අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ හැටන්, නෝර්වුඩ් තොණ්ඩමන් ක්‍රීඩාංගණයේදී සිදුකෙරුණා.
ඒ, රාජ්‍ය අනුග්‍රහය යටතේයි.
මෙරට කඳුරට දේශපාලනඉතිහාසයේ ප්‍රමුඛයෙකු වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ මුණුපුරෙකු වන ආරුමුගම් තොණ්ඩමන් මහතා උපත ලබන්නේ, 1964 වර්ෂයේ මැයි මස 29 වැනිදායි.
වසර 26 ක් වූ පාර්ලිමේන්තු නියෝජන කාලය තුළ අවස්ථා කිහිපයකදීම කැබිනට් අමාත්‍ය ධූර කිහිපයක්ම හෙබවූ තොණ්ඩමන් මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් නව රජය යටතේ ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරය හෙබවූවා.
පසුගිය 26 වැනිදා හෘදයාබාධයක් වැළඳී අභාවප්‍රාප්ත වනවිට ඔහු 56 වැනි වියේ පසුවුණා.
පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු පරිශ්‍රයේ තැන්පත් කර තිබූ දේහය සිකුරාදා ගුවන් මගින් නුවරඑළියට රැගෙන ආවා.
ඊයේ සහ අද නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා තිබුණද වතුකරයේ ප්‍රදේශ රැසක ජනතාව සිය නායකයාට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙලෙස එක්ව සිටියා.
දේහය තැන්පත් කර තිබූ හැටන්, කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් පදනම් කාර්යාලයට අද දිනයේත් මහා සංඝරත්නය, දේශපාලනඥයින්, මහජනතාව ඇතුළු විශාල පිරිසක් අද පෙරවරුවේ සිටම පැමිණ සිටියා.
අප වාර්තාකරු පැවසුවේ, අද දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් කොටගල, හැටන්, නෝර්වුඩ් යන ප්‍රදේශවල යුද හමුදාව, පොලීසිය මෙන්ම විශේෂ කාර්ය බලකායද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබූ බවයි.
අමාත්‍යවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්විමට පැමිණෙන ජනතාවට සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව ඒ සඳහා අවසර දීමටද ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණා.
අද පස්වරු 1 ට පමණ ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහය හැටන්, කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් පදනම් පදනම් කාර්යාලයේ සිට අවසන් කටයුතු සිදුකෙරෙන හැටන්, නෝර්වුඩ් ක්‍රීඩාංගණය වෙත රැගෙන යාම ආරම්භ කළේ, දේශපාලනඥයින්, මහජනතාව ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා නෝර්වුඩ් ක්‍රීඩාංගණය වෙත පැමිණියා.
අවමංගල්‍ය උත්සවයේ කටයුතු ආරම්භ වුණේ බෞද්ධ හා හින්දු ආගමික වතාවත්වලින් අනතුරුවයි.
මෙහිදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම විරුද්ධ පක්ෂ නියෝජනය කරමින් ගුණකථනයක් සිදුකළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නවීන් දිසානායක මහතායි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශෝක ප්‍රකාශය, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා සභාවට ඉදිරිපත් කළා.
මෙහිදී ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ පවුලේ ස්තුතිය පිළිගැන්වීම සිදුකළේ, ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් මහතායි.
ජීවන් තොණ්ඩමන්
"මගේ තාත්තා මියගිය දිනයේ පැය කිහිපයකට පෙර අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා. එහිදී වතුකම්කරුවන්ට රුපියල් 1,000 ක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරලා ඔහු සතුටින් නිවසට පැමිණියේ. ගෙදර මාත්, තාත්තත් කතා කර කර සිටියා. එක පාරට තාත්තා ජීවන් කියලා කිව්වා. මම ගිහිල්ලා තාත්තව අල්ල ගත්තා. ඒ වෙලාවේ තමයි පළවෙනි වතාවට මම තාත්තගේ ඇස්වල බය දැක්කේ. මොකද කරන්නේ කියල මට තේරුණේ නැහැ. ඒත් මාත් මගේ අක්කත් තාත්තව රෝහලට රැගෙන ගියා. ඒ උනාට විනාඩි කිහිපයකට පස්සේ ඔහු මියගොස් තිබුණා. මාගේ තාත්තා අභාවප්‍රාප්ත වූ අවස්ථාවේ සිට ශෝකය පළකළ සහ නන් අයුරින් සහයෝගය දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු සියලු පාර්ශ්වයන්ට මම මගේ ස්තුතිය පිරිනමනවා".
පාක්ෂිකයින් ඇතුළු පිරිසකගේ කර මතින් අමාත්‍ය ආරුමගම් තොණ්ඩමන් මහතාගේ දේහය පස්වරු 5.45 පමණ නෝර්වුඩ් ක්‍රීඩාංගණයේ ඉදිකර තිබූ චිතකය වෙත රැගෙන යනු ලැබුවා.
සිය නායකයාගේ වියෝවෙන් ශෝකයට පත් වතුකරයේ ජනතාවගේ සෝ සුසුම් මධ්‍යයේ චිතකයට ගිනි දල්වනු ලැබුවා.
VIDEO