Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
01
"ලාදුරු වැලඳුණු අයකුට සදාකාලිකවම තම ජීවිතය ගත කිරීමට සිදුවූයේ හුදකලාවයි.." - ලන්දේසි කාලේ ලාදුරු භීතිය

- "ලාදුරු වැලඳුණු අයකුට සදාකාලිකවම තම ජීවිතය ගත කිරීමට සිදුවූයේ හුදකලාවයි.." - ලන්දේසි කාලේ ලාදුරු භීතියHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,954 Views
ලෝක ඉතිහාසය පුරා සිදු වූ මානව සංක්‍රමණ නිසා විවිධ ආාකරයේ වසංගත රෝග ලෝකය පුරාම ව්‍යාප්ත විය. එය වර්තමානයේ මාරාන්තික කොරෝනා රෝගය හා සමානව ම අතීතයේ දී ද සිදුව තිබේ. ලාදුරු රෝගය ද ඒ අතර ප්‍රධාන වෙයි.

ලෝකය පුරාම රටවල ඉතා දිගු කාලයක් තිස්සේ පැතිර පැවති ලාදුරු රෝගය අතීතයේ මෙරට දී හඳුන්වා ඇත්තේ කුෂ්ඨ රෝගයක් ලෙසිනි. වැලිගම කුෂ්ඨරාජගල නිර්මාණය කර ඇත්තේ ලාදුරු රෝගයකින් පෙළුණු රජ කෙනකු විසින් යැයි ද මතයක් පවතී.
පෘතුගීසීන් විසින් මේ රෝගය ලගාරෝ ලෙස හඳුන්වා ඇති අතර එය ඉංග්‍රීසි භාෂාවේ දී ලෙපර් වී ලාදුරු නමින් සිංහල ව්‍යවහාරයට එක්ව ඇතැයි විශ්වාසයක් පවතී.

බැක්ටීරියා මගින් රෝග බෝවන බව ලෝකයේ මුලින්ම සනාථ කරගන්නා ලද්දේ ලාදුරුවලට හේතුවන මයිකොබැක්ටීරියම් ලෙප්රේ යන බැක්ටිරියාව සොයා ගැනීමත් සමගිනි. මේ සොයාගැනීම සිදුකර ඇත්තේ ජෙහාර්ඩ් ආර්මුවර් හැන්සන් (1841-1912) නමැති නෝර්වීජියානු වෛද්‍යවරයා විසින් 1873 වර්ෂයේ දී ය.

මේ බැක්ටීරියාව කෙනෙකුගෙන් තවත් කෙනෙකුගේ ශරීරයට ඇතුළු වී රෝගය ඇතිකරන බවත් එමගින් පර්යන්ත ස්නායුපද්ධතියට, සම, ඇස්, නාසහ හා මාංශපේෂින්වලට හානිකරන බවත් අස්ථි පවා තුනී බවට පමුණුවන බවත් ඔහු විසින් ප්‍රථමවරට අනාවරණය කරන ලදී. මේ රෝගය මුල්වරට විද්‍යාත්මකව ලෝකයට අනාවරණය කළ හැන්ස් හේතුවෙන් ලාදුරු “හැන්ස් ගේ රෝගය”‍ ලෙස ද හඳුන්වයි.

ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රන්තයේ උදයිපූර් ප්‍රදේශය ආසන්නයේ බලතාල් ප්‍රදේශයෙන් වර්ෂ 1997 දී අදින් වසර 2000කට වඩා පැරැණි ලාදුරු සෑදුණු මානවයකුගේ ඇට සැකිල්ලක් හමුවී තිබේ. එය මෙතෙක් ලෝකයේ හමුවූ පැරණිතම මානව රෝගියා පිළිබඳ සාක්ෂියයි. මේ ඇට සැකිල්ල පිළිබඳ කරන ලද පර්‌‌යේෂණ අනුව තහවුරු වී ඇත්තේ ඒ මානවයා ක්‍රිස්තු පූර්ව 2500-2000ත් අතර කාලයේ දී භූමදාන කර ඇති බවයි. ඒ වයස අවුරුදු 37ක පිරිමියකු බව ද නිගමනය කර ඇත. මොහුගේ හිස්කබලේ, නාස් කුහරයේ, කම්මුල්වල මෙන්ම පර්ශු, කශේරුකා හා පාදවල ලාදුරු හේතුවෙන් ඇතිවන අස්ථි තුනී වී යාම් දක්නට තිබිණි.

මේ මිනිසා ජීවත් වූ කාලයේ දී ඉන්දියාවේ මේ ප්‍රදේශ ඉතා ජනාකීර්ණ හා නාගරීකරණය වූ පෙදෙසක් වී තිබූ බව ද පුරාවිද්‍යාඥයන් විසින් තහවුරු කරගෙන තිබේ. එමෙන්ම වෙළෙඳාම ද ඉතා පුළුල්ව පැතිරී තිබී ඇත. මෙ‍සපොතේමියාව හා ඊජිප්තුව වැන ප්‍රදේශ සමග දැඩි සම්බන්ධතා මේ අවධියේ දී පැවතිණි. මේ තත්ත්වයන් හේතුවෙන් එකළ ලාදුරු රෝගය ව්‍යාප්ත වන්නට ඇත.

කෙසේ වෙතත් ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත් අස්ථි අවශේෂ ඊජිප්තුවෙන් හා ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසට අයත් අස්ථි අවශේෂ නැමීබියාවෙන් ද හමුවී ඇත. මෙම රෝගයේ ආරම්භ සිදුව ඇත්තේ මැද පෙරදිග ප්‍රදේශයෙන් හෝ නැගෙනහිර අප්‍රිකාවෙන් බව 2005 දී සිදුකරන ලද ජානමය පරීක්ෂාවකින් පෙන්වා දෙයි.

ඒ අනුව ලෝකය පුරා ලාදුරු ව්‍යාප්තවීම පිළිබඳ මත දෙකකි. එක් මතයක් වන්නේ ඉන්දියාවෙන් ආරම්භ වී ක්‍රිස්තු පූර්ව හතර වැනි සියවසේ දී පමණ යුරෝපයට පැමිණෙන්නට ඇති බවයි. මේ ගැන ඇති එක් අදහසක් වන්නේ මහා ඇලෙක්සැන්ඩර් රජු ඉන්දියාව ආක්‍රමණයට පැමිණ ආපසු යන විට ශීඝ්‍ර​යෙන් මේ රෝගය සිය රටවලට රැගෙන ගිය බවයි. ඉන් පසු රෝගය ග්‍රීසියේ සිට මධ්‍යධරණී ප්‍රදේශය පුර පැතිර ගිය බවත් රෝම ජාතිකයන් විසින් රෝගය බටහිර ‍යුරෝපය දක්වා ව්‍යාප්ත කරන්නට ඇති බවත් විශ්වාස කරයි. යුරෝපයේ ලාදුරු රෝගය බරපතළ ගැටලු‍වක් වූයේ මධ්‍යකාලීන යුගයේ දී ය. ඉන්දියාවේ සිට අනෙකුත් ආසියානු රටවලට ද රෝගය පැතිරෙන්නට ඇත.

අනෙක් මතය වන්නේ ලාදුරු නැගෙනහිර අප්‍රිකාවේ හෝ මැද පෙරදිග ආරම්භ වී නූතන මානවයන් අප්‍රිකාවේ සිට ලෝකය පුරා ව්‍යාප්ත වෙද්දීම ලාදුරු රෝගය සමග සිය ව්‍යාප්තිය සිදුකර ඇති බවයි.

ලාදුරු රෝගය පිළිබඳ පැරණිතම ඓතිහාසික මූලාශ්‍රය හමුවන්නේ ඊජිප්තුවෙනි. එබර්ස් නමැති පැපිරස් ලේඛනයේ මේ පිළිබඳ සඳහන්ව ඇති අතර, එය ලියැවී ඇත්තේ ක්‍රිස්තු පූර්ව 1550 ට පෙර දී ය. එසේ වුව ද භාරතයේ වෛදික යුගයේ ලියැවූ අර්ථවේදයේ පළමු කෘතියේ ද මෙවැනිම රෝගයක් පිළිබඳ විස්තර සඳහන් වේ. එය ලියැවුණු වර්ෂය සඳහන්ව නැතත් බොහෝ දෙනකුගේ පිළිගැනීම එය ඊජිප්තු ලේඛනයටත් වඩා අතීතයට දිවයන බවයි. එනම් ක්‍රිස්තු පූර්ව 2000 දී ලියූවක් බවයි. එමෙන්ම බයිබලයේ පැරණි හා නව තෙස්තමේන්තුවේ ද ලාදුරු රෝගය ගැන සඳහන්ව ඇත.

ඉතා ඈත අතීතයේ ඉන්දියාවේ ලාදුරු රෝගය පැවැති බැවින් ශ්‍රී ලංකාවේ ජනාවාස කරගත් ඉන්දියානු සංක්‍රමණික ජනතාව සමග ලාදුරු රෝගය මේ රටේ මුල්බැස ගැනීම පුදුමයක් වූයේ නැත. එබැවින් මෙරට ජනාවාස වූ මුල් යුගය තරම්ම ඉතිහාසයක් ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගයටත් පවතී.

ලෝකය පුරා ජනතාව භීතියට පත් කළ රෝගයක් වූ ලාදුරු සඳහා පිළියම් තිබුණ ද අතීතයේ මේ රෝගය සුව කළ නොහැකි රෝගයක් ලෙස සලකා තිබූ බැවින් ලාදුරු වැලඳුණු අයකුට සදාකාලිකවම තම ජීවිතය ගත කිරීමට සිදුවූයේ හුදකලා වීමෙනි. මේ හේතුවෙන් මධ්‍යතන යුගයේ දී යුරොපයේ ලාදුරු රෝගීන් රඳවා තැබීම සඳහා වෙන වෙන ම රෝහල් හා ආයතන පවා පිහිටුවා තිබිණි.

ලාදුරු රෝගය පිළිබඳ අතීත රාජධානි යුගයන් හි සටහන් හමුනොවන අතර යුරෝපීයයන් විසින් තැබූ වැදගත්ම හා පැරණිතම සටහනක් හමුවන්නේ 1706-1708 කාලයේ දී ය. ඒ සටහන තබා ඇත්තේ මෙරට සිටි ප්‍රධාන මෙඩිකල් ඔෆිසර්වරයා විසිනි. ඔහු පවසන්නේ එවකට ලාදුරු රෝගීන් විශාල පිරිසක් කොළඹ නගරයේ දක්නට ලැබුණු බවයි. මේ රෝගය දුප්පතුන් අතර බො‍හෝ සෙයින් පැතිර තිබූ බව ද විදේශිකයන්ට වඩා දේශිකයන් අතර රෝගය තිබූ බව ද ඔහු පවසයි. නමුත් දේශීය කාන්තාවන් විවාහ කරගත් විදේශීකයන්ට දාව උපදින දරුවන් අතර ලාදුරු රෝගය දක්නට ලැබීම විශේෂත්වයක් බවත් ඔහු සිය වාර්තාවල සඳහන් කර තිබිණි.

ඔහුගේ වාර්තාවල වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කොළඹ පොදු මාර්ගයන්හි ලාදුරු රෝගීන් ඇවිද යන අවස්ථා නිරීක්ෂණය වූ බැවින් එසේ ඇවිදීම තහනම් කරමින් නීති පවා පැනවීමට සිදුව ඇති බවයි. එමෙන් ම මහජනතාව සමග හැසිරීමත්, ඔවුන් තම ජීවනෝපාය ලෙස විවිධ ආහාර ද්‍රව්‍ය අළෙවි කිරීම තහනම් කිරීමට කටයුතු කර බවත් ඔහු සටහන් කර ඇත. මෙහි වැදගත්ම කරුණ වන්නේ ලාදුරු තවදුරටත් සමාජයේ පැතිරීම වැළැක්වීම සඳහා හැඳල ප්‍රදේශයේ ලාදුරු රෝගීන් සඳහා බටහිර ක්‍රමය අනුව යමින් රෝහලක් තැනීමට ඕලන්ද පාලන අධිකාරිය තීරණන කළ බව සඳහන් කර තිබීමයි.

මහාවංශයේ දැක්වෙන්නේ දෙවැනි විමලධර්මසූරිය රජතුමා රාජ්‍ය කරන කාලයේ කොළඹ ලන්දේසි ආණ්ඩුකාරවරු කිහිප දෙනකුම සිටි බවයි. ඒ අතරින් ලෝරැන්ස් වැන්පීල්, තෝමස් වැන් රී, පෞලස් ද රූ, ගැරිට් ද හීර් සහ කොර්නේලියස් සීමන්ස් යන අයගේ පාලන කාලයේ දී ලන්දේසි ප්‍රදේශවල ලාදුරු රෝගය විශාල වශයෙන් පැතිර ගිය බවයි. මෙයින් කොර්නේලියස් සීමන්ස් ආණ්ඩුකාරවරයාගේ කාලයේ ලාදුරු රෝගීන් සඳහා හැඳල රෝහල ගොඩනැගූ බව ද මහාවංශයේ දක්වා ඇත.

බ්‍රිතාන්‍යයන් මෙරට පාලනය කළ මුල් කාලයේ ස්ලේව් අයිලන්ඩ් හෙවත් වර්තමාන කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ වහල් ජනතාව සඳහා වෙනම රෝහලක් පවත්වාගෙන ගිය බවත් ඉංග්‍රීසීන්ගේ කාලයේ දී ද ලාදුරු රෝගීන්ට නීති පනවා තිබුණු බැවින් බොහෝ දෙනකු රෝගීන් නිවෙස්වලම රඳවාගෙන සිටි බවත් කිංසි නමැති නිලධාරියකු විස්තර සටහනක් තබා ඇත.

කෙසේ වෙතත් ලන්දේසි පාලන කාලයේ දී හැඳල රෝහල ඉදිකිරීම සම්බන්ධනේ ද අපූරු කතාවක් තිබේ. මේ ව්‍යාපෘතිය සඳහා අනුමත කරන ලද මුදලට වඩා දෙගුණයක් මුදල් වියදම් කර තිබූ බැවින් සීමන්ස් ආණ්ඩුකාරවරයාට සිය පාලන කාලයේ දී රෝහලේ ඉදිකිරීම් අවසන් කරගැනීමට හැකියාවක් ලැබී නැත. ඉන් පසු මෙරට ලන්දේසි ආණ්ඩුකාරවරයා වූ හෙන්රික් බෙකර්ගේ මෙහෙයවීමෙන් හැඳල රෝහලේ ඉදිකිරීම් අවසන් කර තිබේ. ‍

රෝහල් ව්‍යාපෘතිය සඳහා අනුමත මුදල මෙන් දෙගුණයක් මුදල් වියදම් කළ ද, ඔවුන් රෝහල ඉදිකිරීම ආරම්භ කර ඇත්තේ අනුමත සැලැස්ම මෙන් අටගුණයක් විශාල වන පරිදිය. මේ නිසා අවසානයේ ඉදිකරමින් තිබූ ඇතැම් කොටස් කඩා දමා නඩත්තු වියදම් අඩුකර වැඩ අවසන් කර තිබිණි. ඉතිහාසයේ සඳහන් වන්නේ රෝහලේ ඉදිකිරීම් අවසන් වූ වර්ෂය 1708 ලෙසිනි. නමුත් වෛද්‍ය ලේඛන අනුව මේ රෝහල 1706 සිට රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම් ආරම්භ කර තිබේ.

මෙහි තවත් විශේෂත්වයක් තිබේ. බෙකර් නමැති ආණ්ඩුකාරවරයාගේ දියණිය සොෆියා අන්තෝනි බෙකර් නමින් හඳුන්වා ඇත ඔවුන්ගේ ම ලේඛන අනුව පැහැදිලි වන්නේ මේ දියණිය ද ලාදුරු රෝගියකු බවයි. ඇය ලාදුරු රෝගයෙන් පෙළෙන බැවින් අන් අය වෙනුවෙන් මේ රෝහල ඉදිකිරීමට මුල් වී ක්‍රියාකළ බව ද සඳහන් වේ.

මේ රෝහල ඉදිකළ කාලයේ පටන් එහි සේවය කළ වෛද්‍යවරු ලාදුරු රෝගය සුව කළ හැකි ප්‍රතිකාර ක්‍රමයක් ගැන විවිධ අත්හදා බැලීම් සිදුකර තිබේ. නමුත් ඒ කිසිවක් සාර්ථක වූ බවට සඳහනක් නැත.

තම පාලන ප්‍රදේශයේ ලාදුරු රෝගියකු සිටින්නේ නම් ඔවුන් පිළිබඳ හැකි ඉක්මනින් තොරතුරු සපයන ලෙස 1706 මාර්තු 24 වැනි දා ලන්දේසි රජය නියෝගයක් නවා තිබේ. මේ නියෝගයට අනුව තොරතුරු ලැබෙන රෝගීන් හැඳල රෝහලට යවා තිබේ. එමෙන් ම මේ නියෝග නොතකමින් පාරේ හැසිරෙන සහ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ලාදුරු රෝගීන්ට ලන්දේසි නිලධාරීන් විසින් කස පහර දුන් බව ද සඳහන් වේ.

ලන්දේසීන් මේ ආකාරයෙන් රෝගය පැතිරීයාම වැළැක්වීමට විවිධ ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කළ ද රෝගය සම්පූර්ණයෙන් ම පාලනය නොවූ බව ඉංග්‍රීසීන් මෙරට අල්ලාගත් මුල් වර්ෂ කිහිපයේ දී ම පර්සිවෙල් නමැති පුද්ගලකු විසින් තැබූ සටහනකින් තහවුරු වෙයි.

1803 දී ඔහු පවසන්නේ මෙරට බස්නාහිර, දකුණු හා නැගෙනහිර පළාත් තුනේ ම මංමාවත්වල ලාදුරු රෝගීන් බහුලව දක්නට ලැබුණු බවයි. මේ රෝගීන් වෙන්ව තැබීමේ පියවරක් ලෙස ඉංග්‍රීසි පාලකයෝ කල්මුණේ රෝහලේ වෙනම ලාදුරු වාට්ටුවක් ඉදිකළ ඉතර ලාදුරු රෝගීන් වෙනකර වෙනත් අයට රෝගය පැතිරීම වැළැක්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කර තිබිණි.

ලාදුරු රෝගය පාලනය කිරීම සඳහා ගන්නා පියවරවල සාර්ථකත්වය සහ තවදුරටත් ගත යුතු පියවර පිළිබඳ අධ්‍යයනය කිරීමට 1889 දී දීප ව්‍යාප්තව එවැනි රෝගීන් පිළිබඳ සමීක්ෂණයක් කර තිබේ. ඒ සමීක්ෂණයට අනුව ඒ වනවිට රෝහල්වල රෝගීන් 506ක් රඳවා සිටි අතර ඊට අමතර රෝගීන් 208ක් වාර්තා වී තිබිණි.

1902 වර්ෂයේ දි මෙරට ලාදුරු රෝගීන් සමබන්ධයෙන් ආඥා පනතක් මුල්වරට ඉංග්‍රීසීන් විසින් හඳුන්වා දී තිබේ.

ලාදුරු රෝගය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවන රෝගයක් වුව ද එය ක්ෂණයකින් බෝවන්නේ නැත. ලාදුරු රෝගියකු දීර්ඝ කාලයක් ඇසුරු කිරීමෙන් ඔහුගේ සිරුරේ ජීවත්වන බැක්ටීරියාව නිරෝගී පුද්ගලයකුට ආසාදනය වීම සිදුවේ.

මේ සියලු‍ කරුණු සැලකිල්ලට ගනිමින් ලෝකයේ ප්‍රථම වතාවට ලාදුරු බෝවන රෝගයක් ලෙස නම් කර ඇත්තේ 1908 තරම් මෑත කාලයේ දීය. ඒ එංගලන්තයේ රාජකීය කායික වෛද්‍යවරු විසිනි. නමුත් මේ රෝගය බෝවන රෝගයක් බව ඊට වසර සිය ගණනකට පෙර සිටම අපේ රටේ ද අවබෝධ කරගෙන තිබූ බැවින් රෝගීන් වෙන්කර තැබීම නිරායාසයෙන් ම සිදුවූවකි.

ඉංග්‍රීසීන්ගේ පාලන කාලයේ දී ද මේ රෝගය පාලනය වන බවක් නොපෙනුණු බැවින් තවදුරටත් රෝගීන් රඳවා තබා ගැනීමේ අවශ්‍යමතාව තේරුම්ගත් බ්‍රිතාන්‍ය පාලකයෝ 1921 දී මෙරට දෙවැනි ලාදුරු රෝහල වූ මාන්තිව් රෝහල ඉදිකර තිබේ.

යුරෝපීය වෛද්‍ය ක්‍රමය අනුව දියුණු වූ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලාදුරු මැඩලීම සඳහා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරිණි. ලෝකයේ ලාදුරු සඳහා ප්‍රතිකාර ක්‍රම සොයා ගැනීමත් සමගම ලාදුරු රෝගයට බිය නොවිය යුතු බවත් ලාදුරු ‍සුව කළ හැකි බවත් සඳහන් කරමින් ලාදුරු මර්දන ව්‍යාපාරයක් මෙරට ද ක්‍රියාත්මක කර තිබේ. එය මැලේරියා මර්දන ව්‍යාපාරය තරමටම පුළුල්ව හා ගම් මට්ටම දක්වාම පැතිරුණු ව්‍යාපාරයක් විය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපකාර ලබා ගනිමින් ලාදුරු ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සඳහා මේ ව්‍යපාරය ක්‍රියාත්මක කෙරිණි. නමුත් 2000 වර්ෂයේ දී පමණ ලාදුරු මර්දන ව්‍යාපාරය මෙරට නවතා දැමුණු අතර එය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනිකුත් ව්‍යාපෘති හා ඒකාබද්ධව සිදුකරනු ලැබිණි.

තවමත් ශ්‍රී ලංකාවෙන් ලාදුරු තුරන් වී නැත මෙරටින් සාමාන්‍යයෙන් වසරකට ලාදුරු රෝගීන් 2000ට ආසන්න පිරිසක් වාර්තා වෙයි. ලෝකයේ ලාදුරු රෝගීන් 250,000ක් පමණ වසරකට වාර්තා වන අතර වැඩිම ප්‍රමාණයක් රෝගීන් තවමත් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ඒ සමස්ත රෝගීන්ගෙන් සියයට 60ක පමණ ප්‍රමාණයකි. ඉන් අනතුරුව වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන රටවල් බවට පත්ව ඇත්තේ ඉන්දුනීසියාව සහ බ්‍රසීලයයි.

2018 වර්ෂයේ සංඛ්‍යාලේඛන අනුව ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගීන් 1683ක් වාර්තා වී තිබේ. ඉන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර, එය සංඛ්‍යාත්මකව 691කි. ප්‍රතිශතයක් ලෙස සියයට 41කි. ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ලාදුරු රෝගීන්ගෙන් සියයට 10ක් අවුරුදු 15ට අඩු ළමුන් වීම ද මෙරට ලාදුරු මර්දන ව්‍යාපෘතියේ අවධානයට ලක්වූ කරුණකි. මෙට සියලු‍ම දිස්ත්‍රීක්කවලින් ලාදුරු රෝගීන් තවමත් වාර්තාවන අතර වැඩිම ප්‍රමාණයක් වාර්තාවන්නේ කොළඹිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කිසියම් රටක ජීවත්වන ජනාතාවගෙන් සියයට 80ක් ලාදුරු සාදන බැක්ටීරියාව මර්දනය කිරීමේ ප්‍රතිශක්තීකරණයෙන් යුක්ත බවයි. එබැවින් රෝගය බෝවීමේ සම්භාවිතාව ඇත්තේ සියයට 10-20ත් අතර ප්‍රමාණයකට බව එම සංවිධානය පෙන්වාදෙයි.

සම මතුපිට ළා පැහැති දුර්වර්ණ දැනීමක්‌ නැති ලප ඇතිවීම මේ රෝගයේ මූලික ලක්‌ෂණයයි. මෙවැනි ලප එකක්‌ හෝ ඊට වැඩි ප්‍රමාණයක්‌ හිසේ හැර ශරීරය පුරා තිබීමත් කන්පෙති හා ශරීරයේ සම ඝන වීමත් තවත් ලක්ෂණ කිහියකි. නොකඩවා හිරි වැටීම් සිදුවීම. ලප පහකට අඩු නම් ඒ බෝ නො වන වර්ගයේ ලාදුරුවල ලක්‌ෂණයකි. ලප 5ට වඩා වැඩි නම් බෝ වන වර්ගයේ ලාදුරුවල ලක්‌ෂණයකි. නිසි ප්‍රතිකාර නො ගැනීමෙන් පර්යන්ත ස්‌නායු පද්ධතියට රෝගය පැතිරීම නිසා ඇඟිලි වකුටු වීම, පාදයේ වළලු‍කරින් පහළ කොටස අප්‍රාණික වීම වැනි තත්ත්ව ඇති විය හැකියි. ප්‍රතිකාර ගැනීම වඩාත් ප්‍රමාද වුවොත් පාදයේ දැනීම නොමැති වීම හේතුවෙන් දියවැඩියා රෝගීන් ගේ පාදවල ඇති වන තුවාලවලට සමාන වූ තුවාල හටගනී. රෝගයේ මුල් අවස්‌ථාවේ දී ප්‍රතිකාර ගැනීමෙන් විකෘතිතා ඇති වීම වළක්‌වා ගන්නට හැකියාව ඇති බැවින් ලාදුරු රෝග ලක්ෂණ ඇත්නම් හැකි ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.

ලෝකයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කොතරම් දියුණු වී තිබුණ ද ලාදුරු රෝගය පැතිරෙන ආකාරය පිළිබඳ තවමත් නිසි වැටහීමක් නැත. මෙය ශ්වසන පද්ධතිය ඔස්සේ පැතිර යන බව තහවුරු කරගත්තේ ද මෑත කාලීනවය. ලාදුරු බෝකරන බැක්ටීරියාවේ බීජෞෂණ කාලය අවුරුදු පහක් පමණ වන බැවින් ලාදුරු රෝග ලක්ෂණ කෙනෙකු තුළ ඇතිවීට අවුරුද්දක සිට අවුරුදු 20ක් පමණ දීර්ඝ කාලයක් ගත වීමට ද පුළුවන.

මේ වනවිට ලාදුරු පාලනය කිරීමටත් නිට්ටාවට සුවකිරීමටත් හැකියාව ලැබී ඇත. නමුත් ගැටලු‍ව වන්නේ ප්‍රතිකාර දීර්ඝ කාලයක් ගැනීමට සිදුවීමයි. නමුත් බොහෝ දෙනකු දිගටම මේ ප්‍රතිකාර නොගන්නා බැවින් රෝගය බෝකරමින් නිරෝගී මිනිසුන් ලෙස සමාජයේ පෙනී සිටින රෝග වාහකයෝ විශාල පිරිසක් සිටිති. 1902 දී ලාදුරු රෝගීන් අනිවාර්යයෙන් ම වෙන්කර තැබිය යුතුයැයි ගෙන ආ නීතිය 1933 දී අනිවාර්ය යැයි යන්න වෙනස් කර තිබීම හේතුවෙන් ඔවුන්ට බලපෑමක් කිරීමේ හැකියාව ද ඇත්තේ අවම මට්ටමකය.

එබැවින් ලාදුරු රෝගීන් සාමාන්‍ය සමාජයේ ජීවත් වෙමින් ප්‍රතිකාර ලැබීම හේතුවෙන් රෝගය සමාජය තුළ දිගටම පවතින තත්ත්වයක් පෙනෙන්නට තිබේ. මේ වනවිට හැඳල රෝහලට හෝ මාන්තිව් රෝහලට ලාදුරු රෝගීන් ඇතුළත් කරන්නේ නැත. හැඳල රෝහලේ ඉතා දීර්ඝ කාලයකට පෙර ප්‍රතිකාර ගත් පිරිසක් පමණක් තවමත් එහි ප්‍රතිකාර ගනිති. මාන්තිව් රෝහලෙන් ප්‍රතිකාර ලබන රෝගීන් කිසිවෙකුත් නැත.

මිනිසුන් විරූපී බවට පත්කරන ලාදුරු රෝගය අද යම් තරමිකින් හෝ පාලනය කළ හැකි වුව ද අතීතයේ මේ රෝගය සමාජය කොතරම් භීතියට පත්කළේ ද යන්න පැහැදිලි වන්නේ ලෝකය පුරා ලාදුරු රෝගීන් වෙනුවෙන් ම ඉදිකළ රෝහල් සංඛ්‍යාව 18,000ක් බවට වාර්තා වී තිබීමෙනි.

නමුත් තවමත් අප ජීවත් වන්නේ ලාදුරු රෝගය ඇති සමාජයක අමතක නොකළ යුතුය.

සෞඛ්‍ය අමාත්‍යාශයේ හිටපු ප්‍රධාන ‍වසංගත රෝග විද්‍යාඥ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තීකරණය පිළිබඳ හිටපු කලාපීය උපදේශක, ජාතික විද්වත් සංවිධානයේ ප්‍රධාන ලේකම් වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සමඟ සාකච්ඡා කර සකස් කරන ලදී.


සජීව විජේවීර
ලංකාදීප





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top