අසර්බයිජාන් රාජ්‍යයේ මහල් නිවාසයක හට ගත් ගින්නෙන් ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් 3 දෙනාගේ සිරුරු අද උදෑසන දිවයිනට රැගෙන එනු ලැබුවා.
ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින් මෙම මළ සිරුරු මෙරටට රැගෙන ආ බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සදහන් කළේ.
දේහයන් භාර ගැනීම සදහා ඔවුන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් ගුවන්තොටුපල වෙත පැමිණ සිටියා.
ආසියානු මහද්වීපයට අයත් ඉරානයට ආසන්නයේ පිහිටි අසර්බයිජාන් රාජ්‍යයේ බකු අගනුවර පිහිටි බෙයිල් ජනාවාසයෙහි මහල් නිවාසයක මෙම ගින්න හට ගත්තේ පසුගිය 9 වනදායි.
ගින්නෙන් ජීවිතක්ෂයට පත් වූ අවුරුදුු 21 සහ 23ක් වයස්වල පසුවන දෙදෙනා එකම පවුලේ සහෝදරියන් වන අතර ඔවුන් අන්තර්ජාලයෙන් අයදුම්පත් ලබා ගනිමින් කොළඹ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක් හරහා පසුගිය වසරේ ජුලි මස 16 වනදා අසර්බයිජානය වෙත පිටත්ව ගොස් තිබුණේ එරට විශ්වවිද්‍යාලයක තොරතුරු තාක්ෂණ සහ විලාසිතා නිර්මාණකරණ පාඨමාලාවක් හැදැරීම සඳහායි.
ඔවුන්ගේ හදිසි වියෝව දැන ගැනීමෙන් පසු එම ශිෂ්‍යාවන්ගේ පිළියන්දල - බෝකුන්දර නිවසේ සිටි ඥාති කාන්තාවක් හදිසි හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්ව තිබුණා.
ජීවිතක්ෂයට පත්වූ සිසුවියන් තුන් දෙනා අතර සිටි 25 හැවිරිදි අනෙක් සිසුවිය කැළණිය ප්‍රදේශයේ පදිංචිකාරිණියක්. විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවට මේ වනවිට අනාවරණ වී තිබෙනවා.
මේ අතර, අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක, උසස් අධ්‍යාපන අමාත්‍ය, බන්දුල ගුණවර්ධන සදහන් කළේ විදේශ රටවල උසස් අධ්‍යාපනය සදහා සිසුන් යොමුකරන ආයතන නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන බවයි.