'මේරි අබීලා'ද පුහුණුව ලැබූ කොටි සාමාජිකාවක්. පසුව ඇයත් හමුදාවට භාර වුණා.
ඇන්ටන් සහ අබීලා ප්‍රේමය ඇරඹෙන්නේ ඔවුන් පුනරුත්තාපනය ලැබූ සමයේදීයි. පසුකාලීනව අබීලා මවුපියන්ගේ කැමැත්ත ඇතිව ඇන්ටන් හා විවාහ වනවා.
ඇගේ මවුපියන් වත්පොසත්කම් ඇති අයයි. ප්‍රේම සම්බන්ධයකින් මේ දෙපළ හැඳිනගත්ත ද අබීලා විවාහවී නිවසින් පිටව යන මොහොතේ මවුපියන් ඇය රුපියල් ලක්ෂ 10ක මුදල් මෙන්ම කනකර ආභරණද දැවැදී ලෙස ලබාදුන්නා.
පසුව මේ දෙපළ අක්කරායාන්කුලම් ප්‍රදේශයේ පදිංචියට ආවේ දහසකුත් බලාපොරොත්තු සහිතවයි. සිය බිරිය ජිවත් කිරීම සඳහා ඇන්ටන් ගොවිතැන් කළා. කාලයාගේ ඇවෑමෙන් අබීලා දියණියක් බිහි කළා.
පසුගිය දිනෙක ඇන්ටන් කිසියම් අවශ්‍යතාවයක් වෙනුවෙන් වවුනියාව බලා ගියා. අබීලා මසා දහයක දියණිය සමඟ නිවසේ තනිවුණා.
"මම රෑ වෙන්න කලින් ගෙදර එනවා.."
එසේ කියා පිටත් වූ ඇන්ටන් රෑ වෙද්දි බිරියට නැවත කතා කළා.
"මෙහෙ හොඳටම වහිනවා. ගෙදර එන්න බැරි වෙයි. ඔයා අර අම්මව එක්කගෙන ඇවිත් ගෙදර තියාගන්න. දරුවාගේ වැඩ තනියම කරගන්න බෑනේ.."
ඇන්ටන්ගේ කීම ඇසූ අබීලා ඊට යාබද නිවසේ සිටි වයෝවෘද්ධ 'මේරි අම්මා' එදින නිවසෙ තනියට රඳවාගත්තා.
එදින දරුවා හා මේරි අම්මා සමඟ නිවසේ රැය පහන් කළ අබීලා පසුදින උදේ අවදිව දරුවාට කිරි පොවා මේරි අම්මාට තේ කෝප්පයක් පිළියෙල කර දුන්නා. ඒ සමඟම ඇයට දුරකථන ඇමතුමක් ලැබුණා.
"මම කෑමට ගෙදර එනවා. කෑම ටිකක් හදලා තියන්න.."
දරුවා නිදි කෙරවූ ඇය මුළුතැන්ගෙට ගියේ කෑම පිසීමටයි.
ඇන්ටන් එන බව දැනගත් මේරි අම්මාද ඇගේ නිවසට ගියා.
"මම එයාට එහෙම කියලා ගෙදර ආවා. එතකොට වේලාව අටයි හතළිස් පහර විතර ඇති. ඉස්සරහා දොර ඇරලයි තිබුණේ. දරුවා අඬන හඬ මට ඇහුණා. ඒ ගෙදර කුස්සිය පැත්තෙන්. මම පිටිපස්ස දොරෙන් ඇතුළට ගියා. දෙවියනේ.. මගේ ගෑනි කුස්සියේ වැටිලා ඉන්නවා. ඇගේ හැම තැනම ලේ. මම කෑගැහුවා. අහල පහල අය ආවා. එායාලා මට කිව්වා පොලිසියට ගිහින් කියන්න කියලා.."
සිය බිරිය මරා දමා ඇති බව කියමින්, අක්කරායන්කුලම් පොලිසියට පැමිණි ඇන්ටන් එසේ පැමිණිලි කළා.
ඉකිගසමින් ඔහු තම බිරියට අත්වූ ඉරණම ස්ථානාධිපතිවරයා හා පැවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ඇරඹුණේ ඉන් අනතුරුවයි.
නිවසේ අල්මාරි ඇද දමා තිබුණා. අපරාධකරු අපරාධය සිදු කිරීමෙන් පසු ඝාතකයා නිවසේ බඩුමුට්ටු අවුස්සා කිසියම් දෙයක් සොයා ඇති බව පෙනෙන්නට තිබුණා. එසේ නම් ඝාතකයා පැමිණ ඇත්තේ සොරකම් කිරීමටයි.
ඇගේ සිරුරේ ඇති ඇඳුම් ඉහළට එසවී තිබුණා. ඉන් හැඟවෙන්නේ අපරාධකරු ඇයට කිසියම් ලිංගික අතවරයක් කිරීමට උත්සහ කර ඇති බවයි.
පිහි ඇනුම් කෑ ඈ වේදනාවෙන් යුක්තව බිම දිගේ ඇදෙමින් ජිවිතය බේරා ගන්න තැනූ බව මුළුතැන්ගේ වැටී ඇති රුධිර පැල්ලම් වලින් තහවුරු වුණා. මුළුතැන්ගේ බිත්තියේ ද රුධිරය තැවරුණු ඇඟිලි සලකුණු කීපයක් පොලිසියට නිරීක්ෂණය වුණා.
එම ඇඟිලි සලකුණූ ඝාතනය කෙරුණු අබීලාගේ බවට පොලිසිය සැක කළා. ඝාතනය වන්නට කලින් ඇය සිය අත්වල රුධිරයෙන් බිත්ති අල්ලා නැගිට ගන්න උත්සහ කර තිබුණා.
මුනින් අතට වැටී සිටි ඇගේ සිරුර පුරා පිහි පහර නවයක් පමණ දක්නට ලැබුණා.
"ඔයාගේ නෝනාගේ මරණය ගැන කා ගැන හෝ සැකයක් තියනවද?"
ස්ථානාධිපතිවරයා ප්‍රශ්න කළා.
"අනේ නැහැ සර්.. මට කාවවත් සැක නැහැ.."
"ඔය දෙන්නා අතර ප්‍රශ්න තිබුණද?"
"අනේ නැහැ සර්.. අපි ආදරෙන් ජිවත් වුණා.. මම වවුනියා ගිහින් අබීලාට කතා කළා. එයත් හිටියේ සතුටින්. මටත් හිතාගන්න බැහැ සර් සිද්ධවෙච්ච දේ. කවුද මගේ නෝනව මැරුවේ. මොන හේතුවකට ද කියලා.."
"හරි හරි අපි බලමුකෝ මේක කළේ කවුද කියලා. අපරාධයක් කරලා හැංඟිලා ඉන්න බැහැනේ.."
මරා දැමුණු අබීලාගේ ගෙල කැපී තිබුණත්, ඇය පැළඳ සිටි රන් මාලය ඒ මොහොතේත් ගෙලේ රැඳි තිබුණා. අතේ ඇඟිලිවල තිබූ රන් මුදුද එසේම තිබුණා. අපරාධකරුට එම රන් ආභරණ අසුවි නැති සේයකි.
අබීලාගේ සිරුර කිලිනොච්චි රෝහලට ගෙන ගියේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහායි. එහිදි නිගමනය වූයේ අබීලා මරා දමා ඇත්තේ පිහි පහර 9ක් එල්ල කොට ඇති බවයි. අධික ලෙස රුධිරය වහනය වීම නිසා ඇගේ මරණය සිදු වී ඇති බව තහවුරු වුණා.
විමර්ශණ ඇරඹූණේ එතැන් පටන් ය. ඇන්ටන්ගේ නිවස සියුම්ව පරීක්ෂා කළ පොලීසියට පිහියක් සොයා ගැනීමට හැකිවුණා. පිහිය තිබුණේ මුළුතැන්ගේ ඇති පාපිස්ස යටයි. එහි රුධිරය තැන්පත්ව තිබුණා.
"අපි මේ ගෑනු කෙනාගේ මරණය සම්බන්ධයෙන් එයාගේ සැමියාගෙනුත් අවට අයගෙනුත් සිද්ධිය ගැන ප්‍රශ්න කළා.."
"ඔය අතරේ අපිට තොරතුරක් ලැබුණා, නිශාන්තන් කියලා කෙනෙක් උදේ ඔය ගේ පැත්තෙන් යනවා දැක්කා කියලා. අපි මිනිහව ගෙනත් ප්‍රශ්න කළා. මිනිහා ඔය මැරිච්ච අබීලාගේ මහත්තයාගේ සහෝදරියක් සමඟ විවාහ වෙලා ඉන්නේ. ඒ කියන්නේ ඇන්ටනුයි නිශාන්තනුයි දෙමස්සිනෝ.."
"අපි මිනිහගෙන් ප්‍රශ්න කරද්දි අපි දැක්කා මිනිහගේ ඇඳුමේ ලේ පැල්ලම් දෙකකුත් තියනවා. ඒත් අපි ඒ වගක් ඇඟෙව්වේ නෑ. ඒත් මිනිහා ගැන අවධානෙන් හිටියා.."
"ඒත් එක්කම අපිට දැනගන්න ලැබුණා ඔය අබීලත් එයාගේ මහත්තයා ඇන්ටන් අතරත් ආරවුල් තිබුණු බව. ඒ අබීලා ගෙනාපු දෑවැද්ද මදි කියලා තොරතුරු ලැබුණා. ඇන්ටන් වවුනියාව පැත්තේ ගෑනු කෙනෙක් එක්ක අනියම් සම්බන්ධයක් තියනවා කියලත්. අපි ඒ මුකුත් අඟවන් නැතුව මේ අය ගැන අවධානයෙන් හිටියා.."
"අනෙක මට තේරුණා අපරාධකාරයා අබිලාගේ බෙල්ලේ තියෙන රන් මාල එහෙම අරන් ගිහින් නැතිබව. ඒ නිසා මට සැකයක් ආවා. මේක කරපු කෙනා ආවේ කොල්ලකෑමකට නෙවෙයි..."
"ඒත් එක්කම මට දැණුනා මේක පොලිසිය නොමඟ යවන්න කරපු දෙයක් කියලා. පශ්චාත් මරණ පරීක්ෂණයේදී අපි ට දැනගන්න ලැබුණා අබීලාට අතවරයක් වෙලාත් නැති බව. එහෙනම් මේක වෙනත් අරමුණකින් කළ දෙයක්. ඔය අතරේ අපි මේ බව නිල සුනඛ ඒකකයටද දැන්නුවා.."
ඒ අනුව නිල සුනඛ රැම්බෝ ඝාතනය සිදුවූ නිවෙස වෙත කැඳවාගෙන ආවා.
"රැම්බෝව අපි සීන් එකට ගෙනාවා. අහළ පහළ අය අබීලාගේ සැමියා මස්සිනා නිශාන්තන්ලා සේරම ඉස්සරහ ඇති ළිඳ ළඟ වාඩිවෙලා අපි දිහා බලන් හිටියා.."
"අපි බල්ලාගේ ඉවට දුන්නේ පාපිස්ස යට තිබ්බ ලේ තැවරිච්ච පිහිය. ඒකේ 'සෙන්ට්' එක ගත්ත රැම්බෝ කෙළින්ම ගියේ ගෙයින් පිටතට. ගිහින් අර ළිං පඩියේ වාඩිවෙලා හිටිය නිශාන්තන් ගාවින් නැවතුණා. මිනිහා බයට නැගිට්ටා. අපි බල්ලට ආයෙත් පිහිය ඉව කරන්න දුන්නා. ඒ පාරත් බල්ලා නැවතුණේ නිශාන්තන් ගාව. අන්න ඒ සැකයට අපි මිනිහව ඇරස්ට් කළා.."
"නිශාන්තන්ගේ මූණ දාඩියෙන් පෙඟිලා. මිනිහා ගොත ගහන්න පටන් ගත්තා. ඇන්ටන් හිටියෙත් බයවෙලා. අපි නිශාන්තන්ව පොලිසියට අරන් ගිහින් දීර්ඝ ලෙස ප්‍රශ්න කළා. ඒත් මිනිහා මුකුත් කිව්වේ නෑ.."
"හරි එතකොට තමුන්ගේ ඇඳුමේ මේ ලේ ගෑවුණේ කොහොමද?"
"මම මිනිහගෙන් ඇහුවා. මිනිහා ගොළුවුණා... අපි තදින් ප්‍රශ්න කරද්දි අබීලා මරපු එකේ ඇත්ත නැත්ත හෙළි වුණා."
නිශාන්තන් පොලිස් කණ්ඩායම ඉදිරියේ එසේ කියමින් අබීලා මරා දැමූ හැටි පාපොච්චාරණය කළා.
"මස්සිනාට ලැබුණු දෑවැද්ද මදි කියලා එයාත් එයාගේ වයිෆ් අබීලා එක්ක ප්‍රශ්න ඇතිකරගෙනයි හිටියේ. ඒ නිසා දෙන්නා නිතර රණ්ඩු වුණා..."
"ඒ අතරේ ඇන්ටන්ට වවුනියාව පැත්තේ තව ගෑනු කෙනෙකුත් හිටියා. ඒ නිසා ඇන්ටන් මට කිව්වා, අබීලාව මරපන් කියලා.."
"ගෑනි මැරුවොත් ඇන්ටන් තමුන්ට මොනාහරි දෙනවා කිව්වද?"
ස්ථානාධිපතිවරයා අසද්දි නිශාන්තන් මඳ වෙලාවක් නිහඬව සිටියා.
"තමුන් අබීලා මැරුවේ සල්ලිවලද නැත්තම් තමුන්ගේ මස්සිනා හින්දද?"
තවත් මොහොතකින් නිශාන්තන් කතා කළා.
"මම වවුනියාවට යනවා උදේ ගෙදර කවුරුත් නෑ. ඒ වෙලාවට ගෙදරට පලයන් කියලා එයා මට කිව්වා..."
"ඒක නෙවේ, තමුන් ඇයි ඒ ගෑනිව මැරුවේ?"
"එයා මට ලක්ෂ 10ක් දෙන්නම් කිව්වා. ඒ නිසයි සර් මම..."
නිශාන්තන්ගේ ප්‍රකාශ මත අබීලාගේ සැමියා වූ ඇන්ටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. ඒ මුදල් කොන්ත්‍රාතුවක් මත තම බිරිය මරාදැමීමට මස්සිනාට උපදෙස් දීමත්, බිරිය ඝාතනයෙන් පසු බොරු පැමිණිල්ලක් සිදු කිරීමත් නිසායි.
"සැකකාර නිශාන්තන් වෙනදටත් වඩා අබීලාගේ ගෙදරට යනවා එනවා. ඇන්ටන් නැති වෙලාවටත්, ගෙදරට යනවා එනවා. ඔය ගෙදරට ගිහින් ඔය පිහිය පොල් අතු කපන්න කිහිප වතාවක්ම අරන් ගිහිනුත් තියෙනවා. එදාත් මෙයා ගෙදර ඇවිත් පොල් අතු කපන්න කියලා පිහිය ඉල්ලගෙන තියනවා. ඒ ගෑණු කෙනා ඉඳලා තියෙන්නේ සැමියාට කෑම සකස් කර කර. මිනිහා ඒ පිහිය අරගෙන තමයි කුස්සියේ හිටිය ගෑනිට ඇනලා පිහිය පාපිස්ස යට හංඟලා ගිහින් තිබුණේ.."
"නිල සුනඛයාගේ ඉව නිසා පැය කිහිපයක් ඇතුළත අපරාධකරුවන් අත්අඩංගුවට ගන්න අපිට පුළුවන් වුණා. රුපියල් ලක්ෂ 10 කොන්ත්‍රාත්තුවෙන් නිශාන්තන්ට ලක්ෂ 3ක් ඇන්ටන් ගෙවලා තිබුණා කියලත් දැනගන්නට තියනවා.."
පොලිස් පරීක්ෂක පද්මනන්දන මහතා වැඩිදුරටත් සඳහන් කළා.
සැකකාර දෙමස්සිනෝ අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර ගත කෙරුණා.