Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
17
ස්වර්ණමය යුගයේ තරුවක් වන තිස්ස විජේසුරේන්ද්‍ර ගැන ඔබ නොදන්න කතාව - Photos

- ස්වර්ණමය යුගයේ තරුවක් වන තිස්ස විජේසුරේන්ද්‍ර ගැන ඔබ නොදන්න කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,902 Views
පෙම්වතාට පෙම්වතිය හමුවන්නේ කිසිදු බාධවකින් තොරවය. දැන් තියෙන්නේ විවාහයයි. එහෙත් එසේ නිම කළ හොත් එහි කථාවක් නැත. කථාවකට නම් බාධාවක් තිබිය යුතුය. මේ පෙම් යුවළට තිබෙන බාධාව නම් පෙම්වතියගේ පියාට කේන්දරය බලා කියන ලද අනාවැකියකි. අනාවැකිය නම් තමන්ගේ දියනිවරුන් සිව් දෙනාම එකම නැකතකින් පෝරුවට නැංවිය යුතුය. පෙම්වතා සම්බන්ධ වනුයේ පවුලේ බාලම එමෙන්ම සුරූපි දියනිය සමගය. 

එහෙත් එකම දිනයේ අනික් සහොදරියන් තිදෙනා විවාහ කර නොදී තමන්ගේ විවාහය සිදුවන්නේ නැත. එය සෙල්ලමක් නොවේ. සොයුරියන් අතරින් එකියක් සිනමා නිළියක් වීමේ අභිලාෂයෙනි. ඇයගේ අනාගත සැමියා නිළියක් විවාහ කර ගැන්මේ ආසාවෙන් පසුවිය යුතුය. එකියකගේ පෙම්වතා ඇය හැර ගිය හෙයින් කෙසේ හෝ ඔහුම ලබා ගත යුතුය. තවත් එකියක කිසිදා විවාහ නොවන්නේ යැයි අධිෂ්ඨාන කර ගත්තෙකි. එහෙත් තරුණයා ද උත්සාහය අත්හැරියේ නැත. 1974 වසරේ තිරයට ආ සුරේඛා චිත්‍රපටය සුප්‍රකට සිනමාකරු රොබින් තම්පෝ අවසාන වරට අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයයි. ඉතා ඉහළ ආදායම් වාර්තා තැබූ සුරේඛා චිත්‍රපටයේ මේ අපූරු පෙම්වතා නැතිනම් කොමඩි හීරෝ වූයේ තිස්ස විජේසුරේන්ද්‍රය.
 
ඒ තිස්ස විජේසුරේන්ද්‍ර මැයි 11 වැනි සඳුදා මෙලොව හැර ගියේය. එක් යුගයක සිංහල සිනමාවේ කිරුලූ‍ පළන් අහිංසක පෙම්වතෙකු වූ තිස්ස සිනමා ඉතිහාසයේ හැඳින්විය හැක්කේ ජනප්‍රිය සිනමාවේ සංකේතයක් හැටියටය. තිස්ස සිනමාවට එන්නේ අපේ සිනමාවේ එක් සංධිස්ථානයක දීය. ඒ නැවුම් අදහස් සහිත යෞවන සිනමාවක් එලිළන අවදියයි. එමෙන්ම වැඩපොලේ ද විශ්ව විද්‍යාලයේ ද පාසලේ ද සිනමාව ගැන අලූ‍ත් කථාවන් බිහිවන අවදියයි. අප රටේ පමණක් නොව ලොව පුරා තරුණයන් සිනමාවේ මෙන්ම සමාජයේ ද කැරළි ගසන අවධියයි. අපේ සිනමාවේ නියැලි ඉන්දියානු සිනමාකරුවන්ගෙන් අවසානයා වූ එම්.මස්තාන් ද මේ වන විට ආපසු ඉන්දියාවට ගොසිනි. සියලූ‍ චිත්‍රාගාරාවල ඒ වන විට සිටියේ ඔවුන්ගෙන් පුහුණුව ලද ලාංකිකයන් පමණකි. අනිත් අතින් ආචාර්ය ලෙස්ටර් හෙළි කළ මග යමින් සුගතපාල සෙනරත් යාපා, ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර ආදින් වෙනත් මගක් අරඹමින් සිටියහ.
 
1964 වසරේ ඉන්දියානු සිනමාවේ වැඩිම ආදායමක් ලැබූ එමෙන්ම ෆිල්ම්ෆෙයාර් උලෙළේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනූ දෝස්ති චිත්‍රපටය ලංකාවේ ද පැල් බැඳගෙන ප්‍රදර්ශනය වූයේ එවකට මරදානේ පිහිටි ක්‍රවුන් සිනමාහලේය. කොරා සහ අන්ධයා යන කථාවේ ඡායාමාත්‍රයක් අනුව තැනෙන දෝස්ති කවර කලෙක නැරඹුව ද එපා නොවන ජාතියේ චිත්‍රපටයකි. එයට පාදකවනුයේ දෘශ්‍යාබාධයෙන් පෙලෙන ගැටවරයෙක් හා අනතුරකින් පය බිඳුණු ගැටවරයෙක්ගේ අපූරු මිත්‍රත්වය පිළිබද කථාවකි. සත්‍යන් බෝස් විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටය සඳහා ඔහු හොදම අධ්‍යක්ෂට හිමි නාමයෝජනා ලැබුවේය. චිත්‍රපටය අපූරු ගීතාවලියකින් ද යුක්තය. මෙම චිත්‍රපටය මෙරට අතිශය ජනප්‍රිය වූ පසු එය ආනයනය කළ එමෙන්ම ක්‍රවුන් සිනමාහලේ අධිපතිව සිටි කේ.කේ.ජග්තියානි එය සිංහල බසින් ද ප්‍රති නිර්මාණය කිරීමට සූදානම් විය. එවකට මෙරට හින්දි චිත්‍රපට ආනයනයේ බලකණුව වූයේ ද ජග්තියානිය. ජග්තියානි එයට පෙර ද ජනප්‍රිය සිංහල චිත්‍රපට රාශියක් ඒ ආකාරයෙන් තැනුවේ හින්දි චිත්‍රපට ප්‍රතිනිර්මාණය කරම්න්ය. දෝස්ති සිංහලයට නඟන්නට ඔහු තෝරා ගත්තේ ඒ දශකයේ ජනප්‍රියම සිනමාකරුවකු වූ කිංස්ලි රාජපක්ෂය. කිංස්ලි හා ජග්තියානි හවුල්ව එයට පෙර තැනූ සිඟිති සුරතල් චිත්‍රපටය අති සාර්ථක විය.
 
දෝස්ති අනුව යමින් අලූ‍ත් සිංහල චිත්‍රපටයට නම තැබුණේ කළණ මිතුරෝ යනුවෙනි. එහි දෙබස් රචනා කළේ ප්‍රවීණ ගුවන් විදුලි නාට්‍ය රචකයකු වූ ආනන්ද සිරිසේනටය. සංගීතය බාරවූයේ ෂෙල්ටන් ප්‍රේමරත්නටය. ෂෙල්ටන් ප්‍රේමරත්න දෝස්ති චිත්‍රපටයේ තිබුණු හින්දි ගී අනුකරණය නොකර අපූරු ස්වතන්ත්‍ර ගී රැසක් ගෙන ආවේය. වික්ටර් රත්නායකයන් විසින් ගයන ලද කළණ මිතුරු දහමයි, උපන් කාට වුණත් මේ චංචල ලෝකේ, දිනෙක යන්න මෙතැන් සිට වැනි අතිශය මියුරු ගීතාවලියක් ඒ සදහා නිර්මාණය කරන ලදී. එහි එන ආබාධිත තරුණයා ලෙස චරිත මැවූයේ ඒ වන විට නමක් දිනා සිටි වික්‍රම බෝගොඩයි. එහෙත් දෘෂ්‍යාබාධිත තරුණයා ගේ චරිතයට කිංස්ලි සොයා ගත්තේ ඒ වන විට කොළඹ නාලන්දා විදුහලේ දීප්තිමත් සිසුවෙකි. ඔහු නමින් දොන් භාතියතිස්ස විජේසුරේන්ද්‍රය. පානදුරේ සරික්කාමුල්ලේ දී ඉංජිනේරුවරයෙකුගේ ගේ වැඩිමහල් පුතු ව 1949 අප්‍රේල් 3 වැනි දින උපන් භාතියතිස්ස කළණ මිතුරෝ ච්ත්‍රපටයට තෝරා ගැනෙනුයේ ඔහු දෝස්ති චිත්‍රපටයේ මොහාන් ගේ චරිතය රගපෑ සුධිර් කුමාර් හෙවත් සුධීර් සාවන්ත්ගේ රගපෑ චරිතයටය. හේතුව තිස්ස හා සුධීර් අතර පෙනුමෙන් එක සමාන ලකුණු තිබීමය. ඒ යුගයේ හින්දි චිත්‍රපට අනුකරණ කොට අලූ‍ත් සිංහල චිත්‍රපට හැදෙද්දී එරට නළුවාගේ හැඩ හුරු කම් ඇති මෙරට තරුණයන් කිහිප දෙනෙකුට ද අවස්ථව ලැබුණේ මුල් චිත්‍රපටය අනුකරණය කරන්නටය.
 
තිස්ස විජේසුරේන්ද්‍ර එම පරම්පරාවේ අන්තිමයා ලෙස ඉතිහාස ගතවේ. එයින් පසු එලෙස ඉන්දියානු නළුවන්ගේ ස්වරූප රැගත් නළුවකු සොයා ගත් වගක් පළ නොවේ. එහෙත් දෝස්ති මෙන් කළණ මිතුරෝ ලංකාවේ අති සාර්ථක චිත්‍රපටයක් නොවිණ. ජග්තියානි නැවත සිංහල චිත්‍රපට නිෂ්පාදනයට දායකවූයේ ද නැත. චිත්‍රපටයෙන් ඉතුරුවූයේ එහි වික්ටර් රත්නායකයන් ගැයූ ගී කිහිපයත් තිස්ස විජේසුරේන්ද්‍ර නම් තරුණ කඩවසම් නළුවාත් පමණකි. භාතියතිස්සගේ නම තිස්ස ලෙස සිනමාවට ගැලපෙන ලෙස සංස්කරණය කරන ලද්දේ කිංස්ලි රාජපක්ෂය. කළණ මිතුරෝ රඟපාද්දීම තිස්සට තවත් අපූරු චිත්‍රපටයක් ලැබිණ. එම සමයේම ආනන්ද මහා විදුහලේ සිසුන් පිරිසක් විසින් රූ ගන්වන ලද වෘත්තාන්ත චිත්‍රපටයක රඟපෑමට තිස්සට ඉඩ ලැබීමය. චිත්‍රපටය ලැබුණේ කළණ මිතුරෝ රූ ගත කරද්දී ආනන්ද නාලන්දා වාර්ෂික ක්‍රිකට් තරගය නරඹන්නට තිස්ස ගිය අවස්ථාවේය. ඒ ආනන්දයේ සිසුවකුව සිටි රංජිත් ලාල් නිම්වළල්ල අධ්‍යක්ෂණය කරමින් සිටි අවදියයි.
 
පාසැල් සිසුන් පිරිසක් තැනූ එකම වෘත්තාන්ත චිත්‍රපටය ද එයයි. ක්‍රිකට් තරගයට ගිය චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂ එවකට ආනන්ද සිසු පසුව සරසවිය කර්තෘ ධුරය දැරූ ඒ.ඞී. රන්ජිත් කුමාර අලූ‍ත් නළුවා නිම් වළල්ලට කැදවා ගෙන ආවේය. ඒ එහි රඟපෑ ස්වර්ණා මල්ලවාරච්චිගේ සොහොයුරා හැටියටය. කළණ මිතුරෝ ට කලින් නිම් වළල්ල තිරයට ආයේය. එබැවින් තිස්ස රඟපෑ කළණ මිතුරෝට පෙර ප්‍රේක්ෂකයා දැක ගත්තේ නිම් වළල්ලයි. එහෙත් නිම් වළල්ලෙන් තැනුණු මාවත මොකක්දෝ හේතුවකට තිස්සට ඇහිරී ගියේය. ඔහු තෝරා ගැනුණේ ජනප්‍රිය සිනමාවටය.
 
කොහොමටත් කළණ මිතුරෝ තිර ගත වන විට තිස්ස රඟපෑ පූජිතයෝ ද තිරයට ඇවිත් අවසන්ය. හැත්තෑව දශකය ආරම්භයේ දී අලූ‍ත් කඩවසම් තරුණයන් දෙදෙනෙකුගේ ප්‍රවිශ්ඨය අපේ සිනමාවේ කැපී පෙනෙයි. එක් අයෙක් 1969 වසර අවසානයේ හන්තානේ කථාවෙන් අප දකින විජය කුමාරතුංගයන්ය. දෙවැන්නා නිම් වළල්ලෙන් දකින තිස්සය. තිස්ස සිනමාවට හඳුන්වා දුන් කිංස්ලි රාජපක්ෂට ම ඔහු ජනප්‍රිය තරුවක් කිරීමේ ගෞරවය ද හිමි වෙයි. ඒ කිංස්ලි රාජපක්ෂ අනතුරුව අධ්‍යක්ෂණය කරන ලද සුහද පැතුම චිත්‍රපටයෙනි. සුහද පැතුම චිත්‍රපටය අවසාන වන විට පැහදිලිවම තරුණ නළුවන් දෙදෙනා ම සාර්ථකත්වයේ මග සොයමින් සිටියහ. සුහද පැතුම මරදාන ගාමිණි සිනමාහලේ තිර ගත වද්දී එය හා තරගකාරිව එල්ෆින්ස්ටන් සිනමාහලේ තිර ගත වූයේ අලූ‍ත් සිනමාකරුවකු ව දොරට වැඩි යසපාලිත නානායක්කාරගේ තුෂාරා චිත්‍රපටයයි.
 
තුෂාරා මෙන්ම සුහද පැතුමේ ද පෙම්වතිය පසුකලෙක නිළි රුජන ලෙස විරුදාවලිය ලබන මාලිනි ෆොන්සේකාය. මේ චිත්‍රපට දෙක සාර්ථක වද්දි විජය මාලිනි සිනමා යුගයක් මෙන්ම තිස්ස නම් කඩවසම් නළුවාත් සිනමාවේ ඉදිරිය සොයමින් සිටියේය. ජනප්‍රියත්වය අතින් මුල් යුගයේ දෙදෙනාම ඉහලින් සිටිය ද විජය බොහෝ විශිෂ්ට සිනමාකරුවන්ගේ අතට හසුවිය. යසපාලිත, ලෙනින් මොරායස් ලා පමණක් නොව ආචාර්ය ලෙස්ටර්, පතිරාජ, වසන්ත වැනි සිනමාකරුවන් විජය සොයා යද්දි තිස්සට ඉඩ ලැබුණු කැපී පෙනෙන සිනමාකරුවන් වූයේ කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා, අමරනාත් ජයතිලක, නීල් රූපසිංහ, චන්ද්‍රරත්න මාපිටිගම වැනි කිහිප දෙනෙකු පමණකි. එම චිත්‍රපට සාර්ථක වීම නිසා තිස්ස ගේ ජනප්‍රියත්වය ඉහළ ගිය ද ලාංකික සිනමාවේ නළුවකුගේ පැවැත්ම උදෙසා ජනප්‍රියත්වය පමණක් අවශ්‍ය වුණේ ටික කලකටය. එබැවින් විජයට සාපේක්ෂව තිස්සට වරම ලැබුනේ අඩුවෙනි.
 
එහෙත් ජනප්‍රිය නළුවකු ලෙස තිස්ස සිය ආරම්භයේ හොඳ ස්ථාවරත්වයක් ගොඩ නඟා තිබිණ. ඔහු රඟපෑ බොහෝ චරිත ඉතා සැහැල්ලූ‍ පෙම්වතාගේ චරිත විය. හැත්තෑව දශකය පුරාම ඔහු රඟපෑ චිත්‍රපට බොක්ස් ඔෆීස් වාර්තා තැබූවේය. එපමණක් නොව අද පවා එම චිත්‍රපට විනෝදාශ්වාදයෙන් ඉහලය. තිස්සගේ රඟපෑම ඔහුටම ආවේණික ශෛලියක් ගත්තේය. විචාරකයන් කවර දේ පැවසුව ද එය ඒ අවදියේ අල්ලලා ගිය එකකි.
 
සුහද පැතුම චිත්‍රපටයෙන් පසු තිස්ස රඟපෑ චිත්‍රපට අතර සිනාවයි ඉනාවයි. සුරේඛා, ළසදා, ලස්සන කෙල්ල, සධානා, නෑදෑයෝ, නිවෙන ගින්න වැනි චිත්‍රපට රාශියක්ම වෙයි. මේ චිත්‍රපට අතර ඔහුට වෙනස් චරිතයක් රඟපාන්නට ඉඩ ලැබෙනුයේ හේමසිරි සෙල්ලප්පෙරුම අධ්‍යක්ෂණය කළ සෙනහසක කදුළු චිත්‍රපටයේත් චන්ද්‍රසිරි මාපිටිගම අධ්‍යක්ෂණය කළ නෙළුම් විලේ සමන්මලක් චිත්‍රපටයේත් පමණකි. ඒ වන විට ඔහුගේ ස්වරූපයෙන් සුන්දර පෙම්වතා පළා යමින් සිටියේය. හැමවිටම ඉතිරුවුණේ ඔහුගේ මුහුණේ රැඳුණ අව්‍යාජ සිනා රැල්ල පමණකි. චිත්‍රපටය වැඩි අවධානය යොමු නොවුණ නිසා නොවන්නට නෙළුම් විලේ සමන් මලක් චිත්‍රපටය තිස්සට ලැබුණු අවසාන හොඳම අවස්ථාව විය.
 
කළණ මිතුරෝ හා නිවෙන ගින්න චිත්‍රපටයේ දී ආචාර්ය වික්ටර් රත්නායකත් සුරේඛා හා ළසඳා චිත්‍රපටයේ එම්.එස් ප්‍රනාන්දු ගැයූ ගීතත් (පොල්කිචිච් වාගේ රණ්ඩු කරන්නි/ඒ රන් කඳ පෙම්) පෙම් කුරුල්ලෝ චිත්‍රපටයේ සී.ටී.ප්‍රනාන්දු (මී අඹ වනයේ) බෝනික්කා චිත්‍රපටයේ නිහාල් නෙල්සන් (ඉරෙන් ගෙනා බෝනික්කා) හැර ඔහුට හැමවිටම පසුබිම් ගී ගැයුවේ එච්.ආර්.ජෝතිපාලයන්ය. ගීතා කුමාරසිංහ සිනමාවේ මුල්වරට පෙම් චරිත මැව්වේ තිස්ස සමඟය. ඒ ඇය සිනමාවට පිවිසි ලස්සන කෙල්ල චිත්‍රපටයෙනි.
 
තිස්ස පෙම්වතාගේ චරිතය නිරූපණය කරනුයේ හැත්තෑව දශකයේ පමණය. අසූව දශකය එළැඹෙන විට තිස්ස රගපෑ චිත්‍රපට සංඛ්‍යාව කෙමෙන් බිඳ වැටෙනු පෙනෙයි. මුල සිටම විවිධ චරිත සොයා නොයෑමේ පාපයට ඔහු කොටු විය. එය ඔහුගේ අවාසියට හේතු වූ බවනොකියාම බැරිය. එහෙත් හැත්තෑව දශකයේ බොහෝ යෞවනියන්ගේ සිත් දිනා ගත් සිංහල සිනමාවේ සිහින කුමරෙකු වන්නට තිස්සට වාසනාව තිබිණ. කඩවසම් බව උතුරා ගියේය.
 
එහෙත් තිස්ස ගේ හිත දිනා ගත්තේ එක් අයෙකු පමණකි ඒ ඔහුගේ භාර්යාව වූ සාවිත්‍රි ඩයස් ය. ඇය විශාඛා විද්‍යාලයයේ ගුරු මාතාවක් වූවාය. සිනමාවේ ජනප්‍රියත්වය හැමදාම එක ලෙස තිබෙන්නක් නොවේ. තිස්ස වාසනාවන්ත මිනිසෙකි. ඒ ඔහුගේ පැරණි රසිකයන් හැමවිටම තිස්සට ආදරය කළ බැවිනි. ඒ සියල්ලටම වඩා තිස්ස ගේ කුටුම්භ ජීවිතය ඉතා ඉහළ එකක් විය. තිස්ස හා සාවිත්‍රි යුවළට දියනියන් තිදෙනෙකි. මේ තිදෙනාටම ඉතා හොඳින් උගන්වන්නට ඔවුහු වග බලා ගත්හ. දියනිය සුරනි පමනක් ටික කලක් ටෙලි නාට්‍ය කිහිපයක ට දායක වූවාය. ඒ වන විට ඇය කොළඹ විශ්ව විද්‍යාලයයේ සිසුවියකව සිටියාය. තිස්සගේ බාල සොහොයුරු බන්දුල දිගු කලක් සරසවිය පුවත්පතේ ඡායාරූප ශිල්පියා විය.
 
සිනමාව වෙනස් වද්දි ඒ දෙස උපේක්ෂාවෙන් බලා සිටින්නට තිස්ස විජේසුරේන්ද්‍රයන් සමත්ව තිබිණ. සිනමාවේ පෙම්වතාගේ චරිතයෙන් පසු ඔහු සිනමාවේ ද ටෙලිවිෂනයේ ද වැඩිහිටි චරිත ද රැසක් රඟපෑවේය. මේ අපූරු නළුවා දෙස හැත්තෑව දශකයේ වැඩිහිටි රසිකයෝ සිය දරුවන්ට බොහෝ දේ කියා දී තිබිණ. ඒ ඔහු වැදගත් මහත්මයෙකු ලෙස ජීවත් වූ විත්තියත් එක්කය.
 
තිස්ස සදාකාලික ආදරවන්තයෙක් වූයේ එහෙමය. තිස්ස විජේසුරේන්ද්‍ර සමග නික්ම ගියේ අපේ සිනමාවේ ස්වර්ණමය යුගයේ තවත් බලකනුවකි.
 
අද පවා තිස්ස විජේසුරේන්ද්‍ර රගපෑ චිත්‍රපටයක් දකින විට සිනමාවේ ස්වර්ණමය යුගයේ දුටු චමත්කාරය කිසිවිටෙකත් අමතක වනු නැත.
 
දයාන් විතාරණ
සරසවිය


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top