1946 නිදහසෙන් පසුව පාර්ලිමේන්තුව තුළ සිංහලෙන් හා දෙමළෙන් කතා කිරීමට අවකාශ ලැබුණි. ඒ අනුව සභානායක එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමුවෙන්ම සිංහලෙන් කතා කළේය. ඔහු අනුගමනය කරමින් එවකට විපක්ෂයේ සිටි මන්ත්‍රිවරියක් ප්‍රථමවරට සිංහලෙන් පාර්ලිමේන්තුව ඇමතුවාය.
ඇය අන් කවරෙකුවත් නොව අධිරාජ්‍යවාදී පාලනයට එරෙහිව දිගටම සටන් වැදුණු, වාමාංශික ව්‍යාපාරයේ පුරෝගාමියා හැටියට සැලකෙන පිලිප් ගුණවර්ධන මහතාගේ දයාබර බිරිය වූ කුසුමා ගුණවර්ධන මහත්මියයි. සිය පුතුන් සිවුදෙනාම දේශපාලන කරළියට යැවූ ඇය නිතරගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රථම මන්ත්‍රිවරියද වූවාය.
පිලිප් ගුණවර්ධන මහතා 1956 පොදුජන විප්ලවයේ පුරෝගාමියකු වූ මැතිවරණයෙන් බලයට පත්වූ මහජන එක්සත් පෙරමුණු රජයේ ආහාර හා කෘෂිකර්ම ඇමැතිවරයා බවට පත්විය. 1912 මැයි 26 වැනි දින තංගල්ලේදී උපත ලද කුසුමාගේ මවුපියෝ වූයේ තංගල්ල මැදකැටියේ ෙදාන් දාවිත් අමරසිංහ සහ මාගල්ලේ කච්චියවත්තේ සොපිනෝනා අමරසිංහය. ඇය මූලික අධ්‍යාපනය ලැබුවේ තංගල්ලේ ශ්‍රී රාහුල විදුහලෙනි. පසුව ඇය මාතර නිර්මල මරියා කන්‍යාරාමයේ නේවාසික ශිෂ්‍යාවක ලෙස ඉංගී්‍රසි අධ්‍යාපනය ලැබුවාය.
බුද්ධාගමට මෙන්ම සිංහල භාෂාවටද එකල කුඩම්මාගේ සැලකිලි දැක්වුණු නිසා ඇගේ මවුපියන් ඇයව කොළඹ බෞද්ධ විදුහලක් වූ මියුසියස් විද්‍යාලයට ඇතුළත් කරනු ලැබීය. පසුව වාමාංශික ව්‍යාපාරයේ ගිනිසිළුවක් බවට පත්වූ විවියන් ගුණවර්ධනද එකල එම විදුහලේ උගත් අතර කුසුමාට විවියන් මුණගැසුණේ එහිදීය. විවියන්ගේ මාමා කෙනකු වූයේ බොරලුගොඩ රාලහාමිගේ පුතුන් කීපදෙනාගෙන් කෙනෙකු වූ පිලිප්ය. ඉංගී්‍රසි පාලකයන්ගේ තාඩන පීඩනවලට ගොදුරුවී සිටි පීඩිත පන්තියට අයත් ගොවි කම්කරු ජනතාවගේ ආරක්ෂාව උදෙසා පිලිප් ඇතුළු වාමාංශික නායකයන් එකල ඔවුන්ගේ පැත්ත ගෙන තැන් තැන්වල රැස්වීම් පැවැත්වූ අතර කුසුමා සහ විවියන්ද එම රැස්වීම් බලන්නට යෑමට පුරුදුවී සිටියහ. සිංහයකුගේ විලාසයෙන් ජනතාව ඇමතූ බොරලුගොඩ සිංහයා (පිලිප්) ගැන කුසුමාගේ සිතේ ඇල්මක් ඇති වූයේ ඒ අතරතුරදීය. පසුව ඒ ඇල්ම ආදරයක් බවට පත්වූ අතර කුසුමා ඒ පිළිබඳව විවියන්ටද කීවාය. කුසුමාගේ හා පිලිප්ගේ කුලුපගතාව ගැන විවියන් බොරළුගොඩ වලව්වේ වැඩිහිටියන්ට දැන්වූ අතර ඔවුන් ඇය ගැන විපරම් කර බලා අවසානයේදී තීරණයකට එළඹුණහ. 1939 ජුනි මස 30 දින පිලිප් හා කුසුමා අතිනත ගත්හ. බොරළුගොඩ වලව්වේ ගුණවර්ධන පවුලට එක්වීමත් සමඟම එතෙක් භාවිත කළ කුසුමා අරමසිංහ යන නම කුසුමා ගුණවර්ධන යනුවෙන් වෙනස් විය.
වලව්කාරයකු වුවද අධිරාජ්‍යවාදයට හා ධනේශ්වර වාදයට එරෙහිව පිලිප් බලගතු හඬක් නැඟූ අතර ඇන්.ඇම්,, කොල්වින් වැනි වාමාංශික නායකයන් හා එක්වී හිරබත්වල රස බලන්නට ඔහුටද සිදුවිය. හිරභාරයේ සිටි පිලිප් ඇතුළු වාමාංශික නායකයන් කීපදෙනා හිරෙන් පැන ඉන්දියාවට ගොස් රහසිගතව ජීවත් වෙන විට කුසුමාද කෙසේ හෝ එහි ගොස් ඔහු හා සමඟ එකට ජීවත් වූවාය. එහිදී ඔවුන් දෙදෙනා පෙනී සිටියේ වෙනත් නම් භාවිත කරමිනි. ඔවුන්ගේ පළමු දරුවා බිහිවූයේ ඉන්දියාවේදීය. මාස ගණනක් ගතවූ විට ඉන්දියානු පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබූ අතර ටික කලක් එරට හිර ගෙදර ගත කිරීමෙන් පසුව මුරකාවල් මැද ඔවුහු ලංකාවට ගෙන එනු ලැබූහ. ඉන්පසුව පිලිප්ට එරෙහිව නඩු පැවරිණි. සිර ගෙදරින් පැන යෑම ඔහුට විරුද්ධව එල්ල වූ චෝදනාව විය. නඩු තීන්දුවට අනුව ඔහුට යළිත් හිරගෙදර තපින්නට සිදුවිය.
1947දී ලංකාවේ ප්‍රථම මැතිවරණය පැවැත්වෙන විට හෙතෙම නිදහස ලබා සිටියේය. ලංකා සම සමාජ පක්ෂයෙන් අවිස්සාවේල්ල අසුන තරගකොට වැඩි ඡන්ද විශාල සංඛ්‍යාවකින් ජයග්‍රහණය කළද වැඩ වර්ජනයකට සහාය දීමේ චෝදනාව මත පැවරුණු නඩුවක් නිසා පිලිප්ට යළිත් බන්ධනාගාර ගතවීමට සිදු වීමෙන් මන්ත්‍රි ධුරයේ රැඳී සිටීමට ඉඩක් නොලැබුණි. අනතුරුව අවිස්සාවේල්ල අසුනට ලංකා සම සමාජ පක්ෂයෙන් කුසුමා තරග කළ අතර එහිදී නිතරගයෙන්ම අසුන ජය ගැනීමට ඇයට හැකිවිය. කිරිඇල්ල නියෝජනය කළ ෆ්ලෝරන්ස් සේනානායකට පසුව පාර්ලිමේන්තුවට පත් දෙවන කාන්තාව ඇයයි. 1948 මැයි මස 18 දින ඇය පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන්නාය.
එකල එක්සත් ජාතික පක්ෂය බලයේ සිටි නිසා ඇය කටයුතු කළේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රිවරියක් ලෙසිනි. 1952 පැවැති මැතිවරණයේදී ඇයට අවිස්සාවේල්ල ජයගැනීමට හැකිවිය. මහජන එක්සත් පෙරමුණ 1956 බලයට පත්වුණු අවස්ථාවේ පිලිප් අවිස්සාවේල්ල ආසනයෙන්ද කුසුමා කිරිඇල්ල ආසනයෙන්ද මැතිසබයට තේරී පත්වූහ. අයුක්තියට, අසාධාරණයට එරෙහිව සටන් කිරීමට පිලිප් පෙලඹුණු නිසාදෝ කුසුමාද සටන්කාමී කාන්තාවක් වූවාය. වාමාංශික පක්ෂ එක්ව 1953දී හර්තාලයක් දියත් කළ අවස්ථාවේදී අවිස්සාවේල්ල ආසනයට අයත් හංවැල්ල ප්‍රදේශයේ සිට කුසුමා එම ආසනයේ ජනතාවද අරගලය සඳහා යොමු කිරීමෙන්ම එය මැනවින් පැහැදිලි වේ.
ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව කාත්නාවන්ටද අයිතීන් දිනා ගැනීම සඳහා ගුණවර්ධන මහත්මිය හැකි සෑම විටෙකම සටනේ යෙදුණාය.
ඉංග්‍රීසින්ගේ අධිරාජ්‍යවාදී පාලනයට හා ධනේශ්වර ක්‍රමයටද එරෙහිව ගොවි, කම්කරු පන්තිය වෙනුවෙන් සටනක නිරතව හිරබත් පවා කන්නට සිදුවුණු පිලිප් වැනි සැමියකුගේ බිරිය වීමෙන් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දීමට සිදුවුණද ඇය ඒවා තුට්ටුවකටවත් ගණන් නොගත්තාය. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගයට ඇයද නිරතුරුව සහාය දුන්නාය. අවිස්සාවේල්ල හා කිරිඇල්ල මන්ත්‍රිවරිය වශයෙන් කටයුතු කළ ඇය වරෙක කොළොන්නාව අසුනටද තරග කළ නමුත් එම ප්‍රයත්නය සාර්ථක නොවීය. පිලිප් ගුණවර්ධන මහතා දේශපාලනයේ නියැළී සිටිනතුරුම ඇයද දේශපාලනයට සම්බන්ධව සිටි අතර 1972දී ඒ මහතාගේ අභාවයෙන් පසුව ඇයද දේශපාලනයෙන් සමු ගත්තාය. 1985 අප්‍රේල් 30 දින කුසුමා ගුණවර්ධන මහත්මිය මෙලොවින් සමුගත්තාය.
ජයන්තා කුමාරි සමණබැද්ද