රෝග ලක්ෂණ පෙන්නුම් කරලා නැහැ...
අමෙරිකාවේ විරෝධතා අඛණ්ඩව...
පොලිස් නිලධාරියෙකුගේ අමානුෂික ක්‍රියාවකින් මියගිය ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ්, කොවිඩ් -19 ආසාදිතයෙකු බව තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
මරණ පරීක්ෂණය සිදු කිරීමේදී මෙය අනාවරණය කරගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තා කියා සිටියේ.
ෆ්ලොයිඩ් හට අප්‍රේල් මස 03 වනදා පමණ කොරෝනා ආසාදනය වන්නට ඇති බවට ද වෛද්‍යවරුන් පවසනවා.
කෙසේ වෙතත් ඔහුට රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ බව ද සදහන්.
ෆ්ලොයිඩ් මිය ගොස් ඇත්තේ, හෘදයාබාධයකින් බවයි වෛද්‍යවරුන් අවධාරණය කර ඇත්තේ.
අමෙරිකාවේ මිනෙසෝටාහී දී 45 හැවිරිදි ජෝර්ජ් ෆ්ලොයිඩ් පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කරනු ලැබුවේ පසුගිය 25 වනදායි.
මෙම කළු ජාතිකයා නිරායුධව පොලිස් භාරයට පත්වන ආකාරය ආරක්ෂක කැමරා වල මෙලෙස සටහන්ව තිබූ අතර ජංගම දුරකතනයක සටහන් වූ දර්ශනයක දැක්වුණේ එක් නිලධාරියෙකු පාදයෙන් ෆ්ලොයිඩ් ගේ ගෙළ සිරකරගෙන සිටින ආකාරයයි.
මෙම සිද්ධියත් සමඟ යුක්තිය ඉල්ලා මිනෙසෝටා වලින් ඇරඹි විරෝධතා අමෙරිකාව පුරා හිස ඔසවනු ලැබුවා.
අයි කාන්ට් බ්‍රීත් හෙවත් මට හුස්ම ගැනීමට අපහසුයි යනුවෙන් ජෝර්ජ් ෆ්ලොයිඩ් අවසන් වරට කළ ආයාචනය විරෝධතාකරුවන්ගේ ප්‍රධාන සටන් පාඨයක් වී තිබෙනවා.
මේ අතර ධවල මන්දිරය ඉදිරිපිට ද අඛණ්ඩව විරෝධතා වල නිරත පිරිස් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කිරීමේදී උණුසුම් තත්ත්වයක් හටගත්තා.
කෙසේ වෙතත් හූස්ටන් ඇතුළු ප්‍රාන්ත රැසක පොලිස් නිලධාරීන් ද විරෝධතාවලට සහයදීමට එක්ව සිටිනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය තුළ කළු ජාතිකයන්ට අකටයුතුකම් රැසක් සිදුවන බවට චෝදනා එල්ල වන්නේ සුළු ජන වර්ගවලට එරෙහිව ජනාධිපතිවරයා සිදුකරන ප්‍රකාශ ද පදනම් කර ගනිමින්.
ඒ අනුව, මේ වනවිට අමෙරිකාවේ ගොඩනැගෙන විරෝධතා ජෝර්ජ් ෆ්ලොයිඩ් හට සාධාරණයක් අපේක්ෂා කිරීම මෙන්ම ජනපති ට්‍රම්ප් විරෝධයක් බවට ද පත්ව තිබෙනවා.