ජාතික විදුලිබල මණ්ඩලය යටතේ පාලනය වන ඉහළ කොත්මලේ ජලාශයට පැන සියදිවි හානිකර ගැනීමට තැත්කළ තලවකැලේ ප්‍රදේශයේ 23 හැවිරිදි තිරුචෙල්වම් ශි්‍රයාණි තරුණිය බේරා ගැනීමට මුලින්ම ජලාශයට පැන්න තලවකැලේ, ලිඳුල, රත්නිල්ලකැලේ ප්‍රදේශයේ පදිංචිව සිටි හමීඩ් රිස්වාන් නමැති 28 හැවිරිදි දෙදරු පියාගේ සිරුර ජලාශයේ තිබී ඉකුත් 21 වැනි දින පස්වරුවේ සොයාගෙන පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇත.
සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ තිරුචෙල්වම් ශි්‍රයාණි ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන තිබිණි. ඇගේ මවුපියන් ඊට විරුද්ධ වී මීට සතියකට පමණ පෙර ඇය තලවකැලේ ප්‍රදේශයේම තරුණයකුට විවාහ කරදීම සඳහා එකඟතාවක් ඇති කරගෙන ඇතත් ඊට ශි්‍රයාණි දැඩි අකැමැත්ත දක්වා තිබිණි.
ශි්‍රයාණි වෙනත් තරුණයකුට විවාහ කරදීමට සූදානම් වන බව දැනගත් පෙම්වතා සියදිවි හානි කරගෙන ඇති බවත් ඔහුගේ අවසන් කටයුතු 21 දින නානුඔය ප්‍රදේශයේදී සිදු කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන තලවකැලේ පොලිසියේ සැරයන් එස්.එම්. විලියම් (55662) පැවැසීය.
ඉහළ කොත්මලේ ජලාශය හරහා ඉදිකර තිබෙන දුම්රිය පාලම මතින් ඉකුත් මැයි 21 දින උදෑසන 10ට පමණ තරුණියක ජලාශයට වැටී ඇති බව දැනගත් ඒ අවට පදිංචිකරුවන් පාලම මතට එක්රැස් වී කෑගැසුවද ඇය බේරාගැනීමට කිසිවකු ඉදිරිපත් වී නැත.
ඒ අවස්ථාවේ අසල නිවෙසක් ඉදිකරමින් සිටි පිරිසක් කෑගැසුම් හඬ ඇසී පාලම මතට දිවැවිත් ඇති අතර එහිදී පාලම මත රැඳී සිටි සියලු දෙනා ඇය බේරා ගන්නා ලෙස ඔවුන්ගෙන් ඉල්ලා ඇත.
ඒ අතර සිටි තලවකැලේ, රත්නිල්ලකැලේ ප්‍රදේශයේ පදිංචි හමීඩ් රිස්වාන් දෙවරක් නොසිතා ජලාශයට පැන ඒ වන විටත් දියේ ගිලෙමින් සිටි ශි්‍රයාණි වෙත පිහිනා ගොස් ඇත.
පාලම මත සිටි පිරිසක් හමීඩ් රිස්වාන්ට ආධාරකයක් වශයෙන් ලණුවක්ද ලබාදී තිබිණි. රිස්වාන් එය දියේ ගිලෙමින් සිටි තරුණියට දිගු කළද ඇයට එකවරම එය අල්ලා ගැනීමට නොහැකි විය. එනිසා රිස්වාන් ඇගේ කොණ්ඩයෙන් අල්ලා ගැනීමට උත්සාහ කළේය. එවර දෙදෙනාම එකවර දියේ ගිලිණි. ටිකකින් ශි්‍රයාණි පමණක් දියෙන් උඩට මතු වූවාය.
ශි්‍රයාණි ජලාශයට වැටෙන විට පැලඳ සිටි ජැකට්ටුව නිසා ඇය දියෙන් උඩට මතුවන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ.
සිද්ධිය සැල වී තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රුවන් ප්‍රනාන්දු මහතා ඇතුළු තලවකැලේ පොලිසියේ නිලධාරීන් ජලාශය අසලට යන විටත් තවත් තරුණයන් පිරිසක් ජලාශයට පැන තිබුණද ඔවුන් කිසිවකු දියේ ගිලෙමින් සිටි තරුණිය වෙත ළඟා වී නැත්තේ අවදානම ගැන සලකා විය යුතුය.
ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රුවන් ප්‍රනාන්දු මහතා තම නිල ඇඳුමේ කමිසය ගලවා තබා තලවකැලේ පොලිසියේ තවත් පොලිස් නිලධාරියකුගේ සහයෝගය ලැබ හුළං පිරවූ ටියුබයක සහ ලණුවක ආධාරයෙන් ශි්‍රයාණි වෙත ළඟා වී ඇය ටියුබය මත නංවා ඇති අතර ගොඩබිමේ සිටි පොලිස් නිලධාරීන් ලණුව ඇද ශි්‍රයාණි ගොඩට ගෙන ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.
රුවන් ප්‍රනාන්දු මහතා අපට කියා සිටියේ, සිද්ධිය සැල වී තමන් ජලාශය අසලට යන විට අවට 400 දෙනකු පමණ සිටි බවත් ඇය බේරා ගැනීමට යෑමට පෙර තරුණයන් කිහිපදෙනකු ජලාශයට බැස තිබුණද ඔවුන් කිසිවකු ඇය බේරා ගැනීමට ඉදිරිපත් නොවූ නිසා තමන් හුළං පිරවූ ටියුබයේ සහ ලණුවේ ආධාරයෙන් ශි්‍රයාණි වෙත ළඟා වී ඇය මුදාගත් බවය. ශි්‍රයාණි මුදාගැනීම සඳහා තලවකැලේ පොලිසියේ පො.කො. රූබන් (73627) සහයෝගය දුන් බවද ඔහු පැවැසීය.
මගේ ගම බණ්ඩාරවෙල. මමත් දරුවන් සිවුදෙනකුගේ පියෙක්. මහජනතාව සහ මහජන දේපළ ආරක්ෂා කර ගැනීමට බැඳී සිටින පොලිස් නිලධාරියෙක් යැයිද ඔහු කියා සිටියේය.
තරුණිය බේරා ගැනීමට ජලාශයට පැන මියගිය හමීඩ් රිස්වාන්ගෙ මව වන නිල්මිණි කුමාරි මහත්මිය අප සමඟ මෙසේ කියා සිටියාය.
“මම බෞද්ධ. මගේ සැමියා මුස්ලිම් ආගමේ. ඔහුගේ නම එච්.කේ. හාබ්ඩීන්. එයාට අවුරුදු 60යි. අපි දෙන්නම නුවරඑළියේ. අපිට ළමයි තුන්දෙනෙක් ඉන්නවා. දෙවැනි පුතා තමයි නැති වුණේ. නැති වුණු පුතා අපේ ගෙවල් ළඟම වෙනත් ගෙයක් හදාගෙන පදිංචි වෙලා හිටියේ. ඔහුට අවුරුදු 12ක් වයසැති පාසල් වයසේ පසුවන දුවකුයි අවුරුදු 9 වයස පුතකුයි ඉන්නවා’ කියාය.
“පුතා මේසන් වැඩ කරලා තමයි පවුල රැක්කේ. පුතාට පුළුවන් විධියට මටයි එයාගේ තාත්තාටයි සැලකුවා. මගේ පුතා නැති වුණු එක අපේ පවුලට ලොකු පාඩුවක්. පුතාගේ ළමයි දෙන්නාගේ අනාගතය ගැන දැන් අපට ලොකු ගැටලුවක් තියෙනවා. කාටවත් හිරිහැරයක් නොකර ජීවත් වුණු අපිට ඇයි මෙහෙම දෙයක් වුණේ? පුතා නැති වුණේ වීරයෙක් වගේ. ඒත් දෙයියනේ මගේ පුතා මට නැති වුණා” යි ඇය කඳුළු සැලුවාය.
ලිපිය අවසන් කිරීමට පෙර හමීඩ් රිස්වාන් නමැති වීරයා ගැන මේ සටහන තැබිය යුතුයි. ඔහු නමින් මුස්ලිම් වුවද පිළිවෙතින් බෞද්ධයෙක් විය. ඔහුගේ දරුවන් දෙදෙනා යන්නේ බොදු පාසලකටයි.
ඉතින් බෞද්ධ අපි මේ වීරයාගේ අසරණ වුණු දරුවන් දෙදෙනාට පිහිට විය යුතු නැතිද?නෝර්වුඩ් - නීටා පත්ම කුමාරි මව්බිම පුවත්පත VIDEO