙලත් ඇයි නිර්මාණ කරන්නේ නැත්තේ කියලත් අහනවා. ඇත්තටම මට හොඳ නිර්මාණයකට සම්බන්ධ වෙන්න බැරිවුණා. සමහර වෙලාවට මගේ වයසත් එක්ක මට ලැබෙන චරිත එක්කෙනෙක් දෙන්නෙක් විසින් ඩැහැගෙන එයාලම කරන ස්වරූපයක් දකින්න තියෙනවා. මගේ එකක් තියෙනවා මම චරිත ඉල්ලගෙන යන්නේ නැහැ. මට ලැබුනොත් මම කරනවා. තව මේකේ ඇතුලේ ගැටුම් තියෙනවා. කැපිලි කෙටිලි තියෙනවා. කලා ක්ෂේත්රය කියන්නේ මම ගොඩක් අමිහිරි අත්දැකීම් ලබපු කෙනෙක්. ඒවත් එක්ක බලනකොට මම හිතන්නේ ඒවා නොලැබෙන්න යම්කිසි බලවේගත් ඇති කියලා හිතනවා. ඉතිං මම පැමිණෙන හැමදෙයක්ම මිහිරි දෙයක් කියලා හිතලා ජීවිතේ ගලාගෙන යන්න දෙනවා. ඉදිරියටත් මගේ නිර්මාණයක් කරන්න හිතේ තියෙනවා. ඒක තමයි මගේ බලාපොරොත්තුව.
සමාජ මාධ්‍ය නිසා ඔබට කරදර එහෙම ඇවිත් තියෙනවද?
ඇත්තටම මාධ්‍ය කියන එක අපිට අවශ්‍යයි. කලාකරුවෙකුට විශේෂයෙන්ම. මාධ්‍ය නැතුව ඇත්තටම අපිට ඉස්සරහට යන්න බැහැ. හැබැයි මාධ්‍ය කිව්වට හැමෝම මාධ්‍ය නෙමෙයි. එයාලා ඇත්ත අය නෙමෙයි. හුඟක් අය නැති දේ ඇති විදිහට ලෝකයට ඉස්මතුකරලා ඒකට කතාවක් හදලා යම්කිසි තෘප්තියක් එයාලා ගන්නවා. අපිත් දැනගන්න ඕනේ නිර්මාණයකට සම්බන්ධවෙනකොට හොඳට බලලා කරන්න. නැත්තම් ඒවා අනිත් පැත්තට යනවා. ඒ වෙලාවට කවුරුත් නැහැ අපි තනියම මුහුන දෙන්න ඕනේ. ඒ හින්දා මම හුඟක් පරිස්සමෙන් තමයි මේ දේවල් තෝරගන්නේ. පහුගිය අවුරුදු කිහිපයේ මට ඩීවීඩී එකක් සම්බන්ධ කරලා ඒ වගේ කරදරයක් ආවා. හැබැයි දැන් මම කවදාවත් ඒ වගේ දේකට සම්බන්ද වුණේ නැහැ. ඒකත් මේ කෙනෙක්ගේ දුක්ගැනවිල්ල්ක් නිවන්න ගිහින් වෙච්ච දෙයක්. නිහඬ බව තමයි හොඳම එක කියලා මමනම් හිතන්නේ.
රොහානි වීරසිංහගේ පවුල ගැන විස්තර කළොත්?
මට දුවෙක් ඉන්නවා පුතෙක් ඉන්නවා. මම මැරි කරලා හිටියේ විදෙස් ජාතිකයෙක්. ඔහු දැන් ජීවතුන් අතර නැහැ. විවාහ ජීවිතය ගැන මම කවදාවත් මීඩියාවල කතාකරලත් නැහැ මොකද එයා පිටරට කෙනෙක් නිසා. මගේ මහත්තයා ඇමරිකාවේ හිටියේ. මමත් හුඟක් වෙලාවට ලංකාවේ හිටියේ නැහැ පිටරට හිටියේ. මගේ දුවයි පුතයි දැන් ලොකුයි. හුඟක් අයට ප්‍රශ්ණයක් වෙලා තිබුණා මට මහත්තයෙක් නැහැ , ලයිෆ් එකක නැහැ , කසාදයක් නැහැ , මෙයා මොනවද කරන්නේ කියලා. ඒකයි මම අද මේක කියන්නේ. ඉතිං මගේ දුව ඉන්නේ ඕස්ට්‍රේලියාවේ එයා එහෙ උසස් අධ්‍යාපයන කරලා එහේ පදිංචි වෙලා ඉන්නවා. 2023 වෙනකම් මටත් වීසා තියෙනවා ඕනම වෙලාවක මට එහෙ යන්න පුළුවන්.
රොහානි වීරසිංහ අනාගතය ගැන කොහොමද දකින්නේ?
අනාගතය ගැන මගේ ලොකු දේවල් නැහැ. මගේ අනාගතය කියන්නේ දරුවන්ගේ අනාගතය ගැන බලලා වැඩකරන එක. හස්බන්ඩ් නැති වුණා දැන් අවුරුදු 2 හමාරකට ඉස්සෙල්ලා. ඒ නිසා දරුවො මොනවද කරන්නේ කියලා තමයි මම බලාගෙන ඉන්නේ. කොහොමහරි එයාලා ඉගෙනීමෙන් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. මගේ අනාගතය එයාලා දිහා බලන එක. කාටවත් කරදරයක් නැතුව ජීවත්වෙලා ජීවිතේ විඳවන්නේ නැතුව මිය යන්න තමයි බලාපොරොත්තුව.
රංගන ශිල්පිනියක් විදිහට කලා ජීවිතය ගැන ඔබ දකින්නේ මොනවගේද?
ඒ කාලේ වගේම මේ කාලෙත් හොඳ නිර්මාණය බිහිවෙනවා. හොඳ දක්ෂයෝ ඉන්නවා අපේ තරුණ පරපුර අතර. ඒ අතරෙම මුදල් පස්සෙම යන අයත් ඒ අතරම ඉන්නවා. ඇගයීමකට ලක්වෙන්නේ ඉතාම සුළු පිරිසක්. වෙලාවකට හිතෙනවා ඇයි මම කලාව තෝරගත්තේ කියලා. මම ලොකු සේවයක් කලාවට කරලා තියෙනවා. හොඳ නිර්මාණ මම නිෂ්පාදනය කරලා තියෙනවා. කිසිම සුරක්ෂිත භාවයක් නැහැ කලාව කරන අයට. ඒ අත්දැකීම මට හොඳටම තියෙනවා. මම ඇත්තටම දුක්වෙනවා කලාකරුවෙකු වීම ගැන. සමහර අයට ඒක හොඳ වෙන්න ඇති. බහුතරයකට ඇගයීමක් එන්නේ නැහැ. කොහොම වුණත් උන්නත් එකයි මලත් එකයි කියන තැන තමයි මම දැන් ඉන්නේ.