මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජපානයේ සිදු වූ පළමු මරණය අද වාර්තා වුණා.
මෙය චීනයෙන් පිට වාර්තා වූ තෙවන පුද්ගල මරණයයි.
කොවිඩ් 19 වෛරසය ආසාදනයවීමෙන් ගතවූ පැය 24 තුළ වාර්තා වූ මරණ 242ම සිදුව ඇත්තේ චීනයේ හුබෙයි පළාතේයි.
කොවිඩ් 19 වෛරසය ලොවපුරා ආසාදනයවූවන්ගේ ගණන 60,061ක්.
වෛරසය පිළිබඳ නව දත්ත වාර්තාවීමත් සමඟ චීනයේ කොම්යුනිස්ට් බලධාරීන් හුබෙයි පළාතේ කොම්යුනිස්ට් පක්ෂ ලේකම්වරයා ධුරයෙන් ඉවත් කර ඊට ෂැංහයි හි පක්ෂ ප්‍රධානියා පත්කර තිබෙනවා.
මේ වෛරසයට එරෙහිව සටන් වැදීමට චීන ජනතාව එකාමෙන් පෙළ ගැසී සිටින අතර 67 හැවිරිදි විශ්‍රාමික වෛද්‍යවරයෙකු රෝගීන් ප්‍රතිකාර කිරීම සඳහා යළි සේවයට එක්වුණා.
කාර්ය බහුලත්වය නිසා එකිනෙකා මුණ නොගැසුණු පොලිස් නිලධාරියෙකු වන සැමියා සහ හෙදියක වන බිරිඳ දින 16කට පසු මුණ ගැසුණු සංවේදී අවස්ථාවක් දැක්වෙන වීඩියෝවක් මේ වනවිට හුවමාරු වනවා.
රෝගීන්ට ප්‍රතිකාර කිරීමට දිවා රෑ වෙහෙසෙමින් සේවය කරන හෙදියක් නිවසේ සිටින තම දරුවා සමඟ වීඩියෝ ඇමතුම් මගින් සම්බන්ධ වන ආකාරය දැක්වෙන වීඩියෝවක්ද මේ අතර වනවා.
එකිනෙකාට දුරස්ව සිටිමින් සේවය කිරීමට සිදුව ඇති හෙදියක් සහ ගිනිනිවන භටයෙක් අතර වීඩියෝ ඇමතුමක් ඔස්සේ සිදුවන අපූරු විවාහයක් චීන මාධ්‍ය වාර්තා කළා.
වෛරසය ආසාදනයවීමෙන් මියගිය පුද්ගලයන්ගේ මෘත දේහ ආදාහනය කිරීමේදී පිටවන දුම හේතුවෙන් කපුටන්ගේ ගහනයේ වැඩිවීමක් චීනයේ නගර රැසකින් දැකගත හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර ජපානයේ යොකොහමා වරායේ නවතා ඇති පුද්ගලයන් 3600 ක් රැගත් ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන් තවත් ආසාදිතයන් 44 දෙනෙකු හමු වී තිබෙනවා.
ඒ අනුව අදාළ නෞකාවෙන් මේ වන විට හමු වූ කොවිඩ් 19 ආසාදිතයන් ගණන 219 ක්.
කොවිඩ් 19 වෛරසය පාලනය කිරීමට ගන්නා උත්සාහයන් අසාර්ථක වුවහොත් ලෝක ජනගහනයෙන් සියයට 60 කට පමණ මෙය වැළදීමේ අවදානමක් පවතින බව හොංකොං හි සෞඛ්‍ය ඒකකයේ ප්‍රධානී මහාචාර්ය ගේබ්‍රියල් ලියුන් අනතුරු අඟවනවා.
ඔහු පෙන්වා දෙන්නේ කොවිඩ් 19 වෛරසය වැළඳීමෙන් මියගිය සංඛ්‍යාව රෝගයට ගොදුරු වී ඇති පිරිස හා සැසඳීමේදී සියයට 1 ක පමණ අගයක් ගත්තද මින් ඇතිවිය හැකි තත්ත්වය ඉතා බරපතළ බවයි.
මේ අතර කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය ආසියාවට විශාල බලපෑමක් කරනු ඇති බැවින් එය යථා තත්ත්වයට වීමට අවම වශයෙන් මාස 6 ක් පමණ ගතවෙනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් පවසනවා.
පළමු මාස කිහිපය චීන සමාගම්වලට පමණක් නෙමෙයි. ආසියානු මෙන්ම ඇමරිකානු සමාගම්වලටත් යම් පීඩනයක් ඇති කරනු ඇති.
මේ අතර චීනය තුළ ආසාදිත පුද්ගලයන් වෙඩි තබා ඝාතනය කරන බවට පැවසෙන වීඩියෝවක්ද සමාජ මාධ්‍යයේ සංසරණයවනවා.
මෙරට චීන තානාපති කාර්යාලය මේ සම්බන්ධව නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ අදාළ වීඩියෝව අසත්‍ය අසත්‍ය එකක් බවයි.
වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා චීනය උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති පසුබිමක මනුෂ්‍යත්වයට එරෙහිව තම රට ක්‍රියාකරන බවට එල්ලවන මෙම ප්‍රහාර දැඩිව හෙළා දකින බව එම නිවේදනයේ සඳහන්.
මේ අතර ශ්‍රී ලංකා - චීන මිත්‍රත්ව සංසදය කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ඉදිරිපිටට රැස්ව මේ අවස්ථාවේ තමන් චීන රජයට සහය දක්වන බවට සංදේශයක් භාරදුන්නා. VIDEO