ඒ අදාළ නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි විභාගයට ගත් අවස්ථාවේදී.
වෛද්‍ය සාෆි ෂාබ්දීන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිටු 41කින් යුත් වාර්තාවක් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා වෙත ඉදිරිපත් කළා.
එම වාර්තාවට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෛද්‍යවරුන්, හෙදියන් පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඇතුළු විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන්කරගෙන තිබෙනවා.
එහිදී ඇතැම් ප්‍රකාශවලින් කියවී ඇත්තේ සාෆි ෂහබ්දීන් වෛද්‍යවරයා සිංහල මව්වරුන් සඳහා සිදුකළ සැත්කම්වලින් පසු මැහුම් දැමීමේදී එක් ස්ථරයක් පමණක් යොදාගෙන ඇති අතර මුස්ලිම් මව්වරුන් සඳහා ස්ථර දෙකක් යොදාගෙන ඇති බවයි.
එසේම ඔහු සිසේරියන් සැත්කමෙන් පසු ගෝස් කැබලි යොදාගනිමින් ඉතා තදින් ගර්භාෂ බිත්තිය පිරිමැද ඇතිබව ඇතැම් සාක්ෂිවලින් ප්‍රකාශවී තිබෙනවා.
තවදුරටත් හෙළිවී ඇත්තේ මුස්ලිම් මව්වරුන්ට ලැබෙන දරුවන් වෛද්‍යවරයා දෑතට ගෙන කිසියම් ආගමික ප්‍රකාශයක් සිදුකර ඇති බවයි.
එසේම සාෆි වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් සිදුකිරීමේදී ඉතා කඩිසරව සිදුකරන බවත් සැත්කම් සිදුකිරීමේදී කාර්ය මණ්ඩලය විවිධ ස්ථානවලට යොමුකරන බවත් අදාළ සාක්ෂිවලින් වැඩිදුරටත් ප්‍රකාශ වී තිබෙනවා.
මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් වී සිටි නීතිඥවරුන් එල්.ආර්.ටී. සැත්කමක් සම්බන්ධව කුලියාපිටිය මූලික රෝහලෙන් සිදුකරන ලද වෛද්‍ය පරීක්ෂණවල විශ්වසනීයත්වය පිළිබඳ ගැටලුවක් පවතින බව අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාද කුරුණෑගල හෝ කුලියාපිටිය ශික්ෂණ රෝහල්වලින් බැහැරව සුදුසු රෝහලක අදාළ වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීම පිළිබඳ විරුද්ධත්වයක් නොමැති බව ප්‍රකාශකර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාව සහ පැමිණිල්ලේ නීතිඥවරුන්ගේ ඉල්ලීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ස්වාධීන පරීක්ෂණයක් සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ කණ්ඩායමක් මේ සඳහා යොදාගන්නා බව නිවේදනය කළ අතර නඩු විභාගය අගෝස්තු මස 26වන දිනට කල් තැබුවා.
මේ අතර ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුවට අදාළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අවසන් බව නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා.
අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී සුදුවෑන් රියදුරෙකු හා සහායකයෙකු ලෙස පෙනී සිටිමින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔවුන් වෙනුවෙන් කිසිඳු නීතිඥවරයෙකුද පැමිණ සිටියේ නැහැ.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අය පමණක් අද අධිකරණය හමුවේ පෙනී සිටියා.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළේ සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන සැකකරුවන් වෙනත් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගතකර ඇති බව දැනගන්නට ඇති බවයි.
එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කළ අතර නඩුව සැප්තැම්බර් 25දක්වා කල් තැබුණා.