Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
14
"ගුරුවරියක් වුණත් ගෙදර පොල්අතු පැලක් කියලා ඒ යෝජනාවට ගෙදරින් කැමති වුණේ නැහැ.." - ශ්‍රියන්ත මෙන්ඩිස්

- "ගුරුවරියක් වුණත් ගෙදර පොල්අතු පැලක් කියලා ඒ යෝජනාවට ගෙදරින් කැමති වුණේ නැහැ.." - ශ්‍රියන්ත මෙන්ඩිස්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,573 Views
"කොටින්ම එයා මෙයාට කේලම් පවා කියනවා බඳින්නත් ඉස්සර ඉඳන්..."
"ගැලරියෙ කොල්ලො සද්දෙ දානවා. කවුද ඩෝ මුත්‍රා කළේ කියලා. අපි ශබ්ද නෑ..."
 
‘‘මගේ පියා නම්වර ලැබුවේ හිද්දාදුර ලාසරස් මෙන්ඩිස් නමින්. ප්‍රබල කතෝලිකයෙක්. එහෙත් සාම්ප්‍රදායික කතෝලික කෙනෙක් නොවෙයි එතුමා. එතුමා නවීන අදහස් තිබුණු තරමක හිතුවක්කාරයෙක් කිවහොත් නිවැරදියි. සියලූ ආගම්වලින් කරන්නේ රටට සමාජයට විනයගරුක වැඩදායි පුරවැසියන් හැදීම කියලයි එතුමා කල්පනා කළේ.

මඩු පල්ලිය ශාන්ත අන්තෝනි කොච්චිකඬේ දේවස්ථානය” වගේම කතරගම කිරිවෙහෙර” අනුරාධපුර අටමස්ථානය” මේ හැම දේම අපේ සංස්කෘතික ලෝකය කියලා දරුවන්ට නිරන්තරව කියූ කෙනෙක්. හරිම විනයගරුකයි. නීතිගරුකයි. අප නීති හා නියෝගයන් පිළිපැදිය යුතු වන්නේ. ඒ ඒ නීති කඩකිරීමෙන් දඬුවමකට හසුවිය හැකිය යන බිය නිසා නොවෙයි. ඒ ඒ නීතියෙන් මුළුමහත් සමාජයට වන යහපත ගැන හිතාගෙනයි කියලා තමයි අපේ තාත්තා දරුවන්ට නිතරම කීවේ.
 
අපේ පියාගේ තාත්තා කතෝලික පල්ලියක අන්නවිරාළ කෙනෙක්. එතුමාටම හිමි පෞද්ගලික සමුපකාරයක් පවා තිබුණා. නම හිද්දාදාර ජුවාන් මෙන්ඩිස්. ගමේ අය කීවේ ජුවාන් සීයා කියලා. එතුමාගේ කඩය ගමේ කා හටත් ජුවාන් අප්පුගෙ කඬේ වුණා. අපේ තාත්තලා කුඩා දවසේ ඒ පළාතේ උළු සෙවිලි කළ ගෙවල් දෙක තුන අතරින් එකක් එතුමාට අයිතියි. ගමේ ප්‍රභූවරයෙක්” ලෙස පිළිගැනීමක් තිබුණා. බොහොම තේජස් ගති ඇති ආරෝහ පරිණාහ දේහයෙන් යුතු කෙනෙක්. අපේ පියාත් ඒ විදිහමයි.
 
රාගම - කඩවත පාරේ කඳුගැටයක් මුදුනේ අපේ සීයා ගේ ගෙය තිබුණෙ. පුනරුත්ථාපන රෝහල අසල ලස්සන ගෙයක් ඒක. ඒ කාලේ ගමේ කවුරුත් බොහොම සුහදශීලී සම්බන්ධයක් ඇතිව හිටියෙ. වවා ගත් බත බුලත බෙදා හදාගෙන කෑවේ. කාටත් හරකා බාන හිටියා. එළවළු කොරටු තිබුණා. කුඹුරු ආදියත් තිබුණා.
 
අපේ ජුවාන් සීයාට දරුවො 9 ක්. සැලසුම් කරපු අපූරු පවුලක් වගෙයි. පවුලෙ මුලින්ම ගැහැනු ළමයෙක්. ඊළගට පිරිමි දරුවන්ම 7 ක්. ඊට පස්සෙ බාලයාත් ගැහැනු දරුවෙක්. අපේ තාත්තා තමයි මේ පිරිමි දරුවන්ගේ වැඩිමලා. සීයාට මුල්කසාදයක් තිබිලා තියෙනවා. ඒකෙත් එතුමාට දරුවෙක් හිටියා. ඒ ආච්චි තරුණ කාලෙම නැතිවෙලා. ඊළගට අපෙ තාත්තාගෙ අම්මා අරන් තියෙන්නෙ. එතුමිය මියගිය බිරිඳගෙ නැගණිය. ඒ කාලේ එහෙම සිරිතකුත් තිබුණා. ඒත් දෛවය කියන්නෙ ඒ ආච්චිත් අකාලයෙම නැතිවෙලා. ඊට පස්සෙ සීයා මේ දරුවන් සියලූ දෙනාම හොඳින් බලාගෙන සමාජයට හොඳ පුරවැසියන් ලෙස සකස් කරලා දීලා තියෙනවා. එතුමාට තිබුණු පොඩි සමාජ වටිනාකමත් එක්ක මගෙ තාත්තා දාලා තියෙන්නෙ කඳාන ද මැසනොද් කොලීජියට ඒ කාලෙ ඒක කොලීජිය ලෙසයි කීවේ.
 
අපේ ප්‍රවීණ රංගධර මගේ අතිජාත මිත්‍ර ජැක්සන් ඇන්තනීගෙ තාත්තයි. මගේ තාත්තයි මේ කොලීජියෙ එකට අකුරු ඉගෙන ගෙන තියෙන්නෙ. ඒ දෙන්නත්ගැඹුරු යාළුවො. ජැක්සන්ගෙ තාත්තාගෙ නම බෙනඩික් ඇන්තනී. කොල්ලො මේ දෙන්නට කියන්නෙ බෙන්ඩියයි මෙන්ඩියයි කියලලූ. මගෙ තාත්තා ලාසරස්............
 
අපේ තාත්තා මොනම දෙයක්වත් බරට ගන්නෙ නැහැ. එයා ජීවිතේ බොහොම සැහැල්ලූවෙන් කල්පනා කළේ. හැබැයි තීරණයක් ගත්තොත් ප්‍රතිපත්තිගරුකව එතැන ඉන්නවාමයි.
 
අපෙ ගම් පළාත අර්ධ නාගරිකයි. එහි ගැමි සුවඳ” ඉපනැල්ල” කෙත” බැත නියර තිබුණත් කොළඹට තිබුණෙ හැතැප්ම 8-10 ක් පමණයි. සීයාට පර්ජෝ වර්ගයේ කාරයක් තිබුණා අප කුඩා කාලෙදී. වතුපිටිත් එතුමාට තිබුණා. රාගම - රම්පිටිය කියන ගමේ එතුමා හදපු ගෙදර හා ඉඩම තමයි අපේ තාත්තාට දුන්නෙ. ඒක එදත් වටිනවා.
 
අපෙ තාත්තා අම්මාව ගත්තෙ යෝජිත විවාහයකින්. එහෙම කියන්නත් බෑ. යෝජනාව ගෙනාවට පස්සෙ තාත්තා ඒ කාලෙ තමන්ට තිබුණු හම්බර් බයිසිකලෙන් අම්මාව බලන්න දෙතුන් විටක ඒ ගෙවල් පැත්තෙ ගිහින් තියෙනවා. මෙන්න යෝජනාව කෙසේ වෙනත් දැන් මේක ලොකු ප්‍රේම සම්බන්ධයකට පෙරළිලා. මොකද? මං එහෙම කියන්නෙ. අපේ තාත්තලගෙ ගෙවල් ඉතින් උළුසෙවිලි කළ ඒවානෙ. අම්මගෙ ගෙවල් පොල් අතු. අම්මා ගුරුවරියක් නිසා යෝජනාව ආවාට පොල්අතු කතාව නිසා තාත්තාගෙ පැත්තෙන් යෝජනාව හකුලගන්නයි පස්සෙ වැඩ කටයුතු කරලා තියෙන්නෙ. ඒත්” අපේ තාත්තා ප්‍රතිපත්තිගරුකයි. ‘‘ එහෙම කරන්න බෑ.ඒ ඉස්කෝලෙ හාමිනේ මට ගැළපෙනවා... තාත්තා දැන් ගෙදර ගෝරි අපේ අම්මාගෙ නම එලියාදුර කරලැයින් සොයිසා.
 
අපෙ තාත්තාගෙ මුල් රැකියාව ලංකා ගමනාගමන මණ්ඩලයේ CTB එකේ” ටයිම් කීපර්. පස්සෙ කාලයක එතුමා ප්‍රවාහන අධිකාරියේ විධායක මට්ටමේ නිලධාරියෙක් වෙනවා. ඒ කාලේ බයිලා චක්‍රවර්තී එම්. එස්. ප්‍රනාන්දු මහත්මයාත් CTB එකේ ටයිම් කීපර්. එයා වාද බයිලා කියන හැටි” වාද බයිලා තරගවල වෙච්ච දේවල් මේ කට්ටිය එක්ක කියනවා. ඒවා ගෙදර ඇවිත් අම්මටත් කියනවා අපි පුංචි එවුන් මේවා අහගෙන ඉන්නවා.
 
දැන් කොහොම හරි අම්මගෙ තාත්තා එලියාදුර එව්ජින් සොයිසා මහත්මයත් අම්මගෙ අම්මා වැලිසරගේ ජුලියානා ප්‍රනාන්දු මහත්මියන් ටිකක් කලබල වෙලා තාත්තාගෙ පැත්තෙ සමහරුන් මේ සම්බන්ධව විරුද්ධකම් පානවට. ඒත් තාත්තා ඉන්ද්‍රඛීලයක් වගෙ නොසැලී අම්මත් එක්කම ආදර සම්බන්ධය ගෙනියනවා.
 
ටික ටික තාත්තාගෙ පවුලෙ චූරු චුරුව අඩු වුණාම මේ දෙන්නා පවුලෙ අනිත් අයත් කොහොම හරි සහභාගි කරවාගෙන 1956 ඔක්තෝබර 17 වැනිදා විවාහ වෙනවා. තාත්තාගෙ පැත්තෙන් එතුමාගේ මාමා හා අම්මාගේ පැත්තෙන් අම්මාගෙ මස්සිනා සයිමන් මහතා අත්සන් කරනවා.
 
එදා මංගල සභාවේදී අම්මාගේ තාත්තා සුභාෂිතයේ කවි පදයකින් සභාව රසාලිප්ත කරලා තියෙනවා. ඒ සමාජය පැතුවේ දරුවො. ඒ දරුවන්ට උගන්වන්න. විනෝද වෙවී දැන් වගේ කල් මරන්නෙත් නෑ. බැඳපු ගමන් දරුවන් හදනවා. එහෙම නොවන ජෝඩුවලට විශේෂයෙන් බිරිඳන්ට එදා සමාජයේ වැඩිහිටි ඇත්තියො අවමන් කළා. ඒ පැත්ත ගැනත් හිතලාද කොහෙද අපේ සීයා මෙහෙම කීවලූ.
 
‘දරුවන් හට දෙන නොමඳ ධන නම් වියතුන් සබා මැද ඉන්ට ශිල්ප දෙනු මැයි.. කියලා.
 
මේ කතාවේ යම් අරුතක් තිබෙනවා. ධනයෙන් අඩු වුණත් අපේ කෙල්ල ශිල්පයෙන් උසස්. දරුවන්ට දෙන්ට ඕනෑ ඒ ධනයයි. ඔය යස ඉසුරට වඩා ඒක වටිනවා. ඔවුන් උගතුන් අතර මැද වාඩි කරවන්ට දෙමාපියන් සිතට ගත යුතුයි. ඇය ගුරුවරියක්ව ශිල්ප දරුවන්ට හදන්නෙත් එනිසයි. වැනි අරුත් එහි තිබුණා. අපි ‘හින්ට්.. කියලා කියන්නෙ. මේකත් ඒ වගෙ සොඳුරු ‘‘හින්ට්.. එකක්.
 
අම්මා ඒ කාලෙත් උගන්වලා තියෙන්නෙ බම්බලපිටිය හෝලි ෆැමිලි කොන්වන්ට් එකේ. අම්මා ඒ සඳහා රාගම පොඩිවීකුඹුරෙ ඇගේ මහගෙදර ඉඳන් කෝච්චියෙන් එනවා. තාත්තා කසාද බැඳලා රම්පිටියට ගියාමත් එහෙමයි. කසාද බැඳලා පළමු දවසෙ මීගමුව වෙරළ ආසන්නයේ රෙස්ට් හවුස්.. එකක එක දවසක් ඉඳලා ඊට පස්සේ” මේ අලූත් ජෝඩුව තාත්තාගෙ මහගෙදරට ඇවිත් මංගල ඡයාරූපය ගත්තෙ ‘‘ඩොනල්ඞ්.. එකෙන්. මාස 7 ක් එහෙම ඉන්නකොට අර සියලූ චුරු චුරු කතා නැති වුණා. ඒ අයත් අම්මාට ගෞරවයෙන් සැලකුවා.
 
අපේ තාත්තාගෙයි අම්මගෙයි මේ කුටුම්භයට දරුවන් තිදෙනයි. මමයි මල්ලි අජිත් මෙන්ඩිස් හා නංගී මැණික් මෙන්ඩිස්. ඒ කාලේ අම්මලා තාත්තලා විශේෂයෙන් අපෙ පැත්තේ පිරිමි දරුවන්ට වුණත් දාන්නෙ ගැහැනු. නම් ආදරයට කතා කරන්නේ ඒ ඇමතුමින්.
 
මට මතකයි මාව පාසල් ගෙන ගිය පළමුවැනි දවස. ඒ කාලෙ මොන්ටිසෝරි නෑ. අම්මා තාත්තා අතහැරලා ඉන්ට පළමු වැනි අත්දැකීම ලබන්නෙත් පාසලෙන්. එදා අම්මයි තාත්තයි දෙන්නාම මාව පාසලට ඇතුළත් කරන්න ආවා. කඳාන ද මැසිනොද් කොලීජියට. අම්මයි තාත්තයි යන කොට මං දැන් මොකාද වගෙ අඬනවා. මේක දැකපු තාත්තා හැරිලා මං ළගට ආවා. රුපියල් 5 ක් අතට දුන්නා. අඬන්න එපා. දෙකයි පනහට කඩල කාපන්. අපි එනවා කියලා යන්න ගියා. ඒ කාලෙ කඩල බැදලා තියෙනවා. තම්බලා තියෙනවා. තවත් ටේස් කඩල තියෙනවා. මේ වර්ග දෙකක් සමව අරන් රුපියල් පහට කාපන් කියලයි තාත්තා කීවේ. අනෙක තාත්තා එනකොට අපේ ගෙදර වීරයා එනවා කියලා මාත්” මල්ලිත් නංගිත් තාත්තාගෙ අතේ එල්ලෙන්න ඉස්සරහට දුවනවා. ඒත් ගෙනෙන දේ තුන්දෙනාගෙන් කාටවත් දෙන්නෙ නෑ. ඒක අරන් ඇවිත් දෙන්නෙ අම්මාට. අම්මා කාටවත් අඩුපාඩු නොවෙන්න හැරිහැටි මේක දරුවන් අතර බෙදන ගෙදර මහා කළමනාකාරිණී බව තාත්තා දන්නවා. බොහෝ විට මේ පලතුරු ඇපල්. ඇපල් කියන්නෙ මේ කියන කාලෙ මහා පලතුරක්.
 
තාත්තා රෑට හීනියට මොනවා හරි බීලා ලස්සන සිංදු කියනවා. කියන්නෙ බෞද්ධ සිංදු. දසබලධාරී බුදුරජු පෙර කල ඉපිද හිමාලේ කිඳුරකු වීලා...... ඊට පස්සෙ බෙග් මාස්ටර් පරම රමණී අපේ ආලේ සදාකල්.... මෙහෙම සිංදු අන්තිමට ටිකක් හයියෙන් කියන සිංදුවකුත් තියෙනවා ඒ අමරදේව මාස්ටර්ගේ පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නළවනවා..... මේ ගීතය.
 
අප අහනවා අම්මාගෙන්. ඇයි? අම්මේ” තාත්තා අර සිංදුව කෑ ගහලා කියන්නෙ කියලා. අම්මා කියනවා ‘‘අම්මාව ගෙනෙන්ට පෙර පල්ලෙහා සිටි ගැහැනු කෙනෙක්ට තාත්තා ප්‍රේම කරලා. ඔය කියන්නෙ එයාට ඇහෙන්නයි කියලා. තාත්තා අඩියක් ගැහුවට අම්මා විරුද්ධ වුණේ නැත්තෙ එයා බීවාම කාටත් කරදර නැති නිසයි. හැබැයි හිටි ගමන් ඕවර් ගියොත් අම්මා පාලනයක් දානවා.
 
අපේ තාත්තා තමයි අපේ සංස්කෘතික ජීවිතයෙත් පීතෘවරයා. එතුමා හැම පාසල් නිවාඩු කාලෙකම අපත් රැගෙන සංස්කෘතික වශයෙන් වැදගත් ගමනක් යනවාමයි. තාත්තාට හා අපේ පවුලේ හැමෝටම දෙවැනි පංතියේ පාස් තිබුණා කෝච්චියට. ඒකෙන් අපි නිවාඩු කාලෙට ගමන් යනවා. මඩුපල්ලි යනකොට තාත්තා මුලින්ම අපගෙන යන්නෙ අනුරාධපුරයට. අටමස්ථානෙ වන්දවනවා. මේවා අපේ උරුමය. අපේ අක් මුල් මේවා දැනගනිල්ලා කියනවා. ශ්‍රී මහා බෝධියට” රුවන්වැලි මහා සෑය ළඟට ගෙන ගිහින් ඉතිහාසය කියා දෙනවා. ඊට පස්සෙ මඩු පල්ලි යන්නෙ. දානයටත් කැමතියි. දුප්පතුන්ට හරියට උදව් කරනවා.
 
අපෙ අම්මටයි තාත්තටයි දෙන්නටම පඩි ලැබෙන්නෙ මාසෙ 25 වැනිදා. ඒ නිසා හැම මාසෙම 26 වැනිදා අනිවාර්යයෙන් පික්චර් එකක් බලන්න ගෙදර අය සියල්ලම එක්ක යනවා. දැන් නැතිවුණත් ඉස්සර ගම්පහ ‘නිව්ජෙම්. සිනමා කීවාම ප්‍රසිද්ධයි. එදාට තියෙන්නෙ සිංහලද” දෙමළද” හින්දිද ඕනෑම චිත්‍රපටයක් අප බලනවා. මට මතකයි ‘සංදේශය. බලන්න ගියා. අපි ඉන්නෙ දෙවැනි පංතියෙ. ඉස්සරහින් තියෙන්නෙ ගැලරිය. අපි ඉන්ටර්වල් එකට ඔරෙන්ජ් බාර්ලි බීවේ. මං ටිකක් වැඩියෙන් බීවා. මට ටික වේලාවකින් මහා මුත්‍රා බරක්. මං තාත්තාට කීවා එළියට එක්කගෙන යන්නය කියලා. ඒත් තාත්තා චිත්‍රපටයෙ ගීතමය ජවනිකාවකට වහ වැටිලා හිටියෙ. ඒ නිසා ටිකක් මැළිවුණා. අම්මත් තාත්තට කියනවා. ඒත් එයා මෙලෝ සිහියක් නැතිව චිත්‍රපටිය බලනවා ඒ අතර එයා අතින් කියනවා ඔතැනට හෙමිහිට දාපන් කියලා. මාත් දැම්මා. මේ සිමෙන්ති පොළොව පහළට නැඹුරු වෙන ආකාරයට හදලා තියෙන්නෙ. ටික වෙලාවකින් ගැලරියෙ කොල්ලො සද්දෙ දානවා. කවුද ඩෝ මුත්‍රා කළේ කියලා. අපි ශබ්ද නෑ.
 
තව තව ශබ්දෙ එනකොට තාත්තා කළුවරේම කීවා ඔය ‘ඔරේන්ජ් බාර්ලි කියලා. කොහොමද? හලෝ එහෙනම් ඒවා මෙච්චර රස්නෙ කියලා උන් ටික පිළිතුරු දුන්නා.
 
අම්මා හේවුඞ් එකේ සංගීතෙත් පුරුදු පුහුණු වෙලා තිබුණු නිසා ගෙදර සංගීතයට කලාවට ලැදි පරිසරයක් නිතර තිබුණේ. තාත්තා අපේ සංස්කෘතික ජීවිතය හැඩ ගන්වන්න කෙතරම් කැපවීමක් කරලා තියෙනවාද කියලා මට දැන් හිතෙනවා.
 
ඒ වගේම තාත්තා හරිම බුද්ධිමත්. එක වතාවක් මාත් කොල්ලෙකුත් ගමේ වෙනත් වත්තක අඹ ගහකට ගල් ගහලා ගෙඩි කැඩුවා. ගෙඩියක් වැටුණා. මං ඒක අහුලාගෙන දැන් දුවගෙන එනවා. අනෙක් කොලූවා ටිකක් මදාවි පාට් එකෙන් හිටියෙ. නම ජස්ටින් එයා ගහපු පාරටයි අඹේ වැටුණෙ කියලා එයා මා පසු පස්සෙ පන්නනවා. මාත් දුවනවා. මිනිහා ගලක් අරගෙන ඊළට වතාවේ මා පසුපස බලනකොටම ගැහුවා. මගෙ දකුණු ඇහැ උඩ තාම ඒ කැළල. ලේ ‘‘ගොර.. ගොර.. ගාලා යනවා. පුදුමය. තාත්තා ඉදිරියට ආවා පාරෙ ඒ වෙලාවේ. ඇහුවා මේ මොකද කියලා. අර කොලූවා අඬ අඬ කීවා මෙයා මගේ අඹේ ගෙනියනවා කියලා. ලේ පෙරෙන මටම තාත්තා පහරක් ගැහුවා. අර ළමයාට අඹ ගෙඩිය දුන්නා. ඒ ළමයගෙන් විස්තර අහනකොට ඒ ළමයා හරිම දුප්පත්. පාසල් යන්නටවත් පොත පත නෑ. අපේ තාත්තා තමයි ඒවා පවා ඒ දරුවාට අරන් දුන්නෙ. බුද්ධිමත්ව ක්‍රියා කළ තාත්තා නිසා අප දෙන්නාගෙ වෛරය නැවතුණා. අපි හොඳ යාළුවො වුණා.
 
පබ්ලිස් මාස්ටර් කියලා සැර ගුරුවරයෙක් මට සුභාෂිතය කට පාඩම් නෑ කියලා වතාවක් හොඳටම ගැහුවා. දණ ගහලා අව්වේ තිබ්බා. මට තරමක් සිහියත් නැති වුණා. තාත්තාටත් අම්මාටත් ආරංචිය ගියා ඒ අයත් මටමයි දඬුවම් කළේ. අපේ තාත්තලා ගුරුවරයා දේවත්වයෙන් සැලකුවා. අද වගෙ ගුරුවරයාට විරුද්ධව මානව හිමිකම් ගියෙ නෑ.
 
අපේ මල්ලි අජිත් 79 දී විතර නාට්‍යයක් කළා. මහේන්ද්‍ර පෙරේරාත් හිටියා. කුසුම් මේකෙ රඟපෑවා. දවල්ට කෑම අපේ ගෙදරින්. එතකොට අපේ ආදරය දලූලමින් තිබුණෙ. තාත්තාට මේක ඉවෙන් වගේ දැනුණා. ‘කවුද? බං ඒ කෙල්ල.කියලා එයා මගෙන් අමුතු විදියට ඇහුවා. කුසුම් එදාත් හරිම ලස්සනයි. තාත්තාට හිතෙන්න ඇති මේකා කොහොම හරි මේ කෙල්ලට ‘සෙට්. වෙයි කියලා. ඒ අය උග්‍ර බෞද්ධ. අපි උග්‍ර කතෝලික. ඒත් අපි සීමා බිඳගෙන එකතු වුණා. කලාවේ මහාර්ඝ ගුණය ඒකයි. තාත්තා තමයි මේ ලේලිට පුදුමාකාර ලෙස ආදරේ. කොටින්ම එයා මෙයාට කේලම් පවා කියනවා බඳින්නත් ඉස්සර ඉඳන්. තාත්තා දවසක් එයාට ෆෝන් එකෙන් කතා කරලා කියලා තියෙනවා. අන්න අරූ ඊයේ ? හොඳට බීලා ඇවිත් කණමදයා වගේ තාම නිදි කියලා. කුසුම් මට කතා කරනකොට ‘ඊයේ බීවෙ ටිකද. කියලා අහනකොටයි මට තේරුණෙ තාත්තාට මාව ගුරුවරයෙක් කරන්ට ඕනෑ කියන කල්පනාව තිබුණේ නෑ. එයාට ඕනෑ කළේ මා හොඳ පුරවැසියෙක් කරන්නයි. මං 1979 දී පළමුවැනි උප ගුරු වැටුපෙන් නංගිට ගවුමයි අම්මාට සාරියයි. කාන්තාට පිජාමා සරමකුයි බෝතලයකුයි අරන් ඇවිත් තෑගි කළා. තාත්තා එදා හරියට සතුටු වුණා. අනේ කොල්ලො එහෙනම් උඹත් හම්බ කරන්න පටන් ගත්තනෙ කියලා.
 
1981 තරුණ සේවා යෞවන නාට්‍ය උළලෙදි මං සුසිල් ගුණරත්නගේ ‘නුඹ විතරක් තල එළලූයි. නාට්‍යයෙන් හොඳම නළුවා වුණා. ඒ ගරුත්වය නිසාම මොන ආණ්ඩුව තිබුණත් මං තරුණ සේවා නාට්‍ය තරගාවලියට හැමදාම සහාය දෙනවා. ඒක මට පුරුදු කළේ තාත්තා. මේ රණමයුර සම්මානයට ඕකිඞ් මල් මාලයක් දාලා ගෙදර ක්‍රිස්තු රූපය ළඟින් තියලා තාත්තා මට අපූරු පාඩමක් උගැන්නුවා.
 
‘පුතේ” දෙවියන් ඉන්නෙ උඩ. මිනිසුන් ඉන්නෙ පහළ. ඒත් දෙගොල්ලම ගාව දේවත්වය තියෙනවා. එක දෙවියෙක් දේව සභාවේදී යෝජනා කළා. මෙහෙම ‘මිනිසුන් ළඟ මේක තියන එක හරි නෑ. මේක අපි ළඟ පමණක් තියාගමු.. කියලා. එතකොට තව දෙවි කෙනෙක් කීවා ඉතින් ඒක අරගෙන අපි කොහෙද හංගන්නෙ කියලා. කොහේ තිබ්බත් මිනිස්සු ඒක හොයා ගනීවි කියලා. එහෙනම් අපි ඒක මිනිසුන්ට හොරෙන් මිනිසුන් තුළම හංගමු කියලා. ඒ දේවත්වයත් මිනිසුනට මතු කර ගන්න පුළුවන් වෙන්නෙ නිර්මාණාත්මක කලාවෙන් ලෝකයා සුවපත් කරන විට පමණයි කියලා. පුතා” අර මිනිසුන් තුළ හංගපු ඒ දේවත්වය අද මතු කරගෙන. මේ කලාව දිගටම කරලා ලෝකයා සුවපත් කරන්න.. තාත්තා මට කීවා. දේවත්වය හංගපු කතාව චීන ජනකතාවක් කියලත් එතුමා කිව්වා. මට මේක හොඳටම වැදුණා.
 
‘‘2006 ජුනි 2 වැනිදා මමයි මහේන්ද්‍ර පෙරේරායි රංජිත් කුරුප්පුගේ ‘පුතුනි හඹා ගිය. ටෙලියේ ජර්මනියේ රූගත කිරීම් අතර ලැබෙන විවේක කාලයේ ඇපල් වත්තක ඇපල් ගහක් යට ඇපල් කකා හිටියෙ. ඒ වෙලාවෙ මට ලංකාවෙන් කෝල් එකක් ආවා. කතා කළේ කුසුම්. තාත්තා අසනීප වෙලා රෝහල්ගත කරලා. කුසුම් තාත්තාගේ ඇඳ ළඟ. දොස්තරවරු පරීක්ෂණ කරලා හොයාගෙන තාත්තාට පිළිකාවක් කියලා. නොකියා බෑනෙ. ඒකයි කීවේ කියලා. කුසුම් අඬ අඬා කීවා. මං බිබී හිටපු සිගරැට් එක ජර්මන් පොළොවට අත්හැරලා ආයිත් සිගරට් නොබොන බවට මටම සපථ කර ගත්තා. එදායින් පස්සෙ මා කවදාවත් දුම්බීම කළේ නෑ.
 
ජයන්ත චන්ද්‍රසිරිගේ දැන් හැදෙන අලූත්ම චිත්‍රපටිය මහාචාර්ය දේවරාජ (මගෙ චරිතෙ මා දුම් පයිප්පෙ බොන දර්ශනයක් තිබුණා. මා ජයන්තට කාරුණිකව ඒක අවශ්‍ය නෑ නේද? කියලා ෂේප් එකේ දුම් බොන අවස්ථාව මඟ හැර ගත්තා. ඒත් ජයන්තත් මේ පත්තර පිටුව දකිනකම් ඒකට හේතුව තාත්තා කියලා දන්නෙ නෑ. තාත්තා හොඳට සිගරට් බීවා. අරක්කුත් බිව්වා. ඒත් කැන්සර් එකට හේතුව ඒකයි කියලා නම් කවුරුවත් කීවේ නෑ.
 
මං ජර්මනියේ රූගත කිරීම්වලට පස්සෙ කෙළින්ම රෝහලින් තාත්තා එක්කගෙන ගෙදර ගියා. එතකොට තාත්තාට අවුරුදු 78 යි. තාත්තාට අන්තිම මොහොතේ කතා කරන්නත් බැරි වුණා. උගුරට දාපු බටයකින් තමයි සියලූ දේ දුන්නෙ. ඒ වෙලාවෙ එයා ඒ කොළකෑලිවල ලියලා අපට යම් යම් දේ කීවේ. එයා ඒ කොලවල යම් යම් කවි අදහස් ලීවා.
 
ලොවේ කිසිවක් සිදුවන අයුරු මට නම් නොදැනේ.
 
මරු එන විට පලායන්නට සමතෙක් නැත ඉතිනේ!
 
තාත්තා බොනකන මිනිහා නිසා බ්‍රැන්ඩි වීදුරුවක් මල්ලිගෙන් ඉල්ලා සිටි මොහොතක් තිබුණා. මල්ලි අජිත් බ්‍රැන්ඩි බෝතලයක් ගෙනාවා. එයා ඒක කඩලා ටිකක් වීදුරුවකට දාලා ඉඹලා පැත්තකින් තිබ්බා. උගුරේ බටය දාලා නිසා බොන්නත් බෑනෙ. මේ සියල්ල බලා සිටි අපේ නෙත්වල කඳුළු පිරුණා. අම්මා ඒකට විරුද්ධ වෙලා තාත්තා ජීවත් වෙන අන්තිම තප්පරය දක්වා එයාව අපි ජීවත් කරන්න ඕනෑ පුතේ කීවා.
 
2007 ජුලි මාසේ 25 වැනිදා මට අද වගේ මතකයි. මං ජයන්ත චන්ද්‍රසිරිගේම ‘සතර දෙනෙක් සෙන්පතියෝ. ටෙලි නාට්‍යයේ මගේ බිරිඳ යශෝධා විමලධර්ම මිය යන වෙලාවේ දර්ශනයක හිටියෙ. වෙලාව දහවල් 12.52 යි. ඒ අවස්ථාවේ යශෝධා රඟපෑ ඒ චරිතය මැරෙනවා. මං ඇගේ ඇස් දෙක වහලා බොහොම කම්පා වෙනවා.
බලන්න. පුදුමය හරියටම එදා ඒ වෙලාවටමයි මගේ තාත්තා අපට සමුදීලා තියෙන්නෙ. මේක පුදුමාකාර දෛවයක්. ජයන්තට කවුරුදෝ කියලා එයා මට ඉක්මනට ගෙදර යන්න කීවා. මං ගෙදර එනකොට ගෙදර ඉදිරිපිට මිදුලෙ මගේ යාළුවෝ අර නාට්‍යයෙම දෙබසක් ලියලා දැන්වීමක් ලෙස සකස් කරලා තිබුණා.. මරණය යනු නැවත ජීවිතයක් උත්පාදනය කිරීමයි. ආත්මයට අලූත් පිටුවක් පෙරළීමයි.. කියලා.
 
ඒ නිසා මගේ තාත්තා තවමත් අප අතරම ඉන්නවා.
 
උපාලි සමරසිංහ
දිවයින
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top