"බෙහෙත විදින්න ගෙනත් දෙසැරයක්ම ආපසු ගෙන ගොස් නැවත පසුව බේත විද්දා"
"වෛද්‍යවරයෙක් පැමිණ බලලා අක්කගෙ කකුල ඔපරේෂන් කළා..."
"17 වන දින දැඩි සත්තාර ඒකකයට අක්ක ඇතුළත් කළා. 20 වැනිදා අක්කා මියගියා..."
නයෙක් දෂ්ට කිරීමෙන් කඹුරුපිටිය මූලික රෝහලට ඇතුළත් කර නිසි ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් මියගිය තිදරු මවගේ මරණය සම්බන්ධයෙන්, ස්වාමිපුරුෂයා විසින් කඹුරුපිටිය පොලිසියට 24 වැනිදා පස්වරුවෙහි පැමිණිල්ලක් කර තිබෙනවා.
මුලටියන, කැටපලකන්ද ගෙපලගෙදර පදිංචි ජයවර්ධන පේමදාස (57) නමැති අය ඉදිරිපත් කර ඇති පැමිණිල්ලෙන් කියා ඇත්තේ පසුගිය 15 වැනි දින සවස නයා දෂ්ට කිරීමෙන් පසු තම බිරිය වන පත්මා රාජපක්ෂ මහත්මිය ආදපාන රෝහලට ගෙනගියත් ප්‍රතිකාර ප්‍රමාද වී ලබාදීමෙන් රෝගියා මරණයට පත්වූ බවට විශ්වාස කරන බවයි.
මාතර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිතුමා මරණය කපා කරන ලද පරීක්ෂණයේදී මේ ගැන සටහනක් මරණ පරීක්ෂණ වාර්තාවේ සටහන් කරන බව කියා පොලිසියට මේ ගැන පැමිණිලි කරන ලෙස කිව් නිසා පැමිණිල්ල ඉදිරිපත් කරන බවත් ඔහු පැවසුවා.
සිද්ධිය පිළිබඳව තොරතුරු සොයා කැටපලකන්ද නිවෙසට ගිය අවස්ථාවේ මරණයට පත් අයගේ නැඟණිය වන අනුලා රාජපක්ෂ (52) මහත්මිය අප සමඟ මෙසේ පැවැසුවා.
"මම 16 වැනිදා ලෙඩා බලන්න රෝහලට ගොස් සාත්තුවට නැවතුණා. 16 වැනිදා සවස තමයි අක්කට ප්‍රතිවිෂ බෙහෙත විද්දේ. එතකම්ම රෝහලේ වෛද්‍යවරු කෑවෙ නයෙක්ම කියලා කොහොමද දන්නේ කියලා ප්‍රශ්න කර කර සිටියා. නයා කාපු විෂට වැඩිය විසයි විදින බේත. ඒක නිසා නයා කෑවම මතුවන රෝග ලක්ෂණ පෙන්නන්න ඕන බෙහෙත විදින්න කියලා කිව්වා. පස්සෙ බෙහෙත විදින්න ගෙනත් දෙසැරයක්ම ආපසු ගෙන ගොස් නැවත පසුව බේත විද්දා. බේත විද්දට පසුව කකුලේ ඉදිමුම වැඩි වුණා. වෛද්‍යවරයෙක් පැමිණ බලලා අක්කගෙ කකුල ඔපරේෂන් කළා. 17 වන දින දැඩි සත්තාර ඒකකයට අක්ක ඇතුළත් කළා. 20 වැනිදා අක්කා මියගියා..."
ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ගැන කඹුරුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ පැමිණිලිකරුගේ නිවෙසේ සත් දවසේ පුණ්‍ය කටයුතුවලින් පසුව අදාළ අය කැඳවා විමර්ශනයක් කිරීමට කටයුතු කරගෙන යන බවත්, විමර්ශනයක් නොකර කිසිවක් පැවැසිය නොහැකි බවත්ය.