ශ්‍රී ලංකාව තුළ උද්ගතව ඇති කොරෝනා වසංගතය ගැන නිසි සැලකිල්ලක් නොදක්වා නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් විදේශීය කාන්තාවන් 31 දෙනකු ගණිකා වෘත්තියේ යෙදවූ පුවතක් වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අඹු - සැමි යුවළක් එක් අයකු රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහරින ලෙසට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර සී.ඒ. සමරදිවාකර මහතා 21 වැනිදා නියම කරනු ලැබුවා.
ඇඹිලිපිටිය සහ මැල්සිරිපුර ප්‍රදේශයේ ස්ථීර පදිංචිකරුවන් වන මිනුවන්ගොඩ, නිල්පනාගොඩ ප්‍රදේශයේ තාවකාලිකව පදිචි කේ. නුවන් ජයකොඩි සහ බී.එම්. සන්ධ්‍යා විජේසිංහ යන දෙදෙනාව මෙසේ ඇප මත මුදා හැර තිබුණා.
මිනුවන්ගොඩ, නිල්පනාගොඩ ප්‍රදේශයේ නිවෙසක රැඳී සිටි නේපාල ජාතික කාන්තාවන් 30 දෙනකු සහ ඉන්දියන් ජාතික කාන්තාවක් ඇතුළු විදේශීය කාන්තාවන් 31 දෙනකු නීත්‍යනුකූල නොවන අයුරින් නිල්පනාගොඩ ප්‍රදේශයේ නිවෙසක රැඳී සිටියදී මිනුවන්ගොඩ පොලිසිය භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම කාන්තාවන් 31 දෙනාව ඔවුන්ගේ මවු රටට යවන ලෙසට අධිකරණය නියම කළා.
එතෙක් කාන්තාවන් 31 දෙනාව මිරිහාන අතරමැදි කඳවුරේ රඳවා තබන ලෙසට මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළ මහෙස්ත්‍රාත්වරයා කාන්තාවන් 31 දෙනා ශ්‍රී ලංකාවේදී නීති විරෝධී ක්‍රියාවන් සඳහා යොදවා ඇත්ද යන්න පරීක්ෂණ සිදුකරන ලෙසට මිනුවන්ගොඩ පොලිසියට ඉකුත් 19 වැනිදා නියම කළා.
ලිංගික ක්‍රියාවන් සඳහා ශ්‍රී ලංකාවේ මුදලට විකිණීමට මෙම විදෙස් කතුන් ශ්‍රී ලංකාවට රැගෙන එන ලද බවට කරුණු අනාවරණය වීමෙන් අනතුරුව සැකකාර යුවළ මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. රොහාන් මහේෂ් සහ පො.ප. කරුණාරත්න යන මහත්වරු විසින් සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
එම විදේශීය කතුන්ව ශ්‍රී ලංකාව තුළදී මුදලට විකුණා ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බව පෙන්වා දුන් නීතිඥ සරල කරුණාරත්න මහතා සැකකරුට හා සැකකාරියට පොලිසිය නඟා ඇති චෝදනා ඇප දිය හැකි චෝදනාවන් බවට පෙන්වා දුන්නා.
දෙපාර්ශ්වයේම කරුණු සැලකිල්ලට ගත් අධිකරණය දෙදෙනාට ඇප නියම කරනු ලැබුවා.
නඩුව නැවත ජූලි මස 9 වැනිදාට කැඳවීමට නියම කෙරුණා.
මව්බිම පුවත්පත