වසර දෙකකට ආසන්න කාලයක් ලියුකේමියා රෝගයෙන් වේදනා විඳිමින් සිටි රිෂි කපූර් පසුගියදා මියගිය අවස්ථාවේ ආලියා බාත් ඔහු පිළිබඳව ඉතා හැඟීම්බර සටහනක් ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවෙහි ලියා තිබුණා. ඔහු තමා වෙත ලබා දුන් සෙනෙහස උණුසුම් වැලඳ ගැනීමක් ආකාරයෙන් හැමදාමත් තමාට මතක තිබෙනු ඇති බවයි ඇය එහි සඳහන් කර තිබුණේ.
'මේ සුන්දර මිනිසා ගැන මට මොනවද කියන්න තියෙන්නෙ? ඔහු මොන තරම් ආදරයක්, යහපතක් මගේ ජීවිතයට ගෙනාවද? රිෂි කපූර් කියන දැවැන්ත පුරාවෘත්තය (Legend) ගැන අද හැමෝම කතා කරනවා. මමත් මගේ ජීවිතය පුරාම ඔහු දුටුවේ ඒ ආකාරයෙන් තමයි. නමුත් පසුගිය වසර දෙකක කාලයේ මා ඔහු හඳුනාගත්තේ ඊට වෙනස් ආකාරයෙනුයි. යහළුවෙක් හැටියට, මං වගේම චීන කෑමවලට කැමැති කෙනෙක් හැටියට, සිනමාවට මුළු හදවතින්ම ආදරය කරන්නෙක් හැටියට, සටන්කාමියෙක් හැටියට, නායකයෙක් හැටියට, ලස්සන කතන්දර කියන්නෙක් හැටියට, තාත්තා කෙනෙක් හැටියට මා ඔහු හඳුනාගත්තා. පසුගිය අවුරුදු දෙක තුළ ඔහුගෙන් මට ලැබුණු සෙනෙහස උණුසුම් වැලඳ ගැනීමක් වගේ හැමදාමත් මගේ මතකයේ රැඳේවි'. ආලියා එසේ ලියා තිබුණා.
'ඔහු හඳුනාගැනීමට අවස්ථාවක් ලබා දීම ගැන මා විශ්වයට ස්තුති කරනවා. ඔහු හරියට පවුලක් වගේ කියලා අද අපි හැමෝටම කියන්න පුළුවන්. ඔබට ආදරෙයි රිෂි අන්කල්. ඔබ නැති අඩුව හැමදාමත් දැනේවි.' ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් සටහනේ තවදුරටත් එසේ සඳහන් වෙනවා.
ඒ සමඟම ආලියා අතීත ඡායාරූප දෙකක්ද එයට එක් කර තිබුණා. එයින් එකක සිටින්නේ රිෂි සහ ඔහුගේ ආදරණීය බිරිය නීතු කපූර්. අනෙක් ඡායාරූපයේ සිටින්නේ රිෂි සහ ඔහුගේ පුත් රන්බීර්. ආදරෙයි යනුවෙන් ඇය පළමු ඡායාරූපයට සටහනක් යොදා තිබූ අතර දෙවැනි ඡායාරූපයට පහළින් 'ලස්සන කොල්ලො දෙන්නෙක්' යයි ලියා තිබුණා.
රිෂි කපූර් මියගියේ පසුගිය 30 වැනි බ්‍රහස්පතින්දායි. ඔහුගේ මරණය ගැන දැනගත් අවස්ථාවේ ආලියාද රෝහල වෙත ගොස් තිබුණා. මේ වනවිට ඉන්දියාවේත් කොරෝනා වසංගතය නිසා දැඩි සීමාවන් ක්‍රියාත්මක වන බව රහසක් නොවෙයි. ඒ නිසා රිෂිගේ අවසන් කටයුතු සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කරන ලද අතර ආලියාද එයට සහභාගි වී සිටියා. ඇය මහත් ශෝකයෙන් හඬා වැලපෙමින් සිටි නීතු කපූර්ගේ සිත සනසමින් සිටින ආකාරය දැක්වෙන ඡායාරූපද මාධ්‍ය තුළ දැකිය හැකි වුණා.
ආලියා සහ රන්බීර් ළඟදී විවාහ වනු ඇති බවට මෙයට ටික කලකට පෙර ආරංචි පැතිරෙමින් තිබුණා. නමුත් රිෂිගේ වියෝවත්, කොරෝනා තත්ත්වයත් නිසා දැන් එය තරමක් කල් යනු ඇතැයි සිතිය හැකියි. නමුත් මේ වනවිටත් ඔවුන් දෙදෙනා එක නිවසක වාසය කරන බවටත් පසුගිය දිනවල මාධ්‍ය තුළ පළවී තිබුණා. කොරෝනා වසංගතය නිසා නිවසට කොටු වී සිටින ආලියාගේ මවුපියන් වන මහේෂ් භාත් සහ සෝන් රාස්දාන්ගේ සුවදුක් බැලීමට ඇය මෙම නිවසේ සිට එහි ගොස් ඇති බවයි සඳහන් වුණේ. මුහුණු ආවරණ සහ අත්වැසුම්වලින් සැරසී ඉතා ආරක්‍ෂිතව සිය දියණිය තමුන් බැලීමට ආ බව මහේෂ් බාත් පවසා තිබුණා.
මහේෂ් බාත් යනු බොලිවුඩ් සිනමාවේ ඉතා කීර්තිමත් අධ්‍යක්‍ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක් බවත් රහසක් නොවෙයි. ආලියා, රන්බීර් දෙදෙනා වෙසෙන නිවසත් ආලියාගේ මවුපියන්ගේ නිවසත් අතර වැඩි දුරක් නැති බවත් සඳහන් වෙනවා.
ආලියා සහ රන්බීර් දෙදෙනාම රඟපාන දැවැන්ත සිනමා නිර්මාණයක් ගැනත් පසුගිය කාලයේ ලොකු කතාබහක් තිබුණා. ඒ 'බ්‍රහ්මස්ත්‍ර' නමැති සිනමාපටයයි. අමිතාබ් බච්චන්ද එහි ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. මෙය කොටස් තුනකින් යුතු චිත්‍රපටයක් බවත් සඳහන්. බොලිවුඩයේ එවැනි සිනමාපටයක් නිර්මාණය වන්නේ පළමු වතාවට බවයි පැවසෙන්නේ. එහි පළමු කොටස මේ වසරේ. දෙසැම්බරයේ තිරගත කිරීමට නියමිතව තිබුණත් පවතින තත්ත්වය තුළ එය තරමක් අවිනිශ්චිත බවයි පෙනෙන්නේ. තවමත් මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන් අවසන්ව නොමැති බවත් සඳහන් වෙනවා.