සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිත ක්‍රීඩකයන් 20 දෙනකුගෙන් සමන්විත මූලික සංචිතයක් ජාතික තේරීම් කමිටුව නම් කර ඇති බව වාර්තා වේ.
මෙම මූලික සංචිතය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ඇතුළත් කර තිබීමද විශේෂත්වයකි. එමෙන්ම පසුගිය පාකිස්තාන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා පිල නියෝජනය කළ ළහිරු තිරිමාන්න, මිනෝද් භානුක, සධීර සමරවික්‍රම සහ ඇන්ජලෝ පෙරේරාට මෙහිදී අවස්ථාව අහිමි වී ඇති අතර තිසර පෙරේරාට ජාතික සංචිතයක ස්ථානයක් හිමිව ඇත්තේ 2019 වසරේ ජූලි මාසයෙන් පසුව වීමද විශේෂත්වයකි.
කෙසේ වෙතත් 22 වැනිදා ආරම්භ කිරීමට නියමිත ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන අවසාන 15 දෙනාගේ ශ්‍රී ලංකා සංචිතය මෙම මස 17 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මෙම මස 22 වැනිදා දිවා තරගයක් ලෙසින් කොළඹ එස්.එස්.සී. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 26 වැනිදා දෙවැනි එක්දින ක්‍රිකට් තරගය දිවා-රාත්‍රි තරගයක් ලෙසින් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර එම ක්‍රීඩාංගණයේදී එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පවත්වන්නේ 2017 වර්ෂයේ ජූලි මාසයෙන් පසුව වීමද විශේෂත්වයකි. තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය මාර්තු මස 1 වැනිදා දිවා-රාත්‍රි තරගයක් ලෙසින් මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මේ අතර දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 2කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මාර්තු 4 වැනිදාත් දෙවැනි තරගය 6 වැනිදාත් පැවැත්වෙන්නේ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.
තවද එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර සංචාරක කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවේදී පුහුණු තරග 2කටද සහභාගි වීමට නියමිතය. එහි පළමු පුහුණු තරගය මෙම මස 17 වැනිදා පී. සරා ඕවල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙවැනි පුහුණු තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමඟින් 20 වැනිදා කටුනායක නිදහස් වෙළෙඳ කලාපීය ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා එක්දින හා විස්සයි-20 සංචිතය
දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, තිසර පෙරේරා, වනිඳු හසරංග, භානුක රාජපක්ෂ, ඕෂධ ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, ළහිරු කුමාර, ලසිත් මාලිංග, කසුන් රාජිත, ශෙහාන් ජයසූරිය, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන.
"මව්බිම"