පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමඟ සංවාදයේ නිරතවීම හේතුවෙන් සේවය අත්හිටුවනු ලැබූ බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාලට ද කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට දැනුම් දීමක් සිදුකර තිබෙනවා.
එහෙත් ඔහු ඊට මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මහේස්ත්‍රාත්වරයා සහ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සංවාදයේ නිරත වන වීඩියෝ පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ හුවමාරු වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ දුරකථන හඬ පට සංවාද සිද්ධියට අදාළව හිටපු මහාධිකරණ විනිසුරු පද්මිනී එන්. රණවකගෙන් ද කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ පැය 2කට අධික කාලයක් ප්‍රකාශයක් ලබා ගත්තා.
එහිදී ඇය අපරාධ කොට්ඨාශය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමඟ දුරකථනයෙන් සංවාදයේ නිරත වූ බවයි.
එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමඟ දුරකථන සංවාදවල නිරතවීමේ සිද්ධීන්වලට අදාළව, ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගෙන් ද කොළඹ අපරාධ කොට්ඨාසය පසුගිය දා පැය 05ක කාලයක් ප්‍රකාශ සටහන් කර ගනු ලැබුවා.
රන්ජන් රාමනායක සමඟ අධිකරණ කටයුතු සම්බන්ධයෙන් දුරකථන සංවාදවල නිරත වූ විනිසුරුවන්ගෙන්, කල් නොයවා ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා මීට පෙර කොළඹ අපරාධ කොට්ඨාශය වෙත දැනුම්දීමක් කර තිබුණා.
ඒ අනුව හිටපු මහාධිකරණ විනිසුරු පද්මිනී එන්. රණවක, මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සහ මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගෙන් වහාම ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසයි නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබුණේ.