අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය හෙට පෙරවරුවේ පාර්ලිමේන්තු සංකිර්ණය වෙත රැගෙන ඒමට නියමිතව තිබෙනවා.
කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබූ දේහය අද පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යවරයාගේ නිවස රැගෙන එනු ලැබුවා.
අද පස්වරුවේ ජනාධිපතිවරයා විසින් දේහයට අවසන් ගෞරව දැක්වීමට නියමිතව තිබෙනවා.
අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් ඊයේ රාත්‍රියේ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් තලංගම ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කෙරුණා. 55 හැවිරිදි වියේ පසුවු අමාත්‍යවරයා රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බවයි රෝහල් ප්‍රකාශයෙකු සදහන් කලේ. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී සිසුවෙකු වන ආරුමුගම් තොන්ඩමන් තුන් දරු පියෙක්.
නුවරඑළිය දිස්ත්‍රික්කය ජය ගනිමින් 1994 වසරේ පාර්ලිමේන්තුවට පිවිසි ආරුමුගම් තොණ්ඩමන් කඳුකර දේශපාලන භූමිකාවේ ප්‍රතාපවත් යෝධයෙකු වු සෞම්‍ය මූර්ති තොණ්ඩමන්ගේ මුණුබුරෙකු වනවා.
සිය ජීවන ගමන අවසන් වන තුරුම කඳුරට දේශපාලන පොර පිටියේ අණසක පැතිරූ ආරුමුගම් තොණ්ඩමන් වසර 26ක් පුරා කැබිනට් අමාත්‍ය ධූර දරනු ලැබුවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් වත්මන් රජයේ තොන්ඩමන්ට හිමිවු අමාත්‍ය ධූරය ප්‍රජා සවිබල ගැන්වීම් සහා වතු යටිතල පහසුකම් අමාත්‍ය ධූරයයි. තලංගම රෝහලේදී අභාවප්‍රාප්ත වූ තොණ්ඩමන් අමාත්‍යවරයාට පිළිබදව පුවත සැලවීමෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එහි පැමිණියා.
අද දහවල් එකට කොළඹ පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයට රැගෙන එන හිටපු අමාත්‍ය ආරමුගම් තොණ්ඩමන්ගේ දේහය හෙට කොටගල පිහිටි අමාත්‍යවරයාගේ නිවස වෙත රැගෙන යාමටයි නියමිතව ඇත්තේ.
එළඹෙන 31 වන ඉරිදා දේහය පිළිබද අවසන් කටයුතු සිදු කිරිමට නියමිත වුවද ඒ පිළිබද අවසන් තීරණය ගනු ලබන්නේ අද පස්වරුවේ අවමංගල කමිටුව රැස්වීමෙන් පසුවයි.
මේ අතර, අවසන් කටයුතු පිළිබද යොජනාවක් අමාත්‍ය මණ්ඩලයේදී අද සාකච්ජා වීමට නියමිතව තිබෙනවා.