ගායනයට ඔබේ දක්ෂකම් හඳුනාගත්තේ?
පොලොන්නරුව තෝපාවැව මහා විද්‍යාලයේ ඉගෙනගන්න කාලේ. ඒ පාසලේ පවත්වපු පළමුවැනි ගායන තරගයෙන් කනිෂ්ඨ අංශයෙන් ප්‍රථමයා වෙන්න මට පුළුවන් වුණා. එදා තමයි මට ගීත ගයන්න පුළුවන් කියන හැඟීම ආවේ. ඉන්පස්සේ ඉස්කෝලෙත් ටිකක් ජනප්‍රිය වෙන්න ගත්තා. ඩෙස්ක්වලට ගහලා සින්දු කියලා අනන්ත අප්‍රමාණ ගුටි කාලා තියෙනවා.
එතකොට සංගීත කණ්ඩායමකට සම්බන්ධ වුණේ?
ඩ‍්‍රම්ස් වාදන ශිල්පියෙක් විදිහට සංගීත කණ්ඩායමකට සම්බන්ධ වෙනකොටත් මං ඩ‍්‍රම් සෙට් එකක් අල්ලලාවත් තිබුණේ නෑ. පොඩි කාලේ ඉඳන් කෝටුවලින් පුටුවලට ගහලා ලබපු අත්දැකීම තමයි පුරුද්දකට කියලා තිබුණේ.
හැබැයි සංගීත කණ්ඩායමේ මුල්ම දවසෙම මම හරියට වාදනය කළා. ඉන්පස්සේ දිගටම බෑන්ඩ් එකේ ඩ‍්‍රම්ස් වාදනය කළා වගේම ගායකයා විදිහට කටයුතු කළා. පස්සේ මම ‘‘කුමර ගීත්’’ නමින් මගේ පළමුවැනි ඒක පුද්ගල ගී ප්‍රසංගය පොලොන්නරුව ධවල මන්දිරයේ කළා. ඒකෙ සංගීතය සැපයුවේ මම සංගීතය සපයපු සංගීත කණ්ඩායම. නමුත් මගේ දෙවැනි ප්‍රසංගයේදී ඔවුන් ඒක මඟහැරියා.
ඉතිං පාසලේ තිබ්බ සම්බන්ධකම් සහ කෙඩෙට් කරන කොට අඳුරගත්ත කොල්ලෝ කට්ටියක් හිටියා කඩුවෙල බෝමිරිය මහා විද්‍යාලයේ. එයාලා මට හරි ආදරෙයි. මගේ ගායන හැකියාවන් නිසාම. පස්සේ එයාලා මට ආරාධනාවක් කළා කඩුවෙල සංගීත ප්‍රසංගයකට සහභාගි වෙන්න කියලා.
ඒ අඳුන ගත්ත යාළුවෙක් මාර්ගයෙන් මගේ දෙවැනි ප්‍රසංගය සූදානම් වුණා. මං සම්බන්ධ වෙලා හිටිය සංගීත කණ්ඩායම මගේ ප්‍රසංගය ප්‍රතික්ෂේප කළ නිසා, එවක ජනප්‍රියම තලයේ හිටපු සංගීත කණ්ඩායමක් වන උපාලි සන්නස්ගල ප්‍රමුඛ සුපර් සෙවන් කණ්ඩායම පොලොන්නරුවට ගෙනල්ලා මගේ ප්‍රසංගය සාර්ථකව කරගන්න මට පුළුවන් වුණා.
එතෙන්දි තමයි සංගීත කණ්ඩායමේ හිටපු උපාලි අයියලා අශෝක අයියලා කිව්වේ. ඔය වගේ කෙනෙක් පොලොන්නරුවට වෙලා ඉන්න ඕන නෑ එන්න අපි උදව් කරන්නං කියලා. ඔවුන්ගේ සංගීත ප්‍රසංග සඳහා මට ආරධනා කළා කොළඹ එන්න කියලා. ඉතිං උත්සව සහ සංගීත ප්‍රසංග සඳහා ඔවුන් සමඟ මං ගීත ගායනා කරමින් ඉන්න අතරතුර තමයි. මට අරාධනා ලැබුණේ කොළඹ සංගීත කණ්ඩායමකින් ඩ‍්‍රම්ස් වාදන ශිල්පියකු වශයෙන් කටයුතු කරන්න.
එතකොට ඔබේම ගීත?
ඒ අතරතුර තමයි, මට මගේම ගීත ටික කරගන්න වාසනාව ලැබුණේ. මම සිතින් පතා ඉන්නම්, සඳ සේ උදාවී, පුංචි පුතු මගේ, ඔබට ලියනා මුල්ම ලිපියයි ගීත හතර මා විසින්ම ලියලා තනු නිර්මාණ කරගෙන සංගීතවත් කරගෙන කැසට් එකකට රෙකෝඩ් කරගෙන ඇවිල්ලා අශෝක මහත්මයාගේ උදව් ඇතුව මුල්ම ගීත හතර පටිගත කළා.
ඒ අතර මං ගුවන් විදුලි සංස්ථාවේ සරළ ගී පරීක්ෂණයකට පෙනී ඉඳලා මං බී ශ්‍රේණියේ ගායකයෙක් බවට පත්වුණා. ඊටපස්සේ මගේ ගීත ගුවන් විදුලියේ ප්‍රචාරය වෙන්න පටන් ගත්තා. 90 දී මං පිවිතුරු හද ළඟ කැසට් එක කළා.
පළමුවැනි කැසට් එක විකුණුවේ කොහොමද?
ඒක විකුණගන්න අපමණ දුකක් වින්දා. මල්වත්ත පාර පුරා ඇවිද්දා කැසට් එක බෑග් එකක දාගෙන විකුණගන්න. කැසට් එක පෙන්නුවහම හුඟක් අය අවඥාවෙන් හිනා වෙලා, ගම පොලොන්නරුව කිව්වම, කැසට් එක මගේ මූණට විසික් කරලා තියෙනවා. දැන් වගේ නෙමෙයි ඒ කාලේ පොලොන්නරුවේ කිව්වම ග්‍රාම්‍යයයි කියලා.
හිතලා ප්‍රතික්ෂේප කරනවා. කිසි කෙනෙක් මගේ කැසට් එක ගත්තේ නෑ. ආසාව නිසාම මමත් උත්සාහය අත්හැරියේ නෑ. විටින් විට ගියා. හැබැයි සමහර වෙලාවට හරියට කලකිරුණා. මං ඒ කාලේ දන්නෙත් ගෝල්ෆේස් එක විතරයි. දවසක් මෙහෙම ඇවිදලා ඇවිදලා බැරිම තැන එපාම වුණු තැන ගෝල්ෆේස් එකට ගියා. කැසට්, බෑග් එක පිටින් මුහුදට විසික් කරන්නත් හැදුවා. කාලතුවක්කුවක් ළඟ වාඩිවෙලා මං හොඳටම ඇඬුවා දවසක්.
අන්තිමට මං හිතුවා ආයෙත් උත්සාහ කරන්න ඕන කියලා. එක දවසක් මල්වත්ත පාරේ හිටපු ද්‍රවිඩ කඩහිමියකුට මං දිගින් දිගටම පෙරැත්ත කරද්දී මගේ කරදරෙන් බේරෙන්න බැරුව දෙන්නකෝ කියලා අරගෙන එයාගේ කඩේ කැසට් එක දැම්මා. දැන් එයා කැසට් එක දාලා තියලා එයාගේ වැඩ. මං එළියට වෙලා හිටගෙන ඉන්නවා. මට දැන් ඇතිවෙලා. සිංදු දෙකක් තුනක් ඉවරයි. මේ මනුස්සයා මට මුකුත් කියන්නෙත් නෑ මේක ගන්නෙත් නෑ.
කැසට් එක හයියෙන් දාලා සින්දු ඇහෙනවා මිනිහා මිනිහගේ වැඩ. අන්තිමට කැසට් එකේ ගීත ඔක්කොම වාදනය වෙලා ඉවර වුණා. මමත් ඉවසගෙන කඩේ ඉස්සරහ පාරේ හිටගෙන හිටියා, ඒ මුළු වෙලාවේම. අන්තිමට සින්දු ටික මරු කියලා මගෙන් කැසට් 25ක් ගත්තා. මට චෙක් එකක් දුන්නා. ඇත්තටම මට බැංකු ගිණුමක්වත් නෑ.
මට හරි සතුටු හිතුණා එදා. ඊළඟ සැරේ එනකොට ඒ කැසට් 25 ඉක්මනින්ම විකිණිලා තිබ්බා. ඔය විදිහට මං ගහලා තිබ්බ කැසට් දාහ ඉවරවුණා. ඉස්සර පොලොන්නරුවේ හමුදා කෑම්ප්වලට තමයි මං කැසට් එක වික්කේ. කැසට් එක හමුදා සෙබළුන් අතරේ ඉතාම ජනප්‍රිය වුණා. ඔවුන් ඒ කැසට් ඔවුන්ගේ ගමේ යනකොට ගෙවල්වල ගෙනියනවා.
ඉතිං ගෙදර ඉන්න නංගිලා මල්ලිලා මේ සින්දුවලට ආසා වෙලා මේ කැසට් එක රෙකෝඩ් බාර්වල හොයන්න ගත්තා. රෙකෝඩ් බාර් සහ සේල්ස් එන වෑන්වල අය එහෙම කැසට් එකේ අයිතිකාරයා හොයන්න ගත්තා. කොහොම හරි කොටුවේ මගේ කැසට් එක ගත්ත කඩේ කෙනාට මේකේ ඉල්ලූම වැඩි වුණා.
නමුත් මට ඒ ඉල්ලන කැසට් ප්‍රමාණය දෙන්න තරම් මුදලක් තිබුණේ නෑ. හරි අසරණ වුණා ඉතිං මගේ කැසට්වල ලේබල් මුද්‍රණය කළේ ජිප්සීස් ආයතනය. ඉතිං කැසට් ඉවරවුණාට පස්සේ නැවත මං ගියා.
ඔවුන් ළඟට ආයේ ලේබල් මුද්‍රණය කරගන්න. ඔන්න ඒ වෙලාවේ කැසට් මිල 70 ඉඳන් 75 වෙලා තිබුණා. මං ගිහිං 75 දාලා මට මුද්‍රණය කරලා දෙන්න කිව්වා. කොහොමහරි මොකක්හරි වරදකින් මුද්‍රණය වෙලා තිබුණේ 70 මුදල දාලයි, මුද්‍රණය වෙලා තිබුණේ. ඒ පාර ලාල් අයියා කිව්වා ඒක හදලා දෙන්නම් අහවල් දවසට එන්න කියලා.
ඉතිං දෙවැනි සැරේ ගියාම ලේබල් ටික ගන්න මං ලාල් පෙරේරා අයියට කැසට් එක දීල කිව්වා අනේ අයියේ මට මේක විකුණගන්න හරි අමාරුයි. පුළුවන් නං මොකක්හරි කරන්න කියලා. පස්සේ ලාල් අයියා කිව්වා හරි කැසට් එකක් තියලා යන්න මං අහලා කියන්නම් කිව්වා.
ඉතිං මං පහුවදා එනකොට එයා ඒ කැසට් එක අහලා හරි සතුටට පත්වෙලා හිටියා. ඉතිං අන්තිමට ඉල්ලපු කවර 3000 දුන්නෙත් නෑ. ඒ සල්ලිත් මට ආපහු දුන්නා. දීලා ඔහු කිව්වා ඔයාගේ කැසට් අපි කරන්නම්, දැන් පොලොන්නරු යන්න කලින් ටී.වී ඇඩ් එකක් කරන්න ඕන කියලා. මං පුදුම වුණා. ඒ වෙලාවේ මට ටී.වී ඇඩ් එකකට ඉන්න ඇඳුමක්වත් තිබ්බේ නෑ.
ඊටපස්සේ?
ඉතිං ඔන්න දිගටම මගේ දැන්වීම රූපවාහිනියේ ප්‍රචාරය වෙන්න ගත්තා. ඔවුන් විකිණෙන විදිහට මුදල් ගෙවන පදනම මත කටයුතු කළේ. මට සල්ලි නැති වුණත් සල්ලි නෙමෙයි එදා ඕන වුණේ මේ ගීත ටික ජනගත කරගන්න. ඒක තමයි සතුට වුණේ. දැන් රූපවාහිනියේ දැන්වීම් යනවා, ගුවන් විදුලියෙ මගේ ගීත සහ වැඩසටහන් ප්‍රචාරය වෙනවා හරි සතුටුයි, මං මගේ වැඩ කරගෙන ඉන්නවා.
ඔහොම මාස දෙකක් විතර ගියා. මේ කැසට් එක මුලින්ම කරද්දී කැසට් එක කරගන්න මම ඥාතියකුගෙන් ණයක් අරං තිබුණා තිස් පන්දාහක. දැන් ඒක ගෙවාගන්න විදිහක් නෑ. ඒ ගමන් මගේ බිරිඳ කිව්වා පොඩ්ඩක් පුළුවන් නං ගිහිං බළල එන්න රු. පන්දාහක් හරි තිබුණොත් ඒක හරි දෙන්න පුළුවන්නේ කියලා. ඉතිං සුපර් සෙවන් කණ්ඩායමේ සංගීත ප්‍රසංගයකට
සහභාගී වෙන්න ආව වෙලාවේ මං ජිප්සීස් එකටත් ගියා බලන්න. ගියාම ලාල් අයියා කිව්වා මල්ලි ඔයා කොහෙද හිටියේ අපිට හොයාගන්නත් නෑ ඔයාව කියලා. අලූත් ෆයිල් එකක් ඇරලා මට කිව්වා මාසයකට සැරයක්වත් ඇවිල්ලා මේ සල්ලි අරගෙන යන්න කැසට් එකේ කියලා.
මට අත්සන් කරන්න දුන්නා ලිපියක්. මට අත්සන් කරන්න දුන්න කොලේ පන්දාස් දෙසීයක මුදලක් තිබ්බා. මං අත්සන් කළාම ඒගොල්ලෝ ලොකු සල්ලි මිටියක් මගේ අතේ තිබ්බා. බලපුවාම එතන තිබිල තියෙන්නේ පනස් දෙදාහක මුදලක්. මට ඔලූවේ තිබ්බේ පන්දාහ නිසා පෙනුනෙත් එහෙම.
ජීවිතේ මුල් වතාවට තමයි ඒ වගේ මුදලක් මගේ අතට ආවේ. මට මාර සතුටුයි. ලාල් අයියා කිව්වා මාස්පතා ඇවිත් ඔයාගේ සල්ලි ගන්න දැන් ඔයා ගේ කැසට් එක ඉල්ලන තරමට අපිටත් දීගන්න බැහැ කියලා. ඊට පස්සේ කිව්වා ගිහිං සුනිල් අයියා හම්බවෙන්න ඔයාට ප්‍රසංග ගොඩක් ඇවිල්ලා තියෙනවා කියලා.
සුනිල් අයියා හම්බුණාම එයා ඇහුවා, දිනපොතක් නැද්ද කියලා. කොලයක් අරං ලියාගන්න කිව්වා ප්‍රසංග ලැයිස්තුව. ගොඩක් සංගීත ප්‍රසංග පහුවෙලා තිබ්බා. ඉදිරි ප්‍රසංග ලබලා දුන්නා මට. එදා ගෙදර එද්දී මං හරි නොඉවසිල්ලෙන් ආවේ. කොතරම් නොඉවසිලිමත්ද කියනවා නං බස් එක හයියෙන් යන්නේ නැතිවුණාම මගේ දණිස් දෙකෙන් ඉස්සරහ සීට් එක තල්ලූ කෙරෙනවා. ගෙදර ආව ගමන් ගිහිං මුළු ණය මුදලම පියෙව්ව.
ඔබේ නවකතා ජනප්‍රියයි?
පළමුවැනි නවකතාව පළමුවැනි කැසට් එකේ නමින් ‘‘පිවිතුරු හද ළඟ’’ නමින් එළිදැක්වුවා. දෙවැනි නවකතාව සැමදා ඔබ ළඟ ඉන්නම් නව කතාව ලියමින් ඉද්දී ඒක හිතවත්ම ප්‍රසිද්ධ නළු නිළි යුවළක් ඇවිල්ලා ඉල්ලූවා. ඒක මං ඇත්තටම ලිව්වේ චිත්‍රපටයක් සඳහා.
ඉල්ලූවම මං ඒක ඔවුන්ට පෙන්නුවා ඔවුන් ඒක ඔවුන්ගේ නමින් ඔවුන්ගේ කෘතියක් විදිහට ටෙලි නාට්‍යයක් කරලා විකාශය වුණා. ඉන් පස්සේ නං මට හරියට කලකිරුණා. හැබැයි මං ලියන කතා වෙනස් සහ හොඳ හින්දා වෙන්නැති එහෙම හොරෙන් හරි කරන්න ඇත්තේ.
දැන් අලූත් ලස්සන කතා හතරක් තියෙනවා. ඉන්දියානු චිත්‍රපටයක් විදිහට රූපගත කරන්න සැළසුම් කරලා තියෙනවා. චිත්‍ර පවා අන්දලා තියෙන්නේ ඒ රූප රාමුවල. ලස්සනම කතා හතරක් තියෙනවා ලස්සනම චිත්‍රපට ගීත එක්ක. නිෂ්පාදකයෙක් ලැබුණොත් කරනවා.
චිත්‍ර කතා උමතුව දැන් හොඳද?
මුලින්ම මං ආසවුණේ ගායකයෙක් වෙන්න නෙමෙයි, චිත්‍ර කතා අඳින්න. සතුට පත්‍රය ආව කාලේ ඉඳන්ම මං හරි ආසා වුණා. සරත් මධුගෙ රසිකයෙක් මම. හැමදාම මං ඉස්කෝලේ යනකොට සිත්තර හරි සතුට හරි පත්තරේ තියෙන චිත්‍ර ටික ඔක්කොම මං මගේ චිත්‍ර පොතක ඇඳගෙන යනවා ඒ විදිහටම.
ගායකයෙක් වුණාට පස්සේ මේ චිත්‍ර කතා ශිල්පීන් හැමෝම මට ඇසුරු කරන්න ලැබුණා බොහොම ළඟින්. ඔවුන්ට එදත් අදත් හෙටත් මං හරි කැමතියි. ඒ කාලේ පොළොන්නරුවේ තිබුණේ දීපානි හා ජයන්ති සිනමා ශාලා දෙක. ඒ කාලේ රට වටේම දුවලා දුවලා චිත්‍රපට පොළොන්නරුවට එද්දී කටවුට්වල රූප එහෙම හරියට පේන්නෙත් නෑ.
මම කරන දේ සසර චේතනා චිත්‍රපටයේ මාලනී ෆොන්සේකා මහත්මියගේ චිත්‍රයක් චිත්‍රපට දර්ශනයකට අදාළව එහෙ තිබ්බ ලොකු බොක්ස් බෝඩ් එකේ ඇඳලා සිනමා ශාලාවට ගිහිං දුන්නා ගහන්න කියලා. චිත්‍ර ශිල්පියෙක් විදිහට හරියට ජනප්‍රිය වුණා ඒ කාලේ.
ඇයි පොලොනරුවෙන් ආවේ?
හොඳටම ජනප්‍රිය වෙලා මිනිස්සු මගේ ගීත ඉල්ලන කාලේ පොලොන්නරුවට ගියාම ගීත ප්‍රසංගයකට කීප දෙනෙක් මට ලොකු හූ සංග්‍රහයක් කළා. මුළු ලංකාවම මට අත්පුඩි ගහද්දි මල් මාල දාද්දි ගමෙන් ලැබුණේ එහෙම අත්දැකීමක්. මං එදා කිව්වා ගමෙන් මට ලැබෙන ප්‍රතිචාරය මේක නං මං තවත් මේ ගමේ ඉඳලා වැඩක් නෑ කියලා ගමෙන් ආවා.
එදා මං ගමෙන් එළියට බැස්සේ ආයේ ගමේ සින්දුවක් කියන්නේ නෑ කියලා හිතාගෙන. මට හිතවත් අයත් එදා ඇඬුවා. මට ආදරේ කරපු අය ඒ විදිහට හැසිරුණු අය ගහලා එළවලා තිබුණා. එදා ප්‍රසංගයකට වඩා මළ ගෙයක් වගේ. ගොඩක් අය මට කිව්වා ගමෙන් යන්න එපා කියලා.
නමුත් මගේ හිත හරියට රිදුණා. මොකද ලංකාවම ආදරය කරද්දී මං මගේ ගමට ගියේ හරිම ආදරයකින් ලොකු සතුටකින්. ඉතිං එදා ගමෙන් ආව පාර තවමත් මං පොලොන්නරුවේ සින්දු කියලා නෑ.
ගෙදර?
අම්මයි තාත්තයි ගොවියෝ. තාත්තා ඊට අමතරව පලතුරු වෙළෙඳාමක් කළා. සහෝදරයෝ තුන්දෙනයි සහෝදරියෝ තුන්දෙනයි. බිරිඳ චන්ද්‍රා අමරසිංහ. පාසල් ප්‍රේමයක්. අපි උසස් පෙළ හැදෑරුවේ එකම පංතියේ. ලොකු පුතා සිනෙත්‍ර මාලක. චිත්‍ර කතා උමතුව නිසාමයි එවැනි පත්‍රයක නම ලොකු පුතාට දැම්මේ. දුව සත්මානි චතුරිකා. තුන්වැනියා සත්මින සඳරුවන් පුතා. ගීනෙත් චමත්ක එයා තාම පාසල් යනවා.
"දිවයින"