මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා අසාදිතයන් සංඛ්‍යාව ඊයේ හඳුනාගත් අතර, එම සංඛ්‍යාව 150 ක්.
ඉන් 53 දෙනෙකු නිරෝධායනයට යොමුකළ නාවික හමුදා සාමාජිකයින් වනවා.
අනූ දෙදෙනෙකු කුවේටයේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වන අතර, අනෙක් පස්දෙනා ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පසුගියදා පැමිණි පුද්ගලයින්.
ඒ අනුව පසුගියදා කුවේට් සිට දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයින් 466 දෙනා අතුරෙන් පුද්ගලයින් 321 දෙනෙකුටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.
මේ අතර, අද දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 34 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 1503 දක්වා ඉහළ ගියා.
වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ අද වාර්තා වූ ආසාදිතයින් අතරින් දෙදෙනකු නාවික හමුදා සාමාජිකයින් බවයි.
17 දෙනෙකු ඩුබායි සිට දිවයිනට පැමිණි පුද්ගලයින් වන අතර, අනෙක් ආසාදිතයින් 15 දෙනා කුවේට් සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින්.
ඒ අනුව විදේශ රටවලින් දිවයිනට පැමිණි පුද්ගලයින් 465 දෙනෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති අතර, ඉන් තුන් දෙනෙකු විදේශිකයින් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.
ඊට අමතරව ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම සංඛ්‍යාවක් නාවික හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්ගෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 729 ක්.
මේ වනවිට වෛරසය ආසාදනය වූ නාවික හමුදා සෙබළුන් 693 දෙනා අතරින් 357 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබෙනවා.
එසේම, දිවයිනේ වෙනත් ප්‍රදේශවලින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 309 ක්.
මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින්ගෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 748 ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.
එසේම, ක්ෂේත්රයෙන් අවසන් වරට කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී ඇත්තේ පසුගිය අප්‍රේල් මස 30 වැනිදායී.
කොළඹ - කොටුව - සර් බාරෝන් ජයතිලක මාවතේ පිහිටි ගෆූර් ගොඩනැගිල්ලේ රැඳී සිටි නාවික හමුදා සාමාජිකයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම ගොඩනැගිල්ලේ සිටි තවත් 200 ක පමණ පිරිසක් නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳහන් කළේ මෙම නාවික හමුදා සාමාජිකයා වැලිසර නාවික හමුදා කඳවුරට සේවා සැපයූ කණ්ඩායමක සාමාජිකයෙක් බවයි.
වැලිසර නාවික හමුදා කඳවුරෙන් කොරෝනා ආසාදිතයන් පොකුරක් හමුවීමත් සමඟ එය අවදානම් ප්‍රදේශයක් ලෙස හුදකලා කෙරුණා.
ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුරට සේවා සපයන පුද්ගලයන් බාහිර සමාජයෙන් වෙන් කර තැබීම සඳහා ගෆූර් ගොඩනැගිල්ල නාවික හමුදාව යටතට පවරා ගත්තා.
මෙහි සිටි පිරිසට සිදුකළ අහඹු පී.සී.ආර්. පරික්ෂණවලදී මෙම නාවික හමුදා සාමාජිකයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූයේ ඊයේ දිනයේදියි.
කෙසේ වෙතත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සේවා සැපයූ මෙම කණ්ඩායම නාවික හමුදාවේ වෙනත් අභ්‍යන්තර කඳවුරු වෙත නිරාවරණය වීමක් සිදුව නොමැති බවයි.