ශ්‍රී ලංකාවේ ප්‍රථම කොරෝනා (කොවිඩ් _ 19) ආසාදිතයා වූ මත්තේගොඩ ජයන්ත රණසිංහ මහතා ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී සම්පූර්ණ සුවය ලබා නිවෙසට පැමිණියේය. ලොව පුරා රෝගය වැලඳුණු 20,000කට ආසන්න පිරිසක් මරණයට පත්වෙද්දී ජයන්ත මහතා යළි ජීවිතය දිනාගැනීම අසිරිමත් සිදුවීමකි. මේ මොහොතේ මෙරට වැසියන් අතර වඩාත්ම අවධානය දිනාගත් පුද්ගලයා වන්නේ ඔහුය. මේ ඔහු මේ ඔහු ගැනයි
ජයන්ත මහතා මත්තේගොඩට පදිංචියට පැමිණියේ මෑතකදීද?
නැහැ. මේ ප්‍රදේශයේ සිටින පැරැණිම උදවිය අපි. අපේ තාත්තා, සීයා ඇතුළු ඥාතීන් මත්තේගොඩ මුල් පදිංචිකරුවෝ.
ඔබ අධ්‍යාපනය ලැබුවේ?
තර්ස්ටන් විද්‍යාලයේ.
ඔබේ ප්‍රථම වෘත්තිය සංචාරක මඟ පෙන්වන්නකු වශයෙන් කටයුතු කිරීමද?
නැහැ. මම පාසල් අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියාවට බැඳුණා. යුද්ධය පැවැති සමයේ නැඟෙනහිර පළාතේ අම්පාර, මඩකළපුව ප්‍රදේශවල රාජකාරි කළා. ඒ අතර විශේෂ සටන් පුහුණු ප්ලැටූන්වලටත් සම්බන්ධ වුණා.
ඔබට දියණියක සහ පුතකු සිටිනවා?
ඔව්. මම පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියාවෙන් අස්වුණාට පස්සේ ඉතාලියට ගියා. මම විවාහ වුණේ ඉතාලියේ රැකියාව කරද්දි. දුවයි පුතයි දෙන්නම ඉපදුණේ ඉතාලියෙදි.
ඇයි ආපසු ලංකාවට එන්න තීරණය කළේ?
දුවට අවුරුදු 5 වෙද්දි මම තීරණය කළා ලංකාවට ඇවිත් පදිංචි වෙන්න. ඉතාලියේ සංස්කෘතියට දරුවො හදන්න මම සතුටු වුණේ නැහැ. අවුරුදු 14ක් ඉතාලියෙ ඉඳලයි ආපසු මගෙ රටට ආවෙ.
ඉන්පස්සෙ මේ වෘත්තියට සම්බන්ධ වුණා?
ඔව්. බලපත්‍ර සහිත රජයේ ලියාපදිංචිය ඇති ඉතාලි භාෂා සංචාරක මඟපෙන්වන්නෙක් හැටියට කටයුතු කරනවා. මට වෑන් රථයක් සහ කාර් එකක් තියෙනවා. මම මගේම වාහනය පදවාගෙන යමින් ගයිඩින් කරනවා. රාජකාරි දෙකම කරනවා. තනියම යන්නෙ. මම වැඩ කරන්නෙ ඉතාලි ගෙස්ට්ලට විතරයි.
කොරෝනා රෝගය වැලඳීමට ප්‍රථම ඔබ ඉතාලි සංචාරක පිරිස කැටුව ගියේ කවදාද?
පිරිස එකම කණ්ඩායමක් නොවේ. ගෘෘප්ස් තුනක් එක්ක මම වැඩ කළා පිට පිටම. ඒ කියන්නෙ පෙබරවාරි 10-14, පෙබරවාරි 25 මාර්තු 1, මාර්තු 3-8 ටුවර් තුනක්. එක ළඟ ළඟම. සාමාන්‍යයෙන් එක කණ්ඩායමක් දවස් 6ක් ලංකාවෙ ඇවිදලා ඊට පස්සෙ මාලදිවයිනට යනවා. කටුනායකින් ගත් තැන සිට නැවත කටුනායකට ගෙනැවිත් ඇරලවන තැන් දක්වා මම ඔවුන් සමඟ තමයි ගත කරන්නේ.
ඔබ ඇසුරු කළ කණ්ඩායම් තුනෙන් කොවිඩ් 19 වැලඳී තිබුණේ මොන කණ්ඩායමට කියා ඔබ හිතනවාද?
අන්තිම කණ්ඩායමට පෙර ගිය පිරිසේ අසනීප වූ අයෙක් සිටි බව මට මතක් වුණා පස්සෙ. ඒ ගැනත් සැක හිතන්න බැහැ. මොකද එයා කීවෙ නැහැ හුස්ම ගන්න බැරි බවක්. උගුර රිදෙන බවක්. එයා මට කීවෙ උකුල් ඇටේ රිදීමක් ගැන.
ලංකාවෙ මොන පළාත්වලටද ඔබ මේ අය රැගෙන ගියේ?
අපි කොළඹින් පටන්ගෙන කෙළින්ම දඹුලු යනවා. රාත්‍රි 3ක් දඹුල්ලෙ අමායා ලේක් හෝටලේ ඉන්නවා. දෙවැනි දවස සීගිරිය නැඟලා බහිනවා. තුන් වැනි දවස පොළොන්නරුව. ගෙස්ට්ලා බයික්වල යනවා. මම වෑන් එකේ ගිහින් විස්තර කරනවා. ඊට පස්සෙ දඹුලු රජමහ විහාරය වන්දනා කරගෙන නුවරට එනවා. නුවරින් නැවත එයාර්පෝට්.
මේ ට්‍රිප් තුනම යනකම් ඔබ නිරෝගී තත්ත්වයේ හිටියද?
නැහැ. අන්තිම ට්‍රිප් එකේදී මට අමාරු වුණා. මුල් දෙකේදී මම හොඳ සුවෙන් හිටියා.
මේ සංචාරක පිරිස් පැමිණෙන විටත් ඉතාලියේ කොවිඩ් _ 19 ශීඝ්‍රයෙන් පැතිරෙමින් තිබෙන බව ඔබ දැන සිටියේ නැද්ද?
ඉතාලියේ මේ රෝගය තිබුණට මේ ටුවරිස්ලා එයාර්පෝට් එකෙන් චෙක් කරලා අපට දෙන නිසා බයක් තිබුණෙ නැහැ. චෙක් කරලා එළියට එවන බව දන්නවා. කොහොම චෙක් කරනවද අපි දන්නෙ නැහැ. මම විතරක් නෙවෙයි. ඒ දිනවල රටට ඇතුළු වූ යුරෝපා රටවල සංචාරකයන් දහස් ගණනක් එක්ක ගයිඩ්ලා වැඩ කළේ එහෙම තමයි.
ඔබ ඒ අයට ලංකාවට පැමිණිමේ තහනමක් තිබුණෙ නැහැ යම්කිසි රෝග තත්ත්වයක් ඇඟට දැනෙන්නට ගත්තේ කොහේදීද?
මම සාමාන්‍යයෙන් නිතර සෙම්ගෙඩි හැදෙන කෙනෙක්. මම නිතරම ඩ්‍රයිවින් කරන්නෙ බෙල්ලට රෙද්දක් බැඳගෙන. එදා මට බෙල්ල ඔතා ගන්න අමතක වුණා. ගෙස්ලත් එක්ක සීගිරිය නැඟලා බැහැලා අමායා ලේක් එකට ආවම උගුර රිදුණා. මම හිතුවෙ අර බෙල්ල බැඳගන්න අමතක වූ නිසා මොකක් හරි සෙම්ගෙඩි කේස් එකක් තමයි කියලා.
මම ඩිස්පැන්සරියකට ගියා. එතැන ඩොක්ටර් උගුර, බෙල්ල අල්ලලා බලලා ඔයාට සෙම්ගෙඩි තියෙනවා කියලා සෙම්ගෙඩිවලට බේත් දුන්නා. ඒකට හරි නොගියොත් ගන්න Antibiotics එකකුත් ලියලා දුන්නා.
ඉතින් ඒ බේත්වලට ලෙඩේ ඇහුවද?
මම දඹුල්ල මහ විහාරෙත් පෙන්න ගෙන නුවරට එනකන් සාමාන්‍ය විධියට ආවා. ලොකු අමාරුවක් තිබුණෙ නැහැ. නුවරදි හැන්දෑ වෙනකොට උණ ගැනුණා. මම ෆාමසියකට ගිහින් අර ඩොක්ටර් දීපු ඇන්ටිබයොටික් (Antibiotics) එක ගත්තා. හරි ගියේ නෑ. දැන් මට හොඳටම අමාරුයි. අපිට ටුවරිස්ලා සම්බන්ධ කරන කොම්පැනියට කතා කරලා කිව්වා මට හොඳටම අමාරුයි. ඩ්‍රයිවර් කෙනකුයි, ඉතාලි ස්පීකින් කෙනකුයි එවන්න කියලා. එහෙම ආවම මට ඉස්පිරිතාලෙකට ඇඩ්මිට් වෙන්න පුළුවන්නෙ. ඒගොල්ලො කීවා මෙහෙ එවන්න කෙනෙක් නැහැ. ඔයාටම තමයි ඕක ඉවර කරන්න වෙන්නෙ කියලා.
ඉතින් මොකද වුණේ?
මට හොඳටම උණ. ඒත් මම මොකද කරන්නෙ. මේ මිනිස්සු මඟ දාලා යන්නද? ඒ අතරේ ඒගොල්ලන්ගෙ උදේ යන්න තිබූ ප්ලයිට් එක හැන්දෑවට වැටුණා. ඒකෙන් තවත් අවුල්. මම මගෙ හිතේ දහිරියෙන් උණ, ඇඟ අමාරු මැද මහනුවර ඉඳන් කටුනායක ඩිපාචර් එක ළඟට ඉතාලි කට්ටිය ගෙනත් බැස්සුවා.
ටුවරිස්ලා දැනගත්තද ජයන්ත අසනීපෙන් ඉන්න බව?
ඔව්. මට උණ කියලා ඔවුන් දන්නවා. ‘උඹ හරි හොඳ මනුස්සයෙක්. ලෙඩ වුණා කියලා අපිව මඟ දාලා ගියේ නැහැ’ කියලා ස්තුති කළා. මම අවුරුදු 14ක් ඉතාලියෙදි ඉතාලි මිනිස්සු ඇසුරු කළා. ඊට පස්සෙ ලංකාවට ඇවිල්ලත් මේ රස්සාව අවුරුදු 20ක් කරනවා. ඒත් ඉතාලි කට්ටිය එක්ක. අවංකවම මේ නොදන්න රටේ ඒ අයව අතරමං කරලා දාලා මට එන්න බෑ. මට ඒ අයව දාලා හොස්පිටල් ඇඩ්මිට් වෙන්න තිබුණා. ඒත් මට එහෙම හිතක් පහළ වුණේ නැහැ. මගෙ වීරියෙන් මේ රාජකාරිය ඉවර කරනවා කියලා හිතාගත්තා.
ඊට පස්සෙ කෙළින්ම ගෙදර ආවා?
කොහොම ආවද කියන්න මම දන්නෙ නැහැ. කටුනායකින් හයිවේ දාගෙන විනාඩි 45කින් කොට්ටාව හරහා ගෙදර ආවා. වයිෆ්ට කාරෙක එළියට ගන්න කියලා, වෑන් එක දාලා, මම කාරෙකේ පස්සෙ සීට් එකට වැටුණා. අපි මගේ ඩොක්ටර් ළඟට ගියා. ජයන්ත ඉතාලි ගෘෘප් එකක් එක්ක නේද ගියේ කියලා ඇහුවා. මම කාරෙකෙන් බැස්සෙත් නැහැ. ඩොක්ටර් මාව දැක්ක ගමන් යමක් තේරුම් ගත්තා. විනාඩියක්වත් ප්‍රමාද නොවී කෙළින්ම අයි.ඩී.එච්. යන්න කියලා වයිෆ්ට කිව්වා. මම 4.30ට කටුනායක ඩිපාචර් එකේ. 6.30ට අංගොඩ උණ රෝහලේ. අම්මගෙ තනියට පුතා ඉස්සරහ සීට් එකේ ගියා.
රෝහලේදී මොකද වුණේ?
මට වෙනම කාමරයක් දුන්නා සියලු පහසුකම් සහිත. පෞද්ගලික රෝහලකට වඩා හොඳට බාත්රූම් හැමදේම තිබුණා. මට කියන්න වචන නෑ. ඒ අයට තේරුණා ලෙඩා ඩේන්ජර් කියලා. අර ප්ලාස්ටික් ඇඳුම් ඇඳගෙන තමා මා ළඟට කිට්ටු වුණේ. මට හුස්ම ගන්න අමාරු වුණා. ඔක්සිජන් දුන්නා.
ලංකාවේදී ඔබට ප්‍රථමවරට කොරෝනා රෝගය වැලඳී තිබෙන බව ඔවුන් දැනුම් දුන්නාද?
8 වැනිදා රෑ ඇතුළත් වුණා. 9 පෝය. 10 උදේ දැනුම් දුන්නා මගේ සාම්පල් පොසිටිව් කියලා. දැන් ඔයා කොරෝනා ආසාදිතයෙක් කියලා ඩොක්ටර් කිව්වා. එදා රෑම මාව උඩ තට්ටුවට ගෙනිච්චා.
ජයන්තට මොකද හිතුණෙ?
මරණ බිය දැනුණා. මම හොඳට දෙවියන් බුදුන් අදහන කෙනෙක්. මම පෝයට කිරිවෙහෙරෙ සිල් ගන්න කෙනෙක්. මේ දවසෙත් 8දා උදේ ටි්‍රප් එක ඉවර කරලා 12ට බස් එක බුක් කරලා තිබුණෙ කතරගම යන්න. 9 පෝයට සිල් ගන්න. දහම සත්‍ය නම් මගෙ ජීවිතේ බේරෙන්න ඕන කියන විශ්වාසය මා තුළ ඇති වුණා.
කොවිඩ් _ 19 රෝගය වැලඳුණම රෝගියාට දැනෙන අපහසුව මොන වගේද?
හුස්ම ගන්න බැහැ. ඇඳෙන් බහිනවා නම් ඉස්සරවෙලා ඇඳෙන් නැඟිටලා ඉඳගෙන ඉන්න ඕන. ඊළඟට ඇඳෙන් බහින්න ඕන. හිමින් අඩිය තියන්න ඕන කොමොඩ් එක ළඟට. හුස්ම ඇද්දට පපුවට අල්ලන්නෙ නැහැ. ඒ එකක්. ඊළඟට උගුරෙන් පහළට කෑමක් කන්න බෑ. මුළු ඇඟම හිර කරනවා. X Ray එකවත් ගන්න බැහැ. ඔක්සිජන් දීලයි ගත්තේ. එතැන එකම යුද්ධයක්. අරහෙන් කටු ගැහුවා. මෙහෙන් කටු ගැහුවා. බට දැම්මා. බේත් වර්ග දුන්නා. ඒ වෙලාවට වෙන කල්පනාවල් නැතුව යනවා.
සුවයක් දැනෙන්න ගත්තෙ දින කීයකින්ද?
බේත්, ප්‍රතිකාර ලැබෙද්දි කල්පනාව හොඳ වුණා. හතිය ටිකෙන් ටික අඩු වුණා. මාව භාරව හිටි විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ කියන්නෙ දෙවි කෙනෙක්. කොරෝනා ලෙඩ්ඩුන්ට ගෙදරින් කැඳ හදලා ගෙනත් දෙනවා. ඉස්පිරිතාලෙන් කෑම හැමදේම හොඳට ලැබුණා. මේ හැමදෙයක්ම බලපාලා මම නැවත පියවි ලෝකෙට ආවා. ජනාධිපතිතුමා, අගමැතිතුමා, ඇමැතිතුමිය, හමුදාපතිතුමා මම කියන්න ඕන කොරෝනා රෝගියා හමුවෙන විට ඒ ගොල්ලෝ සියලු කටයුතු සංවිධානය කර තිබූ නිසයි මාව බේරුණේ. බේත්, ජැකට්, ග්ලවුස්, මාස්ක්, යන්ත්‍ර හැමදේම තිබුණා.
ඔබ රෝහල්ගතව සිටියදී ගෙදර දුව, පුතා, බිරිය මුහුණ දුන්නේ කෙබඳු තත්ත්වයකටද?
ආරක්ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙදර ගැන බැලුවා. MOH, ගෙදරට PHI එවලා ප්‍රශ්න විසඳුවා. ආරක්ෂාව නොදුන්නා නම් මිනිස්සු අපට ගල් ගහන්නත් ඉඩ තිබුණා. අපේ රටේ අමුතු ජාතියෙ මිනිස්සු ඉන්නවනෙ. කොරෝනා හැදුණට වඩා ලොකු පීඩනයක් සමහරු මට දුන්නා.
ඒ තොරතුරු රෝහලට ලැබුණෙ කොහොමද?
මට ක්‍රමයෙන් සුවය එද්දි මම ටෙලිෆෝන් එකෙන් ගෙදරට කතා කළානෙ. එතකොට බිරිය විස්තර කිව්වා.
ආනන්ද විද්‍යාලෙ පුතා සම්බන්ධව කලබල ඇති වූ බව ආරංචි වුණාද?
ඔව්. ඔක්කොම දැනගත්තා. විදුහල්පතිතුමා අපි වෙනුවෙන් පෙනී සිටියා.
මේ ප්‍රශ්න ඔළුවට බරක් වුණේ නැද්ද?
නැහැ. මට දරාගන්න පුළුවන්කම තිබුණා. මෙතැනදි මම කිවයුතු තව කාරණයක් තියෙනවා. මගෙ නොම්මරේ සොයාගෙන තරුණ යුවළක් මට කතා කළා. ඒ අය මා දන්නා හඳුනන අය නොවෙයි. ඒ නංගියි මල්ලියි මට වීරසූරිය කන්දේ පාලිත ධම්ම කියලා ස්වාමීන් වහන්සේ නමක් සම්බන්ධ කළා. උන්වහන්සේ මට භාවනා කරන්න උපදෙස් දුන්නා. මගේ තත්ත්වය යහපත් වෙන්න ඒක ලොකු පිටිවහලක් වුණා. මාලබේ හෙළ ඔසු සුවය කියන ආයතනයත් මට කැඳ සකස් කර එව්වා. මේක අනුන්ට පිහිට වෙන පුදුමාකාර මිනිස්සු ඉන්න රටක්. රෝහලේ අධ්‍යක්ෂ අසිත රත්නායක මහත්තයා වගේම විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ මහත්තයගෙ පුදුම කැපවීමක් තියෙන්නෙ. ඇවිත් වචන දෙකක් කතා කරලා ගියත් ලෙඩ්ඩු සනීප වෙනවා.
මම මේක අවස්ථාව කරගන්නවා රෝහල් කාර්ය මණ්ඩලයේ සෑම සේවක මහත්මයකුටම මගේ හදවතේ ඉහළම ගෞරවය පුද කරන්න.
කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඇතුළු කාර්ය මණ්ඩලයේ අතිවිශිෂ්ට කැපවීම මා අගය කරනවා. ඒ වගේම මගේ වෘත්තියට අදාළ ගයිඩ් ඇසෝසියේෂන් එකත් සංචාරක මාර්ගෝපදේශන නියාමන ආයතනයත් කළ කැපවීමට කෘතවේදිත්වය පළ කරනවා.
කොරෝනා රෝගය සම්බන්ධව ඔබ රටට දෙන පණිවුඩය කුමක්ද?
මම දෙන පණිවුඩය තමයි කාට හරි මේ රෝග ලක්ෂණ තියෙනවා නම් හැංගි හැංගි ඉන්න එපා. වහාම රජයේ රෝහලකට යන්න. බොහොම කරුණාවන්තව ඔබගේ සියලු කටයුතු කරනවා. ඔබ ඉල්ලන හැමදේම නොමිලේ දෙනවා. ෙදාස්තර මහත්තුරු අර ප්ලාස්ටික් ඇඳුම ඇඳලා ලෙඩා බලලා එහාට ගියාට පස්සේ අපි දකිනවා ඇඳුම ගලවද්දි ඔවුන් මහ වැස්සකට තෙමිලා වගේ දහඩිය ගලනවා. එම සියල්ලම ගලවා ඉවත් කරනවා. බේත්වලට, ඒ ඇඳුම්වලට අතිවිශාල වියදමක්.
ඉතාලියට ගිය පිරිසට මොනවා වුණාද කියා ඔබට දැනගන්න ලැබුණද?
නැහැ. රෝහලේ සිටියදී ඒක හොයන්න පුළුවන් තත්ත්වයක මම හිටියෙ නැහැ.
නිරෝධායනය තුළ ඔබ තව කොපමණ දවස් නිවෙසේ සිටිය යුතුද?
තවත් දින 21ක් සිටිය යුතුයි.
ඔබ නැවත නිවෙසට පැමිණීම ගැන දුව, පුතා, බිරිය මොකද කීවේ?
ඒ ගොල්ලට සන්තෝසයි. මේක මාරාන්තික රෝගයක්. මැරෙන්නෙ නැතුව බේරීම ගැන සතුටු වෙනවා.
ඔබ ඉතාලියෙ ගොඩක් කල් ඉඳලා තියෙනවා. මේ වනවිට කොරෝනා රෝගයෙන් දිනකට 700ක් මිය යනවා. ඉතාලියේ සෞඛ්‍ය සේවා දුර්වලද?
නැහැ. අපට වඩා වෛද්‍ය තාක්ෂණය දියුණුයි. සම්පත් සුපිරියි. මගෙ දරුවො දෙන්නම හම්බ වුණේ එහේ රෝහල්වල. ඒගොල්ලන්ට වුණේ ඒගොල්ලො කියපු දේ ගණන් ගත්තෙ නැහැ. කිසි කෙනෙක් මාස්ක් එකක් දාගෙන පාරෙ ගියේ නැහැ. විහින් කරගත් දෙයක් මම නම් හිතන්නෙ.
- උදේනි සමන් කුමාර