අද දිනයේ මේ වනවිට නව කොරෝනා ආසාදිතයන් 96 දෙනෙකු වාර්තාවූ අතර, ඔවුන්ගෙන් 88 දෙනෙකුම කුවේට් සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකළ අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඉතිරි ආසාදිතයන් අටදෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර සිටි නාවික හමුදා සාමාජිකයින්.
ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 1,278ක්.
එසේම කොරෝනා ආසාදිතයන් 17 දෙනෙකු අද සුවය ලබා පිටව යාමත් සමඟ මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 712 දක්වා ඉහළ යනවා.
වෛසරය ආසාදනය වූ 556 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.
මේ අතර මධ්‍යම පළාත් සභාව මගින් තමන්ට ලබාදීමට නියමිතව තිබූ දීමනා කප්පාදු කිරීම හා ප්‍රවාහන පහසුකම් ලබා නොදීමට විරෝධය පළ කරමින් දඹුල්ල - වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ හෙද නිලධාරීන් අද එම රෝහල ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක නිරතවුණා.
එසේම කටාර් හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 273 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානයක් දෝහා සිට හෙට පෙරවරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි.
කටාර් හි ශ්‍රී ලංකා වැඩබලන තානාපති ගෝකුල රංගන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ළදරුවන් පස්දෙනෙකුද මෙම පිරිස අතර වන බවයි.
ඔවුන් අද පෙරවරුවේ මෙරටට පැමිණීමට නියමිතව තිබූ නමුත් අදාළ ගුවන් යානය ඊයේ තාවකාලිකව අවලංගු කෙරුණේ කොරෝනා ආසාදිතයන් වැඩි පිරිසක් කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පිරිස අතරින් හමුවීමත් සමඟයි.
කටාර් හි දෝහා නුවර මේ වනවිට වෘත්තියවේදීන් ඇතුලූ ශ්‍රී ලාංකිකයින් එක්ලක්ෂ 40,000 ක් පමණ රැඳී සිටින අතර, ඔවුන්ගෙන් 6,300 ක පමණ පිරිසක් කොරෝනා තත්ත්වය හමුවේ යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස තානාපති කාර්යාලය හරහා ඉල්ලීම් කර තිිබුණා.
ඒ අනුව අද රාත්‍රියේ 273 දෙනෙකුගෙන් සමන්විත එහි පළමු කණ්ඩායම එරටින් පිටත්කරවීමට සූදානම් කර තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 218 විශේෂ ගුවන් යානය යොදාගනිමින්. කටාර් හි දෝහා නුවර රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් අතර ශ්‍රී ලංකාවට යළි හරවා එවන පිරිස්, ගර්භනී කාන්තාවන්, රැකියා අහිමිවූවන් මෙන්ම රැකියා කාලය අවසන් වූවන් සිටීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් ඔවුන් අතර කොරෝනා ආසාදිතයන් කිසිවෙකු මෙතෙක් හඳුනාගෙන නොමැති බවද කටාර් හි වැඩබලන ශ්‍රී ලංකා තානාපතිවරයා සඳහන් කළා.
මේ අතර කුවේට් රාජ්‍යයේ සිට 466 දෙනෙකු රැගත් ගුවන් යානා දෙකක් ලක් රජයේ මැදිහත්වීමෙන් පසුගියදා මෙරටට ගෙන්වාගැනීමට කටයුතු කරනු ලැබුවා.
කුවේටයේ ශ්‍රී ලාංකිකයින් එක්ලක්ෂ 8,000 ක් පමණ රැඳී සිටින අතර, ඔවුන්ගෙන් සියයට 70 ක පමණ පිරිසක් ගෘහ සේවය සඳහා ගිය ශ්‍රමිකයන්.
18,000 ක් පමණ සංක්‍රමණ නීති හා එරට නීති රීතිවලට පටහැනිව රැඳී සිටින බවට හඳුනාගෙන ඇති බවයි කුවේට් හි ශ්‍රී ලංකා තානාපති මොහොමඞ් ජවුහර් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.
VIDEO