පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ නිවසේ තිබී සොයාගත් දෘඩ තැටි, සංයුක්ත තැටි, බලපත්‍ර රහිත ගිනි අවිය සහ ජීව පතොරොම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවනවා.
එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඊට අදාළ පරීක්ෂණ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවයි.
මෙම දෘඩ තැටි, සංයුක්ත තැටි, ගිනි අවිය සහ ජීව පතොරොම් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පසුගිය 9 වන දා භාර දී තිබුණා.
රන්ජන් රාමනායක සතුව තිබී රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට භාර දුන් හඬ පට එහි පරිඝනක අපරාධ අංශය මගින් ද බලපත්‍ර රහිත ගිනි අවිය සහ ජීව උණ්ඩ සම්බන්ධයෙන් ගිනි අවි අංශය මගින් ද විමර්ශණය කරනු ලබනවා.
හඬ පට අදාළ පුද්ගලයින්ට සම්බන්ධ නිවැරදි ඒවා ද යන්න තහවුරු කර ගැනීම සඳහා සහ බලපත්‍ර රහිත ගිනි අවිය අපරාධවලට යොදාගෙන ඇත්ද යන්න මෙහිදී විමර්ශනය කෙරෙන බවයි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියා සඳහන් කළේ.
පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ මාදිවෙල පිහිටි නිවසේ තිබී සොයාගත් හඬ පට සහිත දෘඪ තැටි 9ක්, ඩී.වී.ඩී. තැටි 162ක්, ලැප්ටොප් පරිඝනක යන්ත්‍රයක්, බලපත්‍ර රහිත ගිනි අවිය මෙන්ම පතොරොම් සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් එච්.යූ.කේ. පැල්පොල පසුගිය 8 වන දා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කරනු ලැබුවා.
මේ අතර අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මේ මස 29 වනදා දක්වා ඊයේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර කොමසාරිස්වරයාට නියෝග කළේ මන්ත්‍රීවරයා කටහඬ පරීක්ෂාවක් සඳහා ලබන 23 වනදා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසටයි.